ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට නව අපේක්‍ෂාවන් ඇතිකළා – අගමැති දිනේෂ් ගුණවර්ධන

189
  • අද අපි කතා කරන්නේ අනාථවූ අය හදාගත් ආණ්ඩුවක රාජාසන කතාවක් ගැනයි – තුෂාර ඉඳුනිල් (සජබ)

    * අර්බුදයට වගකිව යුතු අයට දඬුවම් දිය යුතුයි – රෝහිණී විජේරත්න (සජබ)

    * තවමත් සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් නැතිවීම කනගාටුයි – මෛත්‍රිපාල සිරිසේන මහතා (ශ්‍රීලනිප)

    * ජනපති රට ඉදිරියට ගෙන යනවා වෙනුවට තම පක්‍ෂයේ අරමුණු වෙනුවෙන් අර්බුදය පාවිච්චි කරනවා – ඩලස් අලහප්පෙරුම මහතා (ශ්‍රී. පො.පෙ.)

    * අපට පොහොට්ටුවේ හොරු එක්ක එකට ඉඳගෙන ඇමැතිකම් කරන්න බෑ – එස්. එම් මරික්කාර් (සජබ)


    අකිත පෙරේරා – රනිල් ධර්මසේන

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය

    මගින් ජනතාව තුළ නිර්මල ආශ්වාදයක් සහ නව අපේක්ෂාවන් ඇති කළ බව සියළුදෙනා පිළිගනිමින් සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය.

    වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (10 දා) පෙරවරු 10.00 ට රැස්විය.

    ප්‍රථමයෙන් ලිපිලේඛන, වාර්ෂික වාර්තා, 27 (02) යටතේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සහ ඒවාට පිළිතුරු ලබා දීම, කාලීන ප්‍රශ්න විමසීම ඉන් පසුව සිදුවිය.

    අනතුරුව පනත් කෙටුම්පත්

    පිළිගැන්වීම සිදුවීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 03 දා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය දෙවැනි දිනටත් ඊයේ ආරම්භ කෙරිණ.

    විවාදය ආරම්භ කරමින් පත්කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (සජබ) –

    අපට චීනයෙන් ලැබී තිබෙන මුළු ණයවලින් සියයට 20 ක් විතර වෙනවා. වෙනත් රටවල්වලින් එහෙම ණය දීලා නෑ. අපි මේ

    ගැන සලකා බැලිය යුතුයි. අපට ඩොලරය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම මුදල් ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අපට බැංකු ප්‍රශ්නයක් නෑ. මේ තිබෙන ආර්ථික ප්‍රශ්නයට ප්‍රධානතම හේතුව තමයි දූෂණය සහ අල්ලසයි. මේ රටේ මහජන මුදල් කොතරම් කොල්ල කාලාද කියලා අපිට හොයා ගන්න නෑ. මේවා ගැන ක්‍රියා කරන්න තිබෙන නීති රාක්කවල පුස් කනවා. නීතියේ සිදුරු අස්සෙන් රිංගලා මංකොල්ල කනවා.

    මම නීතීඥයන්ගෙන් ඉල්ලනවා මේ වගේ හොරුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න එපා. හොරකමට සම්බන්ධ අයව නීතියෙන් ආරක්ෂා කරන්න යන්න එපා. හැමෝම එකා වගේ මේවා ක්‍රියාවට නංවන්න ඕනා. අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීන විය යුතුයි. එක දේශපාලනඥයෙක්වත් නිලධාරියෙක්වත් අපේ රටේ මේ නීතිවලින් දඬුවම් විඳලා නෑ. අපේ රට එච්චර පිරිසිදුද?

    අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා – අපි 2015 දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගත්තා එක්සත් ජාතීන්ගේ දූෂණයට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. එදා අල්ලස් හා දූෂණ විරෝධී පනත සකස් කර ගත්තා. අපට එය නමුත් ක්‍රියාත්මක කරන්න බැරිවුණා. ඒ ගැන අපට යෝජනා දෙන්න එවිට අපට දූෂණයට විරුද්ධ පනත ඉක්මනින් ඒවා සම්මත කරගෙන අපි සහ ඔබතුමාලා හිතන දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කරගන්න.

    අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා –

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ කළ කතාව දිහා ඉතා ප්‍රවේශමෙන් හා ගැඹුරෙන් බලන ඕනෑම කණ්ඩායමක් අද එම ප්‍රකාශයේ නිර්මල ආශ්වාදයත්, අපේක්ෂාවත් ජනතාව තුළ ඇති කරවන තත්ත්වයක් බව පිළිගනිමින් සිටිනවා.

    එහි ගැබ් වී ඇති දේ මේ සභාවේදී විමසා බැලීම යුත්තේ දෙපිල බෙදී කරන සංවාදයකට වඩා සංගතනයක ස්වරූපයෙන් අප කාටත් දේශනයක අනුසාරයෙන් දැක්විය විය හැකි නිසාය. විශේයෙන්ම අතීත ආර්ථික උරුමය හා විදේශ වෙළෙඳාම සඳහන් කරන අවස්ථාව සුවිශේෂයි. අතීතයේ ශ්‍රී ලංකාව හඳුනා ගත්තේ පෙරදිග ධාන්‍යගාරයක් ලෙස බවත් තම ඉතිහාසගත වන දේශනයෙන් එතුමන් සඳහන් කරනවා. මෙය හුදෙක් නාමික අර්ථයක් පමණක් නොව අද මේ යුගයේ තිබෙන මහා අභියෝගය ආර්ථික හා මූල්‍ය අර්බුදයත්, ආහාර අර්බුදය හමුවේ අප රට මුහුණ දෙන තත්ත්වය යන පණිවුඩය ගැඹුරෙන් ප්‍රකාශ කිරීමයි. අපට ආහාරෙන් ස්වයංපෝෂිත විය හැකි රටක් බවත් එම රට එසේ ගොඩනැගීම සඳහා පැහැදිළි ගමන් මාර්ගයකට අවතීර්ණ වියයුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ආර්ථිකය නවීකරණය කළ යුතු බවත් රටේ මෙවැනි අර්බුදයක් ඇති නොවීමට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කිරීමට කටයුතු කළ යුත් බවත් විශේෂයෙන් පෙන්වා දී තිබෙනවා.

    ඒ සඳහා වාර්තා සැලසුම් වත්මන් රජය මේ වන විටත් සකස් කරමින් තිබෙන බව සඳහන් කළා. අප මේ වන විට 22 වැනි සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් මෙම බැඳියාවෙන් හා ප්‍රකාශිත කරුණු අනුව ගමන් කිරීමට පියවර ගනිමින් ඉන්නවා. ඊට විරුද්ධ පක්ෂය සහයෝගය දෙන ලෙසත් කරුණු ඉදිරිපත් කර දෙන ලෙසත් පැහැදිළිව යළිත් වරක් ආරාධනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක්

    ගොඩනගන්නට සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවකට හවුල් නොවීමට යම් යම් කොටස් තීරණය කරන්නේ නම් එකඟතාවයන්ට බොහෝ දුරට පැමිණෙමින් තිබෙනවා. සර්ව පාක්ෂික එකඟතාවයේ අවම වැඩපිළිවෙළක් මේ අර්බුදයෙන් එහාට රට ගෙන යෑමට එකඟතාවයෙන් ක්‍රියාත්මක කිරීමට. එය පාර්ලිමේන්තුව තුළ තිබෙන වැදගත් බරපතළ වගකීමක් හැටියට අප පිළිගෙන තිබෙනවා. අපේ රටේ ජනගහණය වැඩි වුණාට භූමිය වැඩි වෙන්නේ නැහැ. අපේ රටේ ජලය ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. ඉල්ලුම හමුවේ අර්බුදයෙන් අර්බුදයට යනවා. අනුකරණවාදයට ගොදුරු වී අනුගමනය කිරීමේ පිළිවෙත් තුළින් මේ අර්බුදය හමාර වෙන්නේ නැහැ.

    නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ.

    වරාය හා නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා –

    වත්මන් ජනාධිපතිතුමා මේ රටේ පවතින ආර්ථික ප්‍රශ්නය තේරුම් ගෙන ඒවා විසඳන්න ඉදිරිපත් කළ යුග පුරුෂයෙක් ලෙස හැඳින්විය හැකියි. බොහෝ දෙනකුට මේ රට භාර ගන්න කිව්වත් බොහෝ දෙනෙක් ආසයි බයයි නිසා එය භාර ගත්තේ නෑ. නමුත් ජනාධිපතිතුමා රට භාරගෙන දැන් බොහෝ ප්‍රශ්න විසඳා තිබෙනවා. ගෑස් ප්‍රශ්නය අවසන්. ඉන්ධන ප්‍රශ්නය සියයට 75ක් විතර අවසන් කරලා තිබෙනවා. දැන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ක්‍රමයෙන් අඩු වෙනවා.

    ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (සජබ) –

    ජනාධිපතිතුමාගේ වචන, වචනවලට සීමා නොකොට ප්‍රායෝගික ලෙස ඉටුකර ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. නමුත් අරගලයේ නිරත වූවන් අත්අඩංගුවට ගැනීම අපි ප්‍රතික්ෂේප කරනවා. ජනතා අරගලය දෙස නිදහස්ව බලපු නායයෙක් විදිහටද අරගලය මර්දනයෙන් විනාශ කරපු නායකයෙක් වෙයිද කියලා අද ජනාධිපති තුමා ගැන ජනතාව බලන් ඉන්නවා.

    සංචාරක සහ ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා –

    මේ රාජාසන කතාවට සියළුම පාර්ශවවලින් ප්‍රශංසා ලැබෙනවා අපි දැක්කා. ඒ වගේම නිසි දැක්මක් ඇතිව තමයි එතුමා කතා කළේ. හිටපු ජනාධිපති ඝෝඨාභය මහතාට අර්බුදය හරි හැටි හඳුනගන්න බැරිවුණා. ඒ අර්බුදය විසඳන්න කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් එතුමාට තිබුණේ නෑ. ඒ වගේම මේ රටේ අරගලය පටන් ගත්තේ 2019 දී එදා මේ 225ටම පිටින් සිටින පුද්ගලයකු ගේන්න ජනතාවට වුවමනා වුණා. චිත්‍ර ඇන්දා. බලාපොරොත්තු ඇති කර ගත්තා. ඒ අයගේ අරගලයට විසඳුම් නොලැබුණු නිසා ඒ අය කරපු වැරැද්ද නිවරදි කරන්න ජනතාව පාරට බැස්සා.

    පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා (සජබ) –

    ගෝඨාභය ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහතාට එන්න කියන කොට අපි කොන්දේසි හතරක් ඉදිරිපත් කළා. අපට ඒ මොහොතේ අරගලයේ නිරත ජනතාව කියන දේ අමතක කරලා කටයුතු කරන්න බෑ. ඒ කාරනා යවපු දවසේම තමයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිව්රුම් දුන්නේ. එහෙම නොවුණා නම් අදටත්

    ගෝඨාභට ජනාධිපතිතුමාට මේ රටේ හොඳින් ජීවත් වෙන්න තිබුණා.

    සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් අවශ්‍යයි කියලා. අපි කිව්වා හදිසි නීතිය ඉවත් කරන්න කියලා. එතුමා කිව්වේ නෑ මේ අරගලය මඬින්න නොවෙයි ආර්ථික කටයුතු ඉදිරියට ගෙනියන්න තමයි හසිදි නීතිය දැම්මේ කියලා. මම නම් ඔය ඇහුවාමයි.

    හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා (ශ්‍රීලනිප) –

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වූ පසුව පොදු සහ ජාතික එකඟතතාවයක්. සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් ඇති වෙයි කියලා. නමුත් තවම එවැනි වැඩ පිළිවෙළක් ඉදිරිපත් නොවීම සහ අප විසින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොවීම ගැන මා කණගාටුවට පත් වෙනවා.

    කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා –

    අවුරුදු ගණනක් වෙනුවෙන් පෙනී සිටි ආර්ථික දර්ශනයම තමයි වත්මන් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නේ අපි ඒ ගැන සතුටු වෙනවා. ජනාධිපතිතුමා කිව්වා ජාතිවාදය නැති කරනවා කියලා අපි ඒතට එකඟයි. නමුත් ජාතිවාදය වෙනුවෙන් පෙනී හිටපු පොහොට්ටුවේ මැති ඇමැතිවරු ඒකට එකඟයිද කියලා මම අහනවා. ඒවගේම ජනාධිපතිතුමා කිව්වා රට අවුරුදු 03ක් ආපස්සට ගියා කියලා. අපි ඒක කියන කොට මේ පොහොට්ටුවේ අය අපට කොචෝක් කළා. දැන් මොකද කියන්නේ. ජනාධිපති කුමා ඒක කියනකොට. අපට නම් සතුටුයි. ජනාධිපති තුමා ඒක කියන කොට මේ අය සද්ද නෑ.

    අපිට අවශ්‍ය සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක්. වැඩ පිළිවෙලක් නැතුව අපි ඔය පොහොට්ටුවේ කට්ටිය වගේ ඇමැති කටු සුප්පු කරන්න යන්නේ නෑ. ඒ වගේම අපි මේ සර්ව පාක්ෂික ප්‍රෝඩාව ගැන කරුණු හෙළි කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩු නොවෙයි අපිට ඕනා ජනතාවට සහන දෙන්නයි. අපිට නම් ඔය පොහොට්ටුවේ හොරු එක්ක එකට ඉඳගෙන ඇමැතිකම් කරන්න බෑ.

    මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (ශ්‍රී. පොපෙ) –

    දැන් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණ වැඩ බලන ජනාධිපති ලෙස මාසයක් ගත වෙනවා. ඒ මාසේ කාලය තුළ එතුමාගේ පක්ෂයේ පරාජිත මිත්‍රයන්ගේ බලාපොරොත්තු ඉටු කරලා තිබෙනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඔහුගේ මිත්‍රයන්ගේ අරමුණු ඉටු කරලා තිබෙනවා. නමුත් ඔහුට රට ඉදිරියට ගෙන යාමට පැහැදිලි වැඩ පිළිවෙළක් තවමත් ආරම්භ කර නෑ.

    ඉතාම සුළු කාලයකදී රටට අවශ්‍ය වෙනස කළ යුතුයි කියලා කියන්න තරම් දේශපාලන නෂ්ටකාමියෙක් නොවෙයි මම. නමුත් රට ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරනවා වෙනුවට තම තමන්තේ සහ තම පක්ෂයේ වුවමනාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් අර්බුදය පාවිච්චි කරනවා.

    නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මූලාසනයට පැමිණේ.

    හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා (සජබ)- ගෝඨාභය හිටපු ජනාධිපති ව්‍යාපාරිකයන්ට විශාල බදු සහන ලබා දෙන්න වුනේ. ඒ නිසා මම ඉල්ලනවා. ඒ ලබාදුන් විශාල බදු සහන ඉවත් කරලා ඒවා නැවත අයකර ගන්න කියලා. ඒ වගේම ධීවරයන්ට ඉන්ධන සහන දෙන්න. හම්බන්තොට ගොවි ජනතාවට අවශ්‍ය ඒ සහන දෙන්න කියලා මම ඉල්ලනවා.

    රත්නපුර දිස්ත්‍රීක් මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා (ශ්‍රී.පොපෙ.)

    පසුගිය කාලයේ අපි දැක්කා රටේ තරුණයෝ අරගලයක් ආරම්භ කළා. ඒ රටේ ජනතාවට විශාල අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න වුණා. විශාල පෝලිම් ඇති වුණා. ඒ තතත්වය තුළ තමයි රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය

    වගේම වැඩ බලන ජනාධිපති ධුරට භාරගන්නත් සිද්ධවුනේ.

    රත්නපුර දිස්ත්‍රීක් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (ශ්‍රී.පො.පෙ) –

    මේ අර්බුදයට හේතු වූ කාරණා ගැන කරුණු ඉදිරිපත් කළේ නෑ. ඒ වගේම මේ අර්බුදය විසඳන්න ඕනා ක්‍රියා මාර්ග නෑ. ඒක අපට ලොකු හිස් බවක් දැනෙනවා.

    ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (සජබ) –

    මේ රටේ හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. කෝ හොරකම් කරපු අයට දඬුවම් ලබා දුන්නාද? නඩු කීයක් ඉල්ලා අස්කර ගත්තාද? මැයි 09 වෙනිදා අරගලයට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක වුණාද? අපි කියනවා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. ජනාධිපති තුමා වැටිලා තිබෙන්නේ ආගම්වාදීන්ගේ, ජාතිවාදීන්ගේ ඔඩොක්කුවටයි.

    හර්ෂන රාජකරුණා මහතා මූලාසනයට පැමිණේ.

    බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (ශ්‍රී.පො.පෙ) –

    සර්වපාක්ෂික ආණ්ඩු ගැන ඇතැම් නායකයෝ ඇතුළෙදි කියන දේ නොවෙයි එළියෙදී කතා කරන්නේ. එළියේ කතා කරන දේ නොවෙයි ඇතුලට ගිහින් කතා කරන්නේ.

    කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා (සජබ) –

    මුළු රෝයල් එකම ඉවර කෙරෙන වැඩක් තමයි අපි දැක්කේ. තනියම ඇවිත් තනියම අගමැති වෙලා. තනියම ජනපතිත් වුනා. පසුගිය කාලයේ දේශපාලනයෙන් රනිල් වික්‍රමසිංහ අනාථ වෙලා හිටියේ. ආණ්ඩුවත් අනාථ වෙලා හිටියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අනාථ වෙලා හිටියේ. අනාථ වෙච්චි අය හදාගත්තු ආණ්ඩුවක රාජාසන කතාවක් ගැන තමයි අපි අද කතා කරන්න. එදා ඡන්දවලින් පැරදුනු අයට තනතුරු හදා දෙන එක තමයි අපි දකින්නේ.

    පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා (ශ්‍රී.පො.පෙ) –

    නව ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත් කරන්න වුණේ හැට නව ලක්ෂයක ජනවරමකින් පත් කරපු ජනාධිපතිවරයාට රටෙන් බරපතළ විරෝධයක් ආනිසයි. හැට නව ලක්ෂයේ ඒ ජන වරම ඉවරද කියලා අපි කල්පනා කළා.

    ඒ වරම අවසන් නැති නිසායි අපේ පක්ෂයෙන් පත් කළ යුතුයි කියලා. නමුත් තව පිරිසක් හිතුවා ඒ වන ජනවරම අවසන් ඒ නිසා පිට පක්ෂයේ කෙනෙක් ජනාධිපති විය යුතුයි කියලායි. ඒ වගේම ජනාධිපතිතුමාගේ රාජාසන කතාව මගින් හිටපු

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වගේම බැසිල් රාජපක්ෂ මහතාගේ අයවැය ලේඛනය, නිෂේධනය වෙනවා. ඒක අපි පිළි ගත යුතුයි. ඒ වැඩ සටහන් දෙකේ ප්‍රතිපත්තීන් නව ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී විජේරත්න මහත්මිය (සජබ) –

    අද අපිට ජනාධිපති තුමා සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපිට

    අඬගහන්නේ රාජපක්ෂලා මේ රටට කරපු විනාශයට කර ගහන්න වෙලා නිසායි. අර්බුදවලට වගකිව යුතු හිටපු අයට දඬුවම් දෙන්න ඕනා. ඒ වගේම රටේ තිබෙන වත්මන් ප්‍රශ්න විසඳීම සඳහා නිසි ප්‍රතිපත්තීන් අවශ්‍යයි.

    වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා-

    ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එන්න කියලා. මොකද අපි රටක් විදිහට සිටින්නේ අපේ සෑම ආර්ථික ක්‍ෂේත්‍රයක් නගා සිටුවීම සඳහා ස්ථිර ආණ්ඩුවක් අවශ්‍යයි කියන එක. ඒ සඳහා පාර්ලිමේන්තු සහායෝගය පැතුවා.

    බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (සජබ) –

    රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අපේ පූර්ණ සහයෝගය ලැබෙනවා. නමුත් මේ සර්ව පාක්ෂික ආණ්ඩු කියන කතාව ඇවිල්ලා රාජපක්ෂ කඳවුර වෙනුවෙන් ගෙන ආව එකක්. මොකද රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයට නතු වෙච්චි පුද්ගලයෙක් බවට ජනාධිපතිතුමා පත්වෙලා කියනා ඔප්පු වෙලා හමාරයි. ඔය සර්ව පාක්ෂික වැඩ පිළිවෙළ විහිළුවක්.

    පාර්ලිමේන්තුව හෙට (12දා) පෙරවරු 10.00ට

    යළි රැස්වේ.





    රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු

    කාරක සභාවට මන්ත්‍රීවරු 21ක්















     
advertistmentadvertistment
advertistmentadvertistment