ජාතික රෝහල් සායනවලට එන කතුන්ට හිතවත් වී මුදල් සහ රන් කොල්ලකන යුවළ දැලේ

75

කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන මැදිවියේ කාන්තාවන් සමග හිතවත් වී මත්කර ඔවුන් සතු මුදල්, රන් ආභරණ කොල්ලකා පලායෑමේ නිරත වූ යුවළක් පෙරේදා (18 දා) අත්අඩංගුවට ගැනීමට මරදාන පොලිසිය සමත් විය.

එම සැකකරු හා සැකකාරිය එලෙස කොල්ලකෑ රුපියල් ලක්ෂ 12 කට අධික රන් ආභරණ වැලිගම ප්‍රදේශයේ රන් ආභරණ මිලදී ගන්නා ස්ථානයකට අලෙවි කර තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි.

සායන ආසන්නයේ තබා තිබෙන පුටුවක් හෝ බංකුවක් මත රැඳී සිට එම සායනවලට සහභාගී වීමට පැමිණි වයෝවෘද්ධ හා මැදිවියේ කාන්තාවන් ඉලක්ක කර මෙම ක්‍රියාව සිදුකර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

ඔවුන්ව උපක්‍රමශීලීව එම ස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස් ආහාරපාන සමග මත්ද්‍රව්‍ය කලවම් කරන ලද බීම පානය කිරීමට සලස්වා තිබේ. එහිදී ඔවුන් සිහිසුන් වූ පසු ඔවුන් සතු රන් ආභරණ, මුදල් කොල්ලකා යුවළ පලාගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලි 3 ක් විමර්ශනය කිරීමෙන් පසු මෙම සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර යුවළ අඹුසැමියන් නොවන බවත්, ඔවුන් බොරැල්ල ප්‍රදේශයේ නවාතැන්පළක රැඳී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවත් හෙළිවිණැයි පොලිසිය පවසයි. සැකකරු හා සැකකාරිය ගාල්ල, අහංගම පදිංචි අවුරුදු 40 හා 42 යන වයස්වල පසුවන්නන් වේ.

සැකකාර යුවළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 03 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ පිළිබඳව මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment