ගෙදර වැඩ වැඩට ගිහින් කරමු !

653

(අ)කාර්යක්‍ෂම රාජ්‍ය සේවය?

● රාජ්‍ය සේවය අකාර්යක්‍ෂමද?

රාජ්‍ය සේවය අකාර්යක්‍ෂම බවට පුළුල් සටන් මතයක් පවතී. යම් යම් සිදුවීම් මත හා ඒ සඳහා රාජ්‍ය සේවයේ හා රාජ්‍ය සේවකයගේ සබඳතාවය මත බොහෝ මතයන් සමාජ මාධ්‍යවල පළවේ. ශ්‍රී ලංකාව බහුතර වශයෙන් එහි දේශපාලනය ප්‍රතික්‍ෂේප කරයි. දේශපාලනය විසින් ශ්‍රී ලංකාව ඉතා පහළ අඩියකට ඇද දමා ඇති බව අවිවාදිත මතයක් බවට පත්වී ඇති අතර රාජ්‍ය සේවය ද ඒ සමග ඒකාබද්ධව කියවෙන සමාජ සංස්ථාවක් බවට පත්ව ඇත. රටේ පවතින බොහෝ අර්බුදයන්ට දේශපාලනය මෙන්ම රාජ්‍ය සේවයද වගකිවයුතු බව මේ අනුව පොදු පිළිගැනීමයි. යම් යම් යහපත් නිදර්ශන රාජ්‍ය සේවයේ පැවතියත් යම් යම් යහපත් හා කාර්යක්‍ෂම නිලධාරීන් පිළිබඳ යහපත් සමාජ ආකල්පයන් සමාජයේ පැවතියත් පොදුවේ ගත් කල රාජ්‍ය සේවය අකාර්යක්‍ෂම යාන්ත්‍රණයක් ලෙස හංවඩු ගැසී ඇත. රාජ්‍ය සේවය දේශපාලන වුවමනාවන් මත ප්‍රමුඛතාවයෙන් කටයුතු කරන බවට හිතවත්කම් හෝ හැඳුනුම්කම් මත සේවය කරන බවට දූෂිත ගනුදෙනු සඳහා උදව් උපකාර නොඅඩුව සිදුවන බවට දේශපාලනය මත තනතුරු වරප්‍රසාද උසස්වීම් ලැබෙන බවට පුළුල් සමාජ මතවාද පවතී. රජයේ සේවය සඳහා වැය කරනු ලබන මහජන මුදල් අපතේ යැවීමක් ලෙස හෝ අපරාධයක් ලෙස ද මේ අනුව පොදු සමාජ මතයක් පවතී. මහජන මුදලින් විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කළද එයට සරිලන සේවාවක් සිදුනොවන බවට මහජන තක්සේරු පවතී. සරලව ප්‍රකාශ කරන්නේ නම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය අකාර්යක්‍ෂම බවට පවතින මතය සමාජයෙන් ඉවත් කිරීම සුළු පටු කාර්යයක් නොවේ.

● දේශපාලනය හා රාජ්‍ය සේවය

දේශපාලනය හා රාජ්‍ය සේවය එකට කතා කරන මාතෘකාවක් වේ. පොදු කතා බහට අනුව ශ්‍රී ලංකාවේ දේශපාලනය හා බොහෝ දේශපාලකයන් දූෂිතය. තීරණ ගැනීම් බොහෝදුරට දූෂිත කරුණු කාරණා හා බැඳී පවතී. බොහෝ තීරණ දේශපාලන බලය ලබා ගැනීම සඳහා හෝ දේශපාලන බලය ආරක්‍ෂා කර ගැනීම සඳහා හෝ විවිධ ආකාරයේ දූෂිත ගනුදෙනු සඳහා දේශපාලනය මූලික බව පුළුල් සමාජය පිළිගනී. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ සමාජය තුළ පවතී. මෙය සෑම දෙනාටම අදාළ නොවූවත් බොහෝ දේශපාලකයන් බලය හා ධනය සමග සිය දේශපාලන ව්‍යාපෘති එකිනෙකට ගැට ගසාගෙන ඇත.

ගෙදර වැඩ වැඩට ගිහින් කරමු !

දේශපාලනය හා රාජ්‍ය සේවය අතර පවතින ප්‍රධාන අන්‍යොන්‍ය සබඳතාවය මෙය බවද රහසක් නොවේ. රටේ සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම එම මුවාවෙන් ඉහත කී දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ විවිධ වූ කඩඉම් පසුකර යා යුතුවේ. දූෂණයන් හෝ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා අනුමැතිය රජයේ සේවකයකුගෙන් අවශ්‍ය වේ. ඔහු ඒ සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්ව අත්සන් කිරීම දූෂණයට හෝ වංචාවට හෝ දේශපාලනයට අනුබල දීමකි. ඒ සඳහා රාජ්‍ය සේවකයකුට නොදැනුවත්ව ඒ සඳහා අත්සන් කළ හෝ අනුමත කළ බව කීමට අයිතියක් නොමැත. එහෙත් ඒවා එලෙස සිදුවේ. ශ්‍රී ලංකාව් දේශපාලනය ද සම්බන්ධ බොහෝ ඉහළ මට්ටමේ සිට පහළ මට්ටම දක්වා බොහෝ දූෂණ ක්‍රියා රාජ්‍ය සේවකයන්ගේ සබඳතාවය මත සිදුවේ. එලෙස කරනු ලැබූ දූෂණ හා ගනුදෙනුවලින් බේරීම සඳහා වන මග හෝ ක්‍රමෝපායද රාජ්‍ය සේවකයන් හරහාම සිදුවේ. බොහෝ දූෂිතයන් නිදොස් කොට නිදහස් වන්නේ එබඳු සූත්තරවලිනි. හොරකම් හෝ දූෂණ ක්‍රියාවල යෙදීමටත්, ඒවායින් බේරී නිදොස් කොට අපූරුවට නිදහස් වීමටත් පවතින අන්‍යොන්‍ය සබඳතාවයන් මගින් රාජ්‍ය සේවයද, දේශපාලනය ද එකිනෙක මත යැපෙන දුෂ්ට චක්‍රයක් වී ඇත.

● අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට දේශපාලන ආශිර්වාදය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය හා දේශපාලනය සමග ඇති බන්ධනය බොහෝදුරට රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාවය හා බැඳී පවතී. බොහෝ පරිපාලනමය හා ඉහළ කළමනාකරණ තනතුරු සඳහා නිලධාරීන් හඳුනා ගැනීමේ සාම්ප්‍රදායික හෝ ක්‍රමයන් පැවතියත් දේශපාලන සබඳතාවය අනියම් වශයෙන් සලකා බැලීම සිදුවේ. දේශපාලකයාගේ අභිමතාර්ථයන් ප්‍රථමව හා ප්‍රමුඛතාවයෙන් ඉටුකරන නිලධාරියා හඳුනා ගැනීමට හා නිර්දේශ කිරීමට දේශපාලකයා අනියම් ලෙස කටයුතු කරයි. ඔහුගේ නිර්මාණශීලීත්වය හෝ කාර්යක්‍ෂමතාවය ඒ අනුව දෙවැනි වේ. දේශපාලකයාගේ දූෂිත ගනුදෙනු සඳහා හෝ සිය පක්‍ෂයේ ප්‍රවර්ධනය සඳහා කරනු ලබන කටයුතු සඳහා අනියම් ලෙස හෝ සහාය ලබාගත හැකි නිලධාරියා දේශපාලකයාගේ නිර්දේශය මත තනතුරුවල දීර්ඝකාලීනව රැඳී සිටීමේ භාග්‍යය ලබත්තෝ වෙති. ඔවුන් බොහෝදුරට මහජන සේවාවන්වලට හෝ නිර්මාණශීලීව තම රාජකාරි කරනවාට වඩා ඇමැතිවරයාගේ අවශ්‍යතා සඳහා උනන්දු වන බැවින් එබඳු අයගේ නායකත්වය යටතේ රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු නොවේ. මේ අනුව රාජ්‍ය සේවය දේශපාලනය හා බැඳී පවතින අශුභවාදී සබඳතාවය රාජ්‍ය සේවය දිගින් දිගටම අකාර්යක්‍ෂම යාන්ත්‍රණයක් ලෙස පැවතීමට හේතුවී ඇත.

● රාජ්‍ය සේවය සරල නොවීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සරල එකක් නොවේ. එමෙන්ම එය බොහෝ සාම්ප්‍රදායික නීති රීති හා රෙගුලාසි සමග බැඳී පවතී. රාජ්‍ය සේවයට බඳවා ගැනීම් අතිශය ලෙසම සම්ප්‍රදායික හා නවීකරණයට භාජනය නොවන ප්‍රවේශයක් වේ. එය එක්තරා දුරකට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සමග ද බැඳී පවතී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය විභාග කේන්ද්‍රීය වන අතර රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ද බොහෝදුරට විභාග කේන්ද්‍රීය වේ. ඉහළම තනතුරුවලට තෝරා ගන්නා ශ්‍රී ලංකා පරිපාලන සේවය, ගණකාධිකාරි සේවය, සැලසුම් සේවය පමණක් නොව මධ්‍යම මට්ටමේ තනතුරු සඳහා බඳවා ගැනීම මූලිකව සම්ප්‍රදායික විභාග ක්‍රමයක් මත බැඳී පවතී. බොහෝදුරට මෙම අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ නිෂ්පාදනයක් වන අතර රාජ්‍ය සේවයේ විභාග ක්‍රමය සඳහා ද ඔවුන් එලෙසම මුහුණදී විභාග ජයගෙන රාජ්‍ය සේවයට ඇතුළත් වේ. මෙම විභාග පරීක්‍ෂණයන් හා ඒ හා බැඳුණු සම්මුඛ පරීක්‍ෂණ ආදිය ද සරල ඒවා නොවන අතර දීර්ඝ කාලයක් ගතවෙන ක්‍රියාදාමයන් වේ. එහි කාර්යක්‍ෂමතාවය පිළිබඳ සලකා බැලීම ද අවමය.

බොහෝ දියුණු රටවල පවතින්නේ අයදුම්කරුගේ හැකියාවන් සමග සුදුසුකම් සලකා බැලෙන තරඟකාරී සරල ක්‍රමයකි. අධ්‍යාපනික සුදුසුකම්වලට වඩා අදාළ රැකියාවට අවශ්‍ය හැකියාවන් හා කුසලතාවන් මැන බැලෙන විවෘත රාජ්‍ය සේවා බඳවාගැනීම් එබඳු රටවල පවතී. අධ්‍යාපන ක්‍රමයේ ද පවතින විභාග ක්‍රමවලින් අදාළ අයදුම්කරු ජයගෙන ඇත්නම් අදාළ තනතුරු සඳහා විශේෂයෙන් සලකා බැලිය යුත්තේ ඔහුගේ අවශ්‍ය හැකියාවන් හා කුසලතාවයන් වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේ තරග විභාගයෙන් එම සේවයට ඇතුළත් වන අයෙකුට අවශ්‍ය භාෂා හැකියාව නොමැති නම් ඔහු එබඳු අවශ්‍යතාවයක් පවතින ආයතනයක කළමනාකරණ තනතුරකදී අසාර්ථක වේ. එය කාර්යක්‍ෂමතාවයට බලපායි. විෂයානුබද්ධ කුසලතාවයන් මෙන්ම වෙනත් මානව සබඳතා සඳහා අවශ්‍ය කුසලතාවයන් පිළිබඳ නොසලකා විභාග ජය මතම පමණක් සලකා එබඳු හැකියා අවශ්‍යතා ඇති ආයතනයක ප්‍රධානියකු ලෙස එක්වීම නිසා ඔහු අසාර්ථක වනු ඇති අතර එය සෘජුවම සේවා කාර්යක්‍ෂමතාවයට බලපායි.

රාජ්‍ය සේවයේ පවතින සරල නොවන නීති රෙගුලාසි හා අනේක විධ එකිනෙකට නොගැලපෙන චක්‍රලේඛ ආදියද බොහෝ කටයුතු ප්‍රමාද කිරීමට හේ අකාර්යක්‍ෂම කිරීමට හේතුවේ. ඉතා සරල හා කඩිනමින් තීරණය කළ යුතු හා කළ හැකි කටයුත්තක් සඳහාද ස්ථාන කිහිපයකට අදාළ ලිපිගොනු හුවමාරු වීම මත සේවාලාභියාට දින ගණන් නොව සමහරවිට වසර ගණන් අදාළ තීරණය ලබා ගැනීමට ප්‍රමාද වේ. තීරණ ගැනීම් සරල නොවීමට හා වගකීම් බෙදා ගැනීම සඳහා පවතින බාධාවන් ප්‍රමාදයට හා අකාර්යක්‍ෂමතාවයට බලපා ඇත. මෙම තත්ත්වයන් රාජ්‍ය සේවයටම අහිතකර ලෙස බලපා ඇති අහිතකර සබඳතාවයකි.

● ප්‍රමාදයන් හා කලකිරීම්

ප්‍රමාදය ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ බොහෝ ස්ථානවල මුල්බැස ඇති ධර්මතාවයක් බඳුවේ. රාජ්‍ය සේවයේම නිලධාරියකුගේ ස්ථාන මාරුවක් හෝ සමහරවිට වැටුප් වර්ධනයක් ගෙවීම වැනි කරුණු මත රාජ්‍ය සේවය තුළම මහත්වූ කලකිරීම් පවතී. මෙය පැහැදිලිවම කාර්යක්‍ෂමතාවයට බලපානු ලබයි.

ප්‍රමාදයන් හා කලකිරීම් මත රාජ්‍ය සේවය රාජ්‍ය සේවය තුළම අකාර්යක්‍ෂමතාවය දුෂ්ට චක්‍රයක් බවට පත්ව ඇත. නිසි කලට අවශ්‍ය ස්ථාන මාරුව ප්‍රමාද වීම, උසස්වීම ප්‍රමාද වීම, වැටුප් වර්ධකය ප්‍රමාද වීම ආදිය මත රාජ්‍ය සේවයේ ඇතුළතද තමාගේ කටයුතු කර ගැනීමේ ප්‍රමාදය මත මහජන සේවය සඳහා ගත කළ යුතු කාලය ඒ වෙනුවෙන් මිඩංගු කරයි. තමාගේ රාජකාරි ගැටලුවක් විසඳා ගැනීමට දින ගණන් රස්තියාදු වෙන රාජ්‍ය සේවකයන් ඇත. තමාගේ වැටුප් වර්ධකය ලබා ගැනීමට ප්‍රමාද වූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගිය පසුද ඒ සඳහා කාලය ගත කරමින් කාර්යාලවල රස්තියාදු වීම පිළිබඳ උදාහරණ ඇත. සම්ප්‍රදායික භාවිතාවන්, සරල නොවන මානව සම්පත් කළමනාකරණ ප්‍රවේශයන් මත රාජ්‍ය සේවය තුළම ප්‍රමාදයන් ස්ථාපිත වී ඇති අතර එය අසහනයට පත් රාජ්‍ය සේවයක් නිර්මාණය කොට ඇත.

● වෛද්‍යවරියගේ උදාහරණය

රාජ්‍ය සේවය තුළ සේවය කරන නිලධාරීන්ගේ සේවා ගැටලුවක් හෝ අවශ්‍යතාවය පරිදි විසඳා ගැනීමට ඉහත කී සරල නොවන තීරණ ගැනීමේ ක්‍රියාවලිය බැඳී පවතී. බොහෝ රාජ්‍ය නිලධාරීන්ට තම ආයතනයෙන් තම සේවා ගැටලුව විසඳා ගැනීම සඳහා හිතවත්කම් හරහා උදව් ලබා ගැනීමට පෙළඹේ. හිතවත්කමක් හෝ හැඳුනුම්කමක් නොමැති නම් තමාගේ ගැටලුව කඩිනමින් විසඳා ගැනීමට නොහැකි බව රාජ්‍ය සේවය තුළම පවතින ආකල්පයකි.

මා රාජ්‍ය පරිපාලනයට සම්බන්ධව රාජකාරි කළ බැවින් එබඳු ගැටලු සඳහා සේවය කරන හා විශ්‍රාම ගිය පසුද රාජ්‍ය සේවය සමග මා සමග ඇති සබඳතාවය මගින් උදව් පතන බොහෝ දෙනෙක් ඇත. මා ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරනු ලැබූ කාලයේ සිට ඉතා හිතවත්ව සිටින ග්‍රාම නිලධාරිවරයකුගේ පුතා වෛද්‍යවරයෙකි. ඔහුගේ බිරිඳ ද වෛද්‍යවරියක් වන අතර ඔහුත් කලක් බදුල්ල ප්‍රදේශයේ සේවය කරන අතර ඔවුන්ට කුඩා දරුවෙක්ද සිටී. ඉතා ආසන්නව සේවය කිරීම ඔවුන්ගේ සේවා තෘප්තියට අදාළ කරුණක් වුවත් ඔවුන්ගේ කුඩා දරුවා සමග එකට සිටීම මානුෂීය කරුණක් වුවත් හදිසියේම වෛද්‍යවරියට අම්පාර ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලැබෙන අතර මේ මගින් ඔවුන්ගේ දරුවා ඉතාමත් රෝගී තත්ත්වයට පත්වේ. පවතින ප්‍රවාහන දුෂ්කරතා මත දරුවාගේ කටයුතු සොයා බැලීමට මවට බාධා පැමිණේ. අදාළ වෛද්‍යවරුන් දෙදෙනා කුඩා දරුවා ද රැගෙන තම පියා වූ විශ්‍රාමික ග්‍රාම නිලධාරි මහතා ද සමග මා හමුවට පැමිණියේ තාවකාලික ස්ථාන මාරුවක් ගැනීම සඳහා උදව්වක් ලබා ගැනීමට වේ. මේ පිළිබඳ දීර්ඝ කාලයක් ඉල්ලීම් කළත් ඒ සඳහා පිළිතුරක් හෝ නොමැති බව ඔවුන්ගේ දුක්ගැනවිල්ල විය.

අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා මා සමග පෞද්ගලික හිතවත්කම් පවතින බැවින් පසුදිනට අදාළ සිව්දෙනා සමග ප්‍රමුඛතාවයෙන් ලේකම්වරයා මුණ ගැසුණු මම මේ පිළිබඳ අභියාචනය නැවතත් ලේකම්වරයාට භාරදුන් අතර ඔවුන්ගේ නිර්දේශ සමග රාජ්‍ය සේවා කොමිසම වෙත කඩිනමින් යොමුකරන ලදි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය පරිපාලන කොටසට කලින් යොමු කරනු ලැබූ මෙම අභියාචනය එතනින් රාජ්‍ය සේවා කොමිසම වෙත නිර්දේශ කර ඉදිරිපත් කර ඇතත් මාස 5 කට අධික කාලයක් මේ සඳහා කිසිදු සාධනීය පිළිතුරක් ලැබී නොමැත. මෙබඳු හදිසි හා අත්‍යවශ්‍ය මානුෂීය තාවකාලික ස්ථාන මාරුවක් ලබාදීම හා ලබා ගැනීම අතිදුෂ්කර කාර්යයක් වී ඇති බැවින් අදාළ අංශ වෙත මගේ ද සබඳතා මගින් සොයා බැලුවත් මේ දක්වා පිළිතුරක් ලැබී නැත. ඉතා කෙටිකාලීන තාවකාලික ස්ථාන මාරුවක් ලබාදීම සඳහා බලතල ද රාජ්‍ය සේවා කොමිසම බදාගෙන සිටීම වැනි කරුණු මත සිදුවන ප්‍රමාදයන් සාමාන්‍ය දෙයක් බවට හා අනිවාර්යය දෙයක් බවට පත්කොට ඇත. අවසානයේ ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ මෙරට අතහැර විදේශ රටක සේවය සඳහා යෑම වඩා උචිත බැවින් තාවකාලික ස්ථාන මාරු අදහස අතහැර රට හැර යෑමේ තීරණය සඳහා මාරුවීම පිළිබඳව ය. මේ අනුව රාජ්‍ය සේවයේ ගතානුගතික සම්ප්‍රදායික භාවිතයන් මත සිටිනා මානව සම්පත් රටට අහිමි වීම සිදුවේ.

● අකාර්යක්‍ෂමතාවය පිළිබඳ ජනමතය

එබඳු බොහෝ ප්‍රමාදයන් සුළු තීරණයක් ගැනීමට පවා රාජ්‍ය සේවා කොමිෂන් වැනි ඉහළ ආයතනවලට බලතල මධ්‍යගත කිරීම්, සුළු කරුණක් සඳහා කිහිප වතාවක් එකම ආයතනයකට හෝ ආයතන ගණනාවකට යෑමට සිදුවීම, හිතවත්කම් හෝ හඳුනනකම් මගින් සේවා ලබා ගැනීමට පෙළඹීම හා එබඳු උත්සාහයක් නොමැති නම් වැඩේ කරගන්න බැරි බවට ඇති ජනමතය, මහජන පහසුව හා කඩිනමින් සේවය ලබාදීම පිළිබඳ පවතින නිලධාරිවාදී භාවිතාවන්, රාජ්‍ය සේවයේ බොහෝ ආයතනවල පවතින ඒකාධිකාරි භාවිතාවන් ආදිය මත රාජ්‍ය සේවය අකාර්යක්‍ෂම බවට පවතින සමාජ මතයන් ඉහළ අගයක් ගනී. ප්‍රමාදයන්, අකාර්යක්‍ෂමතාවය, ඉෂ්ට නොතිබීම ආදී කරුණු සඳහා පිළියම් යෙදීමට වඩා ඒ සඳහා වන නිදහසට කරුණු කීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති නිසා රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාවය අඩු කිරීම ද එබඳු අකාර්යක්‍ෂම දුෂ්ට චක්‍රයක් බවට පත්ව ඇත.

● අකාර්යක්‍ෂමතාවය ඉවත් කිරීම

රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම සඳහා පැවති හා පවතින සංවාදයන්ද නොනිමි එකකි. රාජ්‍ය සේවයේම කටයුතු කළ බොහෝ නිලධාරීන්ද සමහර දේශපාලකයන් පවා රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයන් දක්වා ඇත. ඒ සඳහා වන වාර්තා, නිර්දේශද විශාල ගණනකි. එවැනි නිර්දේශ හා කළමනාකරණ යෙදවීම් මත කාර්යක්‍ෂමවී ඇති රාජ්‍ය සේවා සැපයුම් ද පවතී. කෙසේ වුවද එය ප්‍රමාණවත් නොවන බවද බොහෝ දෙනාගේ මතය වී ඇත. එය පුළුල් සමාජ හා දේශපාලන මතයකි. එමෙන්ම එය අපේක්‍ෂිත සංවර්ධන ඉලක්කයන් වෙත යෑමට ද පුළුල් බාධාවක් වී ඇත. මේ අනුව රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම යුගයේ ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු න්‍යාය පත්‍රයක් වී ඇත. මේ සඳහා ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳ අවධානය ද ඉතා අත්‍යවශ්‍ය වේ.

● කළමනාකරණ වෙනස්කම්

ගෙදර වැඩ වැඩට ගිහින් කරමු !

රාජ්‍ය සේවය වෙනසකට භාජනය කිරීම සඳහාත් එය කාර්යක්‍ෂම යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කිරීම සඳහාත් අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකය වන්නේ කළමනාකරණ පරිවර්තනයයි. සම්ප්‍රදායික ක්‍රම උපායන් මත කළමනාකරුවන් තේරීම හා යෙදවීම වෙනුවට අධ්‍යාපන සුදුසුකම් හා ජ්‍යෙෂ්ඨත්වය මත හෝ දේශපාලන අනියම් නිර්දේශ මත සිදුකරන කළමනාකරුවන් තෝරා ගැනීම වෙනස් කිරීම රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය දියුණු වීම සඳහා ප්‍රමුඛ යෙදවුම වේ. මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා හා පෙන්වාදීම් පැවතියත් එය බීරි අලින්ට වීනා වාදනයක් වී ඇත්තේ රාජ්‍ය සේවය දේශපාලන න්‍යාය පත්‍රයන්වල හිරකරුවකු වී ඇති බැවිනි. තරගකාරී ඒ ඒ අදාළ තනතුරට අවශ්‍ය හැකියාවන් හා කුසලතාවයන් මත නිලධාරීන් හඳුනා ගැනීමේ අභ්‍යන්තර ප්‍රවේශයක් රාජ්‍ය සේවයට අවශ්‍ය වේ. විභාගවලින් ජයගෙන, අභ්‍යන්තර සාම්ප්‍රදායික කාර්ය සාධන ක්‍රියාවලිය තුළ දීර්ඝ කාලයක් සේවයේ නිරතවීම මත පමණක් ඒ ඒ තනතුරට අවශ්‍ය කළමනාකරුවන් හඳුනා ගැනීම අපහසුවකි. බොහෝ දියුණු රටවල ඒ ඒ කළමනාකරණ තනතුරු සඳහා අවශ්‍ය හැකියා කුසලතා හඳුනාගෙන ඇත. (Skill and competency matrix) ඒ අනුව තරගකාරීව ඉතාම දක්ෂ කළමනාකරු හඳුනා ගැනේ. ඉතාම දක්‍ෂ කළමනාකරු තම ආයතනයේ ප්‍රමාදයන්, බාධාවන්, මානව සම්පත් ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ප්‍රමුඛව හඳුනාගනු ඇත. ඔහු තුළ තිබිය යුතු නිර්මාණශීලීත්වය මගින් ඔහුටම ආවේණික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඔහු අරඹනු ඇත. ඒ සඳහා විශාල න්‍යාය පත්‍රයක් වෙනුවට එදිනෙදා අවශ්‍ය වෙනස්කම් හා යෙදවුම් මගින් ඔහු තම ආයතනය කාර්යක්‍ෂම කරනු ඇත. එබඳු කළමනාකරුවන් හඳුනා ගැනීමේ විද්‍යාත්මක මානව සම්පත් ක්‍රම ඇතත් ශ්‍රී ලංකාවේ එම කරුණු පිළිබඳ අවධානය යොමු නොකරන්නේ දේශපාලන සැඟවුණු න්‍යාය පත්‍රයන් සමග රාජ්‍ය සේවයේ පවතින බන්ධනය නිසාවෙනි.

● කළමනාකරණ කාර්ය සාධනය මැනීම

ලෝකයේ බොහෝ දියුණු සමාජයන්හී කළමනාකරණ කාර්ය සාධනය රාජ්‍ය සේවයේ අනිවාර්ය යෙදවුමකි. කළමනාකරුවා සඳහා අදාළ ඉලක්ක ලබාදී ඇති අතර ඒ සඳහා කළමනාකරු ගිවිසුමකට බැඳී සිටී. ශ්‍රී ලංකාවේ ද මෙබඳු ප්‍රවේශයන් වරින් වර හඳුන්වාදී ඇතත් දේශපාලනයට කඩේ යෑම ප්‍රමුඛ සලකා බැලීම බැවින් කාර්ය සාධනය මැනීමේ න්‍යාය පත්‍රයක් කෙටිකලකට සීමාවී ඇත. ඉලක්ක මත ගොඩනැඟෙන කාර්ය සාධන නිර්නායක මත කාලීනව එම කාර්ය සාධනය මැනීම මත කළමනාකරුගේ පැවැත්ම තහවුරු විය යුතුය. වසර කිහිපයක් සඳහා අදාළ කළනාකරණ තනතුර යම්කිසි නිලධාරියකු දරන්නේ නම් ඔහුගේ කාර්ය සාධන ගමන් මග වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව මැන බැලෙනු ඇත. ඒ අනුව ඔහු කිසි ගමන් මාර්ගයක යන හෝ නොයන බව තීරණය කිරීමෙන් ඔහු වෙත රතු එළි හෝ කොළ එළි කලින්ම ලබාදෙනු ඇත. සිංගප්පූරුව වැනි දියුණු රටවල කාර්ය සාධනය මැනීම සඳහා පෞද්ගලික අංශයේ කළමනාකරණ සංවර්ධන ආයතන යොදා ගැනීම මත අදාළ කාර්ය සාධනය පිළිබඳ නිවැරදිතාවය හා නිවැරදි නිර්දේශ රජයට ලබාදේ. ඒ අනුව කළමනාකරුවාගේ පැවැත්ම තීරණය වේ.

● ස්වයං සේවා

බොහෝ රටවල මහජන සේවාවන් ස්වයං සේවා මත සිදුවේ. මහජනතාවට කාර්යාලවල රස්තියාදු වීම අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ ද මේ සඳහා යම් යම් යහපත් ප්‍රවණතාවයන් ඇතත් එබඳු දියුණු වූ ක්‍රම සහිත සමාජයන් හා සැසඳීමේදී ඒවා ප්‍රමාණවත් නොවේ. ව්‍යාපාර සඳහා අනුමැතිය ගැනීම්, ඒ සඳහා අවශ්‍ය ගෙවීම් සහතික ගැනීම් ආදිය ස්වයං සේවා මත සිදුවේ. එය ලෝකයේ ව්‍යාපාර පහසු කරන නිර්නායක බවට පත්වී ඇත. එම පහසුව සඳහා ඉදිරියෙන්ම සිටින රටවලට ආයෝජන වැඩිපුර පැමිණේ. ඒ පිළිබඳ නිර්නායක පසු පසින් සිටීනම් එය ජාත්‍යන්තර පිළිගැනීමට ලක්නොවී ලබාගත හැකි අවස්ථාවන් මග හැරීමට කරුණු යෙදේ.

මහජන හා පාරිභෝගික බලගැන්වීම

මහජනතාවට හා පාරිභෝගිකයාට නිසි කාලයක් තුළ හා අදාළ ප්‍රමිතියෙන් සේවය ලබා ගැනීම ඔහුගේ අයිතියකි. කිසියම් පිළිගත කාලයක් තුළ එම සේවය සපයන බවට රාජ්‍ය ආයතන ජනතාවට පොරොන්දු විය යුතුය. ශ්‍රී ලංකාවේ ද මහජන ප්‍රඥප්ති වැඩසටහන මගින් එම ප්‍රවේශය හඳුන්වා දීමට උත්සාහ කළත් ඒ සඳහා රජයේ ප්‍රමුඛ අවධානයක් යොමු නොවීම මත ක්‍රියාත්මක කිරීම අඩාල වී ඇත. සමාජය හා සමාජ සංවිධාන සජීවීකරණය හා බලගැන්වීම තුළ ද රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය දියුණු කළ හැක. කිසියම් සේවයක් අදාළ කලට වේලාවට ලබා ගැනීමේ නීත්‍යනුකූල අයිතිය තහවුරු කරන්නේ නම් එය රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය බලගැන්වීමට සමාජ බලගැන්වීමක් වනු ඇත

● රජයේ කැපවීම

රාජ්‍යයේ පැවැත්ම ඉහළ පහළ යෑම පිළිබඳ සබඳතාවයන් රාජ්‍ය සේවය හා බැඳී පවතී. රාජ්‍ය සේවය කාර්යක්‍ෂම වීම මත රජයට මෙන්ම සමස්ත රට පිළිබඳව අභ්‍යන්තර හා බාහිරව පවතින අහිතකර මතවාදයන් තුරන් වනු ඇත. රාජ්‍ය සේවය හෝ එහි කළමනාකාරීත්වය දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ හිර කිරීම වෙනුවට සැබෑ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට නතු කිරීම තුළ රජයට හා දේශපාලනයට ලබාගත හැකි තුලනාත්මක වාසි බොහෝ පවතී. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් මෙය තේරුම් ගැනීම ප්‍රමාද වීම මත ශ්‍රී ලංකාව අකාර්යක්‍ෂම වී ඇත. ඒ අනුව රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය අපේක්‍ෂා කිරීම ද කළ නොහැක. ශ්‍රී ලංකාව තුළ බොහෝ ගැටලු දුෂ්ට චක්‍රයක් තුළ හිරවී ඇත්තේ එබඳු තත්ත්වයන්ගෙන් මිදීම පිළිබඳ පවත්නා දේශපාලන උදාසීනත්වයයි.

ජිනසිරි දඩල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment