චීනය සමග ආර්ථික සබඳතා ගොඩනඟාගත් ප්‍රථම ලාංකික දේශපාලනඥයා ආර්. ජී. සේනානායක…

204

(ලාංකික දේශපාලනයේ සුවිශේෂී දේශපාලන නායකත්වයක් දැරූ ප්‍රවීන දේශපාලනඥ ආර්. ජී. සේනානායක මහතා දිවංගත වී මෙම දෙසැම්බර් 22 දිනට වසර 52 ක් සපිරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)

ශ්‍රී ලංකා දේශපාලන වංශ කථාවේ සුවිශේෂී වාර්තාවක් තබා එකවර ඡන්ද කොට්ඨාස දෙකක් නියෝජනය කරමින් මැති සබයට පිවිසි ප්‍රථම හා එකම මන්ත්‍රීවරයා වන්නේ රිචඩ් ගෝඨාභය සේනානායක හෙවත් ආර්. ජී. සේනානායක මහතාය.

මෙරට නිදහස් සටනේ පතාක යෝධයකු වූ, දේශබන්ධු ඇෆ්. ආර්. සේනානායක මහතාගේ දෙටු පුතණුවන් ලෙස රාජ්‍ය වර්ෂ 1911 නොවැම්බර් 4 වෙනි දින ඓතිහාසික මීරිගම බෝතලේ වලව්වේ දී උපත ලද ආර්. ජී. සේනානායක මහතා, හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ ඥාති සොහොයුරකු විය.

චීනය සමග ආර්ථික සබඳතා ගොඩනඟාගත් ප්‍රථම ලාංකික දේශපාලනඥයා ආර්. ජී. සේනානායක…
ශ්‍රී ලංකා චීන රබර් හා සහල් ගිවිසුම අත්සන් කරමින්

පාසල් වියේ දී කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ආර්. ජී. සේනානායක සරසවි අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙනි. එම සරසවියෙන් නීති උපාධිය ලබා අධිනීතිඥවරයකු වශයෙන් දිව්රුම් දී නීති වෘත්තියේ යෙදුනද ආර්. ජී. ගේ හිත ගියේ දේශපාලනය වෙනුවෙනි. තම පියාගේ හදිසි අභාවයෙන් පසුව එතුමන් ගෙන ගිය සමාජ දේශපාලන මෙහෙවර ඉදිරියට ගෙන යෑම සිතට ගෙන සිංහල බෞද්ධ නායකයකු ලෙස සමාජ මෙහෙවරෙහි යෙදෙමින් කටයුතු කරන්නට විය.

මේ වනවිට තම සොහොයුරියගේ ස්වාමිපුරුෂයා වූ සිරිපාල සමරක්කොඩි මහතා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ඡන්ද කොට්ඨාසයේ රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස මැතිසබය නියෝජනය කරමින් සිටියේය. ඉතා තරුණ අවධියක සිටි සිරිපාල සමරක්කොඩි මහතා රාජ්‍ය මන්ත්‍රීවරයා වශයෙන් පත්වූයේ 1936 පැවති මැතිවරණයේදීය. එම මන්ත්‍රී ධුරය හොබවන සමයේදී එනම් 1944 වසරේදී සමරක්කොඩි මහතාගේ හදිසි අභාවය සිදුවිය. මේ නිසා නාරම්මල ඡන්ද කොට්ඨාශයට නව මන්ත්‍රීවරයකු පත්කර ගැනීම සඳහා පැවැති අතුරු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකු වශයෙන් ආර්. ජී. සේනානායක මහතා තරගයට පිවිසුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1944 දෙසැම්බර් 16 වෙනි දින පැවති අතුරු මැතිවරණයෙන් ජයගත් ආර්. ජී. සේනානායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. 1946 වසරේ එක්සත් ජාතික පක්ෂය පිහිටුවන විට එහි ආරම්භක සාමාජිකයකු වූ ආර්.ජී. 1947 පැවැති ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රී තරගයට ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල වෙනුවට අභිනවයෙන් පිහිටුවූ දඹදෙනියේ ඡන්ද කොට්ඨාශයකටය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් එම ඡන්ද කොට්ඨාශය දිනා මැති සබයට පිවිසි ආර්. ජී. සේනානායක මහතාට තම පියාගේ බාල සහෝදරයා වූ නව අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ රජයේ ඩී. එස්. ඉසිලූ රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන්නට හැකි විය. 1947 සිට 1952 දක්වා එම නියෝජ්‍ය ඇමැති පදවිය ඉසිලූ ආර්. ජී. 1952 පැවැති මහ මැතිවරණයෙන් යළි දඹදෙණිය දිනාගෙන පැමිණ අභිනව ඩඩ්ලි සේනානායක රජයේ වෙළෙඳ අමාත්‍ය ධුරයට පත්විය.

ඩඩ්ලි සේනානායක මහතාගේ රාජ්‍ය පාලන යුගයේදී අප රටේ ඇති වූ සහල්, ආහාර අර්බුදයෙහි එයට විසඳුම් වශයෙන් විශේෂ කාර්යය භාර්යයක් සිදුකළ අමාත්‍යවරයා වූයේ නව වෙළෙඳ ඇමැති වූ ආර්. ජී. සේනානායක මහතා මාක්ස්වාදී කොමියුනිස්ට් ආණ්ඩුවක් පවත්වාගෙන මහජන චීන රජය සමග සාකච්ඡා කළ ආර්. ජී. එම රට සමඟ ලංකාවේ ප්‍රථම වෙළෙඳ ගිවිසුම අත්සන් කළේ පවතින අර්බුදය නිම වී රටටම සහනය ගෙන ඒමටය. ඒ අනුව ශ්‍රී ලංකා චීන රබර් හා සහල් ගිවිසුම අත්සන් කර රටේ පැවැති සහල් අර්බුදය නිමාවට පත් කළේ කුශාග්‍ර, බුද්ධිමත් දේශපාලනඥ නායකයකු ලෙසිනි.

එමෙන්ම 1951 දී පැවති ඇමෙරිකාවේ සැන් ප්‍රැන්සිස් මහ සමුළුවට එවකට මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ආර්. ජී. සේනානායක මහතා ජපානයට නිදහස ලබා දීම අප රට ගත් වෑයමේ කොටස්කරුවකු විය. ආර්. ජී. සේනානායක මහතා විවාහ වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රිය මැතිණිය වූ එලිනා ජයවර්ධනගේ ඥාතී සොහොයුරියක් වූ එරීන් සුබසිංහ සමගය. දේශපාලන වශයෙන් එකම කඳවුරක සිටියද විවාහයේදී එකම පරපුරකින් සබඳතා ගොඩනඟා ගත්තද ආර්. ජී. හා ජේ. ආර්. අතර පැවතියේ දේශපාලන විරසක භාවයකි. එය කොතරම් වර්ධනය වූවාද යත් ආර්. ජී. 1956 මහ මැතිවරණය වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස් වී ස්වාධීනව තරග කිරීමට තරම් ප්‍රභල විය. මේ අනුව එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණට හිතවත්ව තරග වැදුණ ආර්. ජී, ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ තරග වැදී සිටි කැළණිය මැතිවරණ කොට්ඨාශයට ද තරග කළේ තමා මැති සබය නියෝජනය කරන දඹදෙණිය ඡන්ද කොට්ඨාශයට ඉදිරිපත්ව සිටින අතරදීය. අවසානයේ ඡන්ද කොට්ඨාස දෙකම ජයගත් ආර්. ජී. සේනානායක මහතා එදා තැබූ වාර්තාව අද වන තුරු බිඳී නොමැත.

බණ්ඩාරනායක මහතාගේ රජයේද වෙළෙඳ ඇමැති ධුරය හෙබවූ ආර්. ජී. සේනානායක මහතා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී එම පක්ෂය නියෝජනය කරමින් දඹදෙණියේ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළේ රටට ජාතියට ආගමට හිතැති දේශපාලනඥයකු ලෙස රටවැසි සියලු දෙනාගේ සිත් දිනා ගනිමිනි. 1947 වසරේ සිට 1970 දක්වා වසර විසිතුනක් මැති සබය නියෝජනය කළ ආර්. ජී. සේනානායක මහතා 1970 දී පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ තමන් විසින්ම පිහිටුවන ලද සිංහල මහජන පක්ෂය නම් අභිනව පක්ෂයේ නායකයා ලෙස ය.

මෙම මැතිවරණයේදී දඹදෙණිය හා ත්‍රිකුණාමලය යන ඡන්ද කොට්ඨාස දෙකටම එම පක්ෂයෙන් තරග කළ ආර්. ජී. සේනානායක මහතාට අත්වූයේ අන්ත පරාජයකි. ඡන්ද කොට්ඨාස දෙකින්ම ඇපද රාජසන්තක වීමට තරම් එම පරාජය ප්‍රබල විය. එයින් ඉමහත් සිත් තැවුලට පත් වූ ආර්. ජී. බොහෝ සෙයින් ආගමට දහමට ලැදිව ජීවත් වන්නට විය. අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ පෙහෙවස් සමාදන් වී ගුවන් විදුලි යන්ත්‍රයක් ළඟ තබාගෙන රාත්‍රියට පිරිත් අසමින් සිටින්නට ඔහු දැඩිව කැමැත්ත දැක්වීය.

ඔහු සැමවිටම කුඩා කාලයේ සිටම ආගමට දහමට ලැදිව සිටි අතර බම්බලපිටියේ වජිරාරාම දහම් පාසලෙන් අතිපූජ්‍ය පැලෑණේ වජිරඥාන මා හිමි සෙවනේද, නාරද මා හිමි ඇසුරේ ද දහම් දැනුම වර්ධනය කර ගෙන තිබුණි. මැති සබයෙන් සමුගෙන සේනානායක මහතා ජීවත් වූයේ මාස හතකට ආසන්න කාලයකි. 1970 දෙසැම්බර් 22 දින ආර්. ජී. සේනානායක නම් මෙම සුවිශේෂී දේශපාලනඥයා ජීවිතයෙන් සදහටම සමුගත්හ. එතුමාගේ අභාවයෙන් වසර පනස් දෙකක් පිරෙන මෙම අවස්ථාවේ දී එතුමාගේ ශ්‍රී නාමය සිහිපත් කිරීම පිදිය යුත්තන් පිදීමක් ලෙස මා සලකමි.

චීනය සමග ආර්ථික සබඳතා ගොඩනඟාගත් ප්‍රථම ලාංකික දේශපාලනඥයා ආර්. ජී. සේනානායක…

වජිර අබේවර්ධන (පා.ම.),
එක්සත් ජාතික පක්ෂ සභාපති

advertistmentadvertistment
advertistmentadvertistment