ජවිපෙ හා ටී. එන්. ඒ සමගත් ඉදිරියේදී සාකච්ඡා කරනවා – කුමාර් ගුණරත්නම් කියයි

636

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධානීන් සහ ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් අතර සාකච්ඡාවක් ඊයේ (26 දා) ලංකා සම සමාජ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ ඉල්ලීමකට අනුව ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡුා කළ බව ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් තිස්ස විතාරණ මහතා සාකච්ඡුාවලින් පසු මාධ්‍ය හමුවේ පැවසීය.

මෙම සාකච්ඡුා සඳහා ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨයෝ සහභාගි වූහ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි ලේකම් කුමාර් ගුණරත්නම්, අධ්‍යාපනය ලේකම් පුබුදු ජයගොඩ, ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ එක් වූහ.

සාකච්ඡුාවලින් පසු කුමාර් ගුණරත්නම් මහතා කීවේ රටේ ආර්ථික අර්බුදය, දේශපාලන තත්ත්වය සහ කලාපීය දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කළ බවය. රටේ ප‍්‍රශ්නවලට විසඳුම් වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කර ඇති යෝජනා මාලාව සම්බන්ධයෙන් වාමාංශික පක්ෂවල ස්ථාවරය දැන ගැනීමද මෙහි අරමුණු අතර වූ බව ඔහු කීවේය. ධන කුවේරයන්ගෙන් අඩුවෙන් බදු අයකර සාමාන්‍ය ජනතාවට වැඩි බදු බර පැටවීම සම්බන්ධයෙන් ද මෙහිදී ඵලදායී ලෙස සාකච්ඡුා කළ බව ද ගුණරත්නම් මහතා පැවසීය. කොතලාවල පනත හරහා අධ්‍යාපනය විකිණීමට උත්සාහයක් ඇති බවත් ඒ පිළිබඳව ද මෙහිදී සාකච්ඡුා කළ බවත් ඔහු කීවේය. ඉදිරියේදී එම පනතට සම සමාජ පක්ෂය නිලවශයෙන් විරෝධය දැක්වීමට නියමිත බව මෙහිදී ප‍්‍රකාශ වූ බව ද හෙතෙම කීවේය. ඉදිරියේ දී ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සමගද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ද සාකච්ඡුා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපේක්ෂා කරන බව ද කුමාර ගුණරත්නම් මහතා කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment