උරුමය ගැන කියන හඳහන

841

ගුරු නවයේත් සඳු හතරේත්, හත්වැන්න වූ මකරයේ ශනිත් සස යෝගය ද සහිතව කටකයෙන් උපත ලද අය මූලිකව ගුරුගේ බලයට අනුකූලව ජීවිතය උසස් තත්ත්වයකටත්, වාසනාවන්ත බවකටත් පත්කොට යහපත් දියුණුවක් ද ලබමින් ඉතා බලවන්ත විවාහයක් ද ඇතිකර දී පවුලේ අන් අයට වඩා සශ්‍රීක බව ද දියුණුවක් ද ලබන හා සමාජමය පිළිගැනීමකට ද පත්වන බව සඳහන් කෙරේ.

ඕං. නමඃ ශිවාය….
ඕං ගනේෂාය නමඃ

කර්ම න්‍යායට අනුව මනුෂ්‍ය ආත්මයකට සම්බන්ධ වෙමින් මව් කුසින් මෙලොව උප්පත්තිය ලැබීමේදී විශ්වයේ බැඳීම සෞර ග්‍රහ මණ්ඩලයේ පැවැත්ම හා උපත ලබන වේලාවට සාපේක්‍ෂව, කේන්ද්‍රවනු ලබන්නා වූ එකී තත්ත්වයන් අලලා ගොඩනැඟෙන, යම්කිසිවකුගේ, උපත පටන් අවසානය දක්වාම සිදුවනු ලබන හා සිදුවේ යැයි ශාස්ත්‍රීයමය න්‍යායයන් මත තීන්දු කෙරෙනු ලබන ජීවිත ක්‍රියාවලිය පිළිබඳ ඉසිමත අනුව හා ජ්‍යොතිෂමය සිද්ධාන්තයන් මත නිවැරදිව සඳහන් කෙරෙන දෙය (සඳහන) හඳහන වශයෙන් ද, හඳහන යනුවෙන් ද ව්‍යවහාර වනු ඇත.

සිද්ධාර්ථ කුමරුගේ ජන්ම පත්‍රය පරීක්‍ෂාවේදී මෙම කුමරු ඒකාන්ත වශයෙන් ම බුද්ධත්වය ලබන බව කොණ්ඩක්‍ඳ්ක්‍ඳ තවුසා විසින් ප්‍රකාශ කිරීම සඳහන හඳහනය. අහිංසක නම් කුමරු රට මහා භීෂණයකට පත්කොට මනුෂ්‍ය ඝාතකයකු බවට පත්කරවන බව ප්‍රකාශ කිරීම ද හඳහනය.

එසේම යමකු රජකු, දිළින්දකු, ධන කුවේරයකු, උගතකු, මුග්ධයකු, අබ්බගාතයකු මෙන්ම ප්‍රකටයකු බවට පත්වන බව නිවැරදිව දක්වා සිටීම ද හඳහනයි. ජීවිතයක දීර්ඝායුෂ, මධ්‍යමායුෂ, අල්පායුෂ හා පරමායුෂ බව ගෙනහැර දැක්වීම ද හඳහනයි. මනුෂ්‍යත්වය අධික වශයෙන්ම අපේක්‍ෂා කරනු ලබන ආදරය, විවාහය, සතුට, අසතුට පිළිබඳ දක්වාලීම ද හඳහනයි. මනුෂ්‍ය ජීවිතයක උරුමය හඳහන තුළින් හෝ එහි රැඳුන දත්තයන් ඇසුරෙන් විග්‍රහ කෙරෙන අතර එය උරුමය වශයෙන් ද හඳුන්වනු ලබයි. කර්ම න්‍යාය අනුව සිදුවන දේ හා සිදුවිය යුතු ආකාරය නිවැරදිව දක්වාලීම ද උරුමය පිළිබඳ සඳහන් කිරීමකි. සිදුවිය යුතු දේ උරුමයයි එය ද හඳහනයි.

සිදුවිය යුතු දේ නිවැරදි වේලාවට කලින් ප්‍රකාශ කර ඔප්පු කිරීමෙන් මිහිර ආචාර්යවරයා වරාහමිහිර නම් වූ විරුදාවලියෙන් පිදුම් ලැබීය. මේ බව ජ්‍යොතිෂ ඉතිහාසය තුළින්ම පෙන්වා දේ. ජන්ම පත්‍රයක, එක, හතර, හත, දහය යන ස්ථානගතව උච්ච, ස්ව, මිත්‍ර යනාදී වශයෙන් වූ ක්‍ෂේත්‍ර බලැතිව, ගුරු, ශුක්‍ර, ශනි, කුජ, බුද බලයෙන් යුක්ත වීමෙන් ගුරු, හංස, මාලවි, සස, රුචක හා භද්‍ර යනාදී වූ පංච මහා පුරුෂ යෝග ලෙස හඳුන්වනු ලබන යෝග බලැතිව උපත ලබන ජන්මියා බලය, සැපත, පිරිස, ධනය යන සම්පත් ලබමින් බලවත් බුද්ධියකින් ද, ජයග්‍රහණය ද ලබමින්, සැප සම්පත් සමඟ කටයුතු කිරීමේ වාසනාව ලබන බව ජ්‍යොතිෂයේ විශේෂයෙන් සඳහන් කෙරේ. බොහෝ විට මෙබඳු අය නීතිය, වෛද්‍ය, කළමනාකරණය, පරිපාලනය යන ක්‍ෂේත්‍ර තුළ කටයුතු කිරීමට යොමුවනු ලබන හා ඒ තුළින්ම ධනය, පිරිස, දේපළ ලබන තත්ත්වයන්ට ද ආධ්‍යාත්මික ගුණාංගයන් ඉහළ මට්ටමකින් පවත්වාගෙන උසස් තත්ත්වයෙන් ජීවිතයකට පත්වන අය වශයෙන් ද ප්‍රකට වේ. මොවුන් විසින් මෙකී වාසනා ගුණය උරුමයට ගෙන එන්නෝ බවට ද සඳහන් වේ.

එමෙන්ම මොවුන් සමාජමය වශයෙන් කොයි කාගේත් ගෞරවාදරයට පත්වනු ලබන ප්‍රකට කීර්තිමත් අය ද වෙති. එමෙන්ම ලග්නාධිපති ලග්නයේම බලයෙන් යුක්ත වීම හා අන්‍ය සියලු ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටියට පත්වීමෙන් ද, අනෙකුත් සියලු ග්‍රහයන්ගෙන් ලබාදෙනු ලබන අරිටු දෝෂ භංග කර ජීවිතය නිරුපද්‍රිතව බාධක බිඳ උසස් තත්ත්වයකට පත් කරවන බව ද ජ්‍යොතිෂය තුළම සඳහන් කරයි.

ගුරු නවයේත් සඳු හතරේත්, හත්වැන්න වූ මකරයේ ශනිත් සස යෝගය ද සහිතව කටකයෙන් උපත ලද අය මූලිකව ගුරුගේ බලයට අනුකූලව ජීවිතය උසස් තත්ත්වයකටත්, වාසනාවන්ත බවකටත් පත්කොට යහපත් දියුණුවක් ද ලබමින් ඉතා බලවන්ත විවාහයක් ද ඇතිකර දී පවුලේ අන් අයට වඩා සශ්‍රීක බව ද දියුණුවක් ද ලබන හා සමාජමය පිළිගැනීමකට ද පත්වන බව සඳහන් කෙරේ.

ධනුවෙන් ඉපදී සඳු අටේ සිටින අය ද මිථුනයෙන් ඉපදී සඳු අටේ සිටින අය ද කෙසේ හෝ අන්‍යයන්ගේ ධනය විශාල වශයෙන් ලබාදෙන උරුමය ඇතත් ධනයෙන් නිසි ප්‍රයෝජනයක් නොගෙන පුහු දේවල් සඳහා ධනය වැයකර ධනය ලත් වහාම නිර්ධන තත්ත්වයට තමාගේ ක්‍රියාකාරකම නිසාම පත්වී ඉතාම සුළු කාලයකදී ධනහීන බවට පත්වීමේ උරුමය කෙසේ හෝ උරුම කර ගන්නා බව ද සඳහන් කෙරේ.

ධනු ලග්නයේ ධනු නවාංශකයේ ද, මීන ලග්නයේ මීන නවාංශකයෙන් ද, වර්ගෝත්තම වීමෙන් ද උපන් අය ඉතා යහපත් ජීවිතයක් ඇතිකර ගනිමින් සැප පහසුවෙන් ද, හිඟ පාඩුවලින් තොරව ද ස්වකීයව පරපුර තුළ අන්‍යයන්ට වඩා ඉහළින් කටයුතු කිරීමේ හැකියාව ද ලබමින් ජීවිතාන්තය දක්වාත් මෙයින් අග භාගය වඩාත් සැපවත්ව ගෙවන්නට තරම් වාසනාවන්ත බවක් සංයමයක් ද තමාගේ ශුභසිද්ධියම මුල්කරගෙන කටයුතු කරනු ලබන වාසනාවන්තයන් මෙන්ම ජය ලබන අය බිහිකරවන බව ද සඳහන් ය. රවි ශුක්‍ර දෙදෙනා කටකය වූ ලග්නයේදී කටකයෙන් ඉපදී සඳු නවයේ සිටි තැනැත්තේද, ඉතා යහපත් ලෙසින් ධනය ලබන බවක් ද, ගේ දොර හා මෙලොව සැප සම්පත් සතුටුදායක ලෙසින් ලබන බව ද පෙන්වයි. කටකයෙන් ඉපදී සඳු නවයේත්, ගුරු දහයේත්, රවි දෙකේත් වීමෙන් ධනය ද තෑගි වශයෙන් ලබන ධනය ද, ලබාදෙන අතර උපන් තත්ත්වයට වඩා ඉහළට පත්වී තත්ත්වය පිළිගැනීමේ තත්ත්වයක් ද උරුමයට ගෙනදෙන බව සඳහන් ය.

කන්‍යා ලග්නයේ උපන් අයගේ ලග්නයේ යෙදෙන ශනි ශුක්‍ර යෝගය ස්වකීය උපන් තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට පත්කර ධනය, සම්පත් හා සුඛිත මුදිත බවද, උරුම කර දේ. මේ අය ව්‍යාපාරික තත්ත්වයන් තුළින් ද බොහෝ විට පාරම්පරිකව පැවත එන්නා වූ කීර්තිමත් හා බුද්ධිමය තත්ත්වයන් තුළින් වඩාත් ප්‍රයෝජනයට ගැනීම ද, ඒ නිසාම ස්වකීය ජීවන රටාව ප්‍රබල කරගන්නා වාසනාව ද උරුමයට ගෙන එන්නෝ වෙත්. පහ නවය අධිපති සංයෝගය වශයෙන් මෙම යෝගය ශුභඵල දීමෙහිලා විශේෂත්වයක් ගනු ලබන අතර, මෙයට සඳුගේ සංයෝගය යෙදුණේ නම් විශේෂ ධනයෝගයක් වශයෙන් ද ගැනෙන අතර දියුණුව සැපත පිළිබඳ වඩාත් ශක්තිමත්ව මොවුන්ගේ ජීවන රටාව මෙහෙයවනු ලබන්නේය. කන්‍යාවෙන් හා හත නැකතින් ඉපදීමේන් ද, පහ, නවය සංයෝගය දෙවැන්නේ යෙදීමෙන් ද මාමාවරුන්ගේ දේපළ ලැබීමේ උරුමය ද යාන වාහන ලැබීමේ උරුමය ද වාසනාව ද මෙබඳු ජන්මීන්ට උරුම වේ.

සෙනසුරුගේ ලෝකෝත්තර ගතිය විහිදුවන කුම්භ ලග්නයෙන් උපත ලබන ජන්මීන් ස්වභාවයෙන් ම පරහිතකාමී වේ. එසේ වී නමුත් මොවුන් ටිකෙන් ටික, තැන්තැන්වල, සුන්බුන් වශයෙන් රහසේම මෙන් තමන්ගේ ශක්ති පමණට විශාල ධනයක් රැස්කර ගන්නෝ බවට පත්වන අය වේ. එසේම සමාජය තුළ තත්ත්වයක් ගොඩනඟා ගැනීම මූලික වශයෙන් කටයුතු කිරීම මොවුන්ගේ මූලික ධනය ද වේ. මේ අයගේ රැකියා හෝ ව්‍යාපාරික තත්ත්වයන් මානුෂික බවකින් යුක්ත වන නිසාම මෙම අය කුඩා තැන සිටම ඉහළටම නැඟෙන තත්ත්වය ද උරුම කරගනු ලබන්නෝය. මකරය මෙයට ප්‍රතිවිරුද්ධ තත්ත්වය ගෙනහැර පානු ඇත. ශනිගේ ලෞකික ගතිය පෙන්වන මකරය ආත්මාර්ථකාමීව කටයුතු ඉතා ඉහළින්ම දියුණුව ද ලාභය ද අත්නොහැරම කටයුතු කරන්නේය.

මේ නිසාම මොවුන් ඉතා දක්‍ෂ හා සූක්‍ෂ්ම ආකාරයෙන් ව්‍යාපාර කටයුතු හසුරුවන්නෝ වෙත්. කටකයෙන් ඉපදී උත්‍රපුටුපයෙන් අනුරයට හිමිකම් කියන අය නොයෙකුත් අවහිරතා හා ගැහැටවලට ලක්වන නමුදු, සියලු කරදර බිඳ ස්වකීය ජීවිත මධ්‍යම වයසෙන් පසු ඉතා ඉහළ තත්ත්වයකටත් ගෞරවයකටත් පත්කර ගනු ලබයි.

කන්‍යාවෙන් ඉපදී බුධ ලග්නගත වීම භද්‍ර යෝගයයි. මෙයින් උපන් අය කුමන අයුරින් හෝ බුද්ධිමත් බවකින් අගතැන්පත් වෙමින් කටයුතු කරන න්‍යායයන් හා ධර්මතාවයන් අනුවම ක්‍රියාකරන හා ඒ පිළිබඳ මනා අවබෝධයකින් යුතු උසස් දැනුමක් ලබන හා තර්ක කිරීමේ ඥානය ද පූර්ණ කරගනු ලබන අය බව සඳහන් වේ. කන්‍යාවෙන් ඉපදී බුධ ශනි ලග්නයේ යෙදීමෙන් මහා කීර්තියක් ලැබීම ද ඕනෑම දෙයක් තර්ක කර දිනා ගැනීමේ බුද්ධියක් ද මුඛරි බවක් ද උරුමයට ගෙන කටයුතු කරන පඬිවරයකු ලොවට බිහිකරවයි.

උපන් ලග්නය මීනය වෙද්දී ශුක්‍ර, බුද, චන්‍ද්‍ර, ලග්නයේ ද, ගුරු සිව්වැන්නේ ද යෙදුණේ නම් හෙතෙම දක්‍ෂ ලේඛකයකු මෙන්ම සාහිත්‍යධරයකු වශයෙන් ද ප්‍රසිද්ධියට පත්වන්නකු බවට පත්වනු ඇත. කුම්භයෙන් ඉපදී දොළහ, හය වශයෙන් සඳු ශනි එකොළොස්වැන්නේ ද ගුරු දහ වැන්නේ ද සිටියදී උපන් අය අධික වශයෙන් ධනය උපයනු ලබන වෛද්‍යවරයකු වේ. බුද දෙකේ ද, සඳු ශනි පහේ ද විකටකයෙන් උපන් අය ද වෛද්‍ය වෘත්තියට යොමු වේ.

හේලි ජ්‍යොතිෂඥ කාව්‍යශ්‍රී
බී.එස්.යූ.කේ. දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment