ගාසා තීරයට දින 4ක සටන් විරාමයක්

262

හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 240ක පමණ පිරිසෙන් 50ක් පමණ දෙනා නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමග දින හතරක සටන් නතර කිරීමේ එකඟතාවයකට එළඹීමට ඊශ්‍රායලය තීරණය කර තිබේ.

මෙම එකඟතාවය සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් 21 වැනිදා අනුමැතිය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින සටන් හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ඊශ්‍රායල් හා විදේශීය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා දින හතරක කාලයකට, තාවකාලිකව නතර කිරීමට අදාළ එකඟතාවය යටතේ තීරණය කර ඇතැයි ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනය කර තිබේ.

ඊශ්‍රායල් කැබිනට් මණ්ඩලය විසින් අත්සන් තබා ඇති ගාසා තීරයේ පවතින සටන් තාවකාලිකව නතර කිරීමේ එකඟතාවයට අනුව මුල් අදියරය යටතේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 50දෙනකු නිදහස් කිරීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් ඊශ්‍රායල බන්ධනාගාරවල සිරගත කර සිටින කාන්තාවන් හා ළමුන් 150ක් පමණ දෙනා නිදහස් කිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල-හමාස් එකඟතාව යටතේ මුලින් නිදහස් කිරීමට, එකඟ වී ඇති ප්‍රාණ ඇපකරුවන් 50 දෙනාට අමතරව නිදහස් කෙරෙන සෑම අමතර ප්‍රාණ ඇපකරුවන් 10දෙනකු වෙනුවෙන් සටන් නැවැත්වීමේ කාලය, දිනකින් දීර්ඝ කෙරෙන බව ඊශ්‍රායලය පවසා තිබේ. මෙම එකඟතාව පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් ඒ සඳහා, අනුමැතිය ලබා දී තිබේ. මෙම එකඟතාවයට, කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍යයට පවසා තිබුණේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ එකඟතාවයක් ඇති කරගත්ත ද ගාසා තීරයේ යුද්ධය දිගටම පවතිනු ඇති බවයි.

මේ අතර හමාස් සංවිධානය විසින් නිවේදනය කර ඇත්තේ ඊශ්‍රායල-හමාස් එකඟතාව යටතේ ඊශ්‍රායල් හා විදේශීය ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු හා, සිරගත කර සිටින පලස්තීන කාන්තාවන් හා ළමුන් 150 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බවයි. එසේම එම එකඟතාව යටතේ දැනට මානුෂීය ආධාර, වෛද්‍ය ආධාර හා ඉන්ධන රැගත් ට්‍රක් රථ සිය ගණනකට ගාසා තීරයට පැමිණීමට අවස්ථාව ලැබෙන බවත් සටන් නවත්වන කාල සීමාවේ ගාසා තීරයට පහර නොදෙන බවත් එහි කිසිවකු අත්අඩංගුවට නොගැනෙන බවත් හමාස් සංවිධානය පලස්තීන තොරතුරු මධ්‍යස්ථානය හරහා නිකුත් කර ඇති නිවේදනයෙහි සඳහන් කර තිබේ.

ඊශ්‍රායල-හමාස් සටන් නැවැත්වීමේ එකඟතාවය යටතේ සටන් නවත්වන දින හතර තුළදී දකුණු ගාසා තීරයට ගුවන් ගමන් යෑම සම්පූර්ණයෙන් නැවැත්වෙන බවත් උතුරු ගාසා තීරයට ගුවන් ගමන් දිනකට පැය හයක කාලයක් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගාසා තීරයේ ක්‍රියාත්මක වන හමාස් සංවිධානය යටතේ පාලනය වන, ගාසා තීරයේ පවතින සටන්වලින් මේ වන විට 14,000 කට අධික පිරිසක් මියගොස් ඇත. එම පිරිස අතර කුඩා ළමයි 5000 කට අධික පිරිසක් සිටිති.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment