ජීවිතය හා ග්‍රහයෝ

423

මනුෂ්‍යයින් වශයෙන් මෙම පෘථිවිය මත ජීවත් වන අප සියලු දෙනාටම ග්‍රහ ලෝකවලින් ඇත්තේ ඉමහත් බැඳීමකි. මනුෂ්‍යයාගේ යහපත් හෝ අයහපත් පැවැත්ම, හැසිරීම, දුප්පත් පොහොසත් භාවය, විවාහය, රැකියා කටයුතු, දූ දරුවන් නැදෑ සබඳතා, මව, පියා, ගේ දොර වතු පිටි, දේපළ මිල මුදල්, ආදායම, වියදම, ලෙඩ රෝග මේ ආදී කී නොකඳී බොහෝ දේ ග්‍රහ ලෝක සබඳතාවය හා පිහිටීම අනුවම සිදුවන බව කිව යුතුය. විශේෂයෙන් කේන්ද්‍රයේ කොටු 12 කින් පෙන්වා දෙන අපගේ ජීවන තොරතුරු ඉලක්කයට ක්‍රියාත්මක කරවීම ග්‍රහ ලෝක 9 කින් සිදු වේ. මෙහිදී ග්‍රහ ලෝක වශයෙන් භාවිතයේදී කියවුණත් රාහු හා කේතු ඡායා ග්‍රහ දෙපළක් වශයෙන් පෙන්වා දෙන අතර එසේ වුව ද අපට එයින් ඇත්තේ ඉමහත් බලපෑමකි. මනුෂ්‍යයින් වශයෙන් ජීවත් වන අප සියලු දෙනාට පමණක් නොව සියලුම පාරිසරික සත්ව සමූහයා හා ගස්වැල් පවා ග්‍රහ ලෝක සමග බැඳීමක් පවතින බව කිව යුතුය. එය එසේ වුවත් අද සමාජය තුළ මෙය මිත්‍යාවක් වශයෙන් ගරහන පුද්ගලයෝ ද සිටිති. ග්‍රහයින්ට පුළුවන් ද අපිව පාලනය කරන්න, ගෙවල් හදන්න නැකැත් ඕනෑද? සල්ලි තියනවා නම් ගෙවල් හදන එක වැඩක්ද? මේ වාගේ කතා ඒ අයගෙන් බොහෝ අවස්ථාවල කිය වේ. ඔවුන්ගේ කේන්දරවල ග්‍රහ බලපෑම එවැනි අදහස් ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි පිහිටා ඇති බව ඒ අය නොදන්නවා විය හැක. බොහෝ අවස්ථාවල කුජ රාහු ලග්නයේ සංයෝග වීමෙන් එවැනි පුරසාරම් දොඩවනු ඇත. එවැනි අයට නැකැත් නැත. හොඳ නරක දන්නේ නැත. ඇත්තේ තද හිතක් පමණි. හොඳ හෝ නරක සොයා නොබලා ඉදිරියට කඩා පැනීම මේ අයගේ සිරිතකි. විශේෂයෙන් රාහුත් කුජත් මනුෂ්‍යයාගේ සිත දැඩි කරන, මුරණ්ඩු කරන, වේගවත් අදහස් ප්‍රකාශ කරන බලවේග දෙකකි. රාහු ග්‍රහ ලෝකයක් නොවූවත් මනුෂ්‍යයා යකෙක් කරන්නේ රාහුය. ඊට කුජ සංයෝග වූ විට මිනී කන යක්ෂයෙක් හා සමානය. එම තත්ත්වය ඇති වීමට සුරාපානය, මත්ද්‍රව්‍ය ශරීරගත විය යුතුය. කුජ රාහු බලපෑම ඇති අය සුරාවට ගිජුකමක් දක්වන්නේ ඒ නිසාය. කුජ රාහු හත්වැන්නේ විවාහ ස්ථානයේදී විවාහය කඩා බිඳ දමයි. අඹු සැමි භේද හට ගනී. කුජ රාහු අටවැන්නේ උපතින් පිහිටා ඇති නම් එම දශාවකදී දරුණු වාහන අනතුරකින් ජීවිතය අවසන් වේ. තමන්ගේ වාහනයක් පැද වුවහොත් මහ මඟ දී අනිකාට වඩා ඉදිරියෙන් යන්ට ගොස් අනතුර සිදු කර ගනී. එසේ නොවුවහොත් ගසකට හෝ උස් ස්ථානයකට නැඟීමෙන් බිමට වැටී ජීවිතය අවසන් වේ. කුජ රාහු කේන්ද්‍රයක උපතින් සිවු වැන්නේ යෙදී සිටී නම් එම ජන්මියාට පදිංචි ස්ථානයේ ඉඩම දේපළ සම්බන්ධව, සහෝදර විරුද්ධවාදීකම්, ඥාතීන්ගෙන් විරෝධතා, මවට තදබල අසුබතා නිසා ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වේ. මෙය ස්ථිර වශයෙන් සියයට සීයක් අත්දැකීම් අනුව මා සනාථ කර සිටිමි. කුජ රාහු හත්වැන්නේ විවාහ ස්ථානයේ උපතින් යෙදී සිටී නම් ස්ත්‍රියක් වුවත් පුරුෂයෙක් වුවත් කාමයෙන් මත්වූ සල්ලාලයෙක් වීම අනිවාර්ය වේ. ගුරු ලග්නයේ යෙදී සිටියත් රහසිගතව හෝ එම ගතිය ක්‍රියාත්මක වන අතර පිටතින් පෙනෙන්නේ හොඳ ගති පැවතුම් ඇති ශීලාචාර පුද්ගලයෙක් වශයෙනි. කුජ රාහු උපතින් 12 වැන්නේ තමන්ගේ ධනය විනාශ කර ගනී.

මීළඟට ග්‍රහ ලෝක අතුරෙන් සෙනසුරු මනුෂ්‍යයාට කරන හරිය සොයා බලමු. සියලුම මනුෂ්‍ය සමූහයාට මෙන්ම සතා සිව්පාවාට පවා බලපවත්වන ‘දුක’ කියන සංකල්පය කරපින්නා ගත් සෙනසුරු එය හරියටම ඉලක්කයට සිදු කරන බව නුවණ ඇති කොයි කාටත් පැහැදිලි කරුණකි. යම් අයෙකු උපන් මොහොතේ චන්ද්‍රයා ලග්නයේ යෙදී සෙනසුරු අට වැන්නේ යෙදීම හෝ සෙනසුරු හා චන්ද්‍රයා සංයෝගී තත්ත්වයෙන් අටවැන්නේ යෙදී සිටීම, සෙනසුරු කුජ සතුරු නැකතක හත් වැන්නේ සිටීම, කුජ සිව්වැන්න අධිපති වී සෙනසුරු සමග දොළොස්වැන්නේ යෙදී සිටීම මෙය සිංහ ලග්නයට විශේෂ වන අතර මෙවැනි අසුබ පිහිටීම් මත මනුෂ්‍යයා අනන්ත දුක් සමූහයකට සෙනසුරු විසින් ලක් කරනු ඇත. ඒ අතරම යම් අයකුගේ ජීවිතය නොමරා මරා ආයුෂ ඉදිරියට ගෙන යමින් අධික වශයෙන් දුක් දෙන අවස්ථා ඇත. මෙය පොදුවේ විග්‍රහ කළොත් මනුෂ්‍යයා පෙර භවයේදී කරන ද අකුසල කර්මවල විපාක බවත් එය සෙනසුරු විසින් ක්‍රියාත්මක කරන බව ද පවසමි. සෙනසුරු කේතු සමග උපතින් සිව්වැන්නේ යෙදී සිටිනවිට පැරණි නිවසට සමහර අය වැඩි කැමැත්තක් ඇති වීමෙන් නවීන පන්නයේ නිවසක් ඉදිකිරීමට උත්සාහ නොගනී. එය එසේ වුවත් එවැනි අයගේ සිකුරු බලවත් වී සිව්වැන්නේ යෙදී ඇති දරුවෙක් සිටී නම් ඉහත තත්ත්වය වෙනස් වී නවීන පන්නයේ අලුත් නිවසක් ඉදිකිරීමට සිත පෙළඹේ. ඒ එම පවුලේ දරුවාගේ වාසනා ශක්තියයි.

ඊළඟට ග්‍රහ ලෝක අතර විශේෂයෙන් සූර්යයා හෙවත් රවි මනුෂ්‍ය ජීවිතය සමග ඇත්තේ ඉමහත් බැඳීමකි. මනුෂ්‍යා තුළ එඩිතර භාවය, උසස්වීම, ප්‍රසිද්ධිය, සංවිධාන ශක්තිය, කාර්යශූර භාවය යන එන තැන පිළිගැනීම, මේ ආදී සියලු අංශ රවිගේ ක්‍රියාකාරීත්වයට මුල් වේ. රවි උපතින් ලග්නයේ යෙදී සිටී නම් සමාජය තුළ එම පුද්ගලයාට නිතර මුල් තැන හිමිවීමත්, වැඩ කටයුතුවල දී නිවැරදි භාවය කාර්යශූර භාවය මැනවින් කැපී පෙනීමක් සිදු වේ. මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්න හිමියන්ට රවි ලග්නයේ යෙදීම උපතින්ම තිබේ නම් එම ජන්මියා තුළ ඉහත කී විශේෂත්වයන් පිළිබිඹු වේ. උපතේදී එම ලග්න හිමියන්ගේ රවි දසවැන්නේ පිහිටා තිබේ නම් සමාජ ගෞරවය, රැකියා උසස්වීම් නම්බුනාම මධ්‍යයේ ජීවිතය හැඩ ගසේ. උපතේදී කේන්ද්‍රයේ 11 වැන්නේ හෝ 3 න් වැන්නේ රවි පිහිටීමෙන් ජීවිතයේ සැදෑයාමය අවසන් කොටස මුදල් අග හිඟයකින් තොරව ගත කිරීමට වාසනාව ලැබේ. නිතර වැදගත් ප්‍රභූ පිරිසගේ ඇසුරට ද පාත්‍ර වේ. රවි, කේන්ද්‍රයේ හයවැන්නේදී තමාට එරෙහි වන සතුරන් අබිබවා යෑමට තමාට ශක්තිය ලැබෙන අතර නිතර යුක්තිය ඉටු වේ. අයුක්තිය පසු බසී. තමාට පිහිටට සමාජයේ ප්‍රභූන් ඉදිරිපත් වේ. කෙසේ නමුත් යම් අයෙකුගේ කේන්ද්‍රයේ 4, 5, 7, 8, 9, 12 යන භාවයක උපතින් රවි යෙදීම තමන්ගේ ජීවන ගමනට යම් යම් බාධා ගෙන දීමට හේතු වේ. මේ අනුව මනුෂ්‍ය ජීවිතයට රවි ගේ බලපෑම සබඳතාවය කෙතරම් තිබේ ද යන්න පැහැදිලි විය යුතුය.

උපතින් රවි හත්වැන්නේ යෙදී සිටින ස්ත්‍රී පක්ෂයේ විවාහය අවුල් ගැටලුවලින් පිරිහී විනාශ වන ආකාරය බොහෝ අවස්ථාවල අපට හමුවේ. පුරුෂ පක්ෂයට ද සිදුවන්නේ ඒ ටිකමය. දරුවකුගේ කේන්ද්‍රයේ සිව්වැන්නේ රවි සිටීමෙන් දෙමාපියන්ට යටත් පහත් ස්වභාවය බොහෝ දුරට අඩු වීමක් පෙනේ. රවි උපතින් අටවැන්නේ යෙදී සිටී නම් එම අයගේ මරණය සිදුවන්නේ හදිසි රිය අනතුරකින් හෝ ගින්දරින් වීම විශේෂ ලක්ෂණයකි. අර්ශස් රෝගය ඉතා දරුණු ආකාරයෙන් රවි අටවැන්නේ යෙදී සිටින අයට බලපානු ඇත.

මීළඟට මිනිස් ජීවිතයට සඳුගෙන් සිදුවන බැඳීම සොයා බලමු. මනුෂ්‍යයාගේ මනස තුළ දුක සැප දෙකේදී සියලුම සිතිවිලි පාලනය කරන්නේ සඳුය. විවාහය ඇතුළු සියලුම ලෞකික සිතුම් පැතුම් ළමා වයසේ සිට යෞවන විය දක්වා මනස තුළ උද්දීපනය කරන අතර යෞවන වයස ඉක්මවා මහලු වයස දක්වා ක්‍රමයෙන් මනස දුර්වල කරමින් ජීවිතය ගැන බියක් ඇති කරමින් නිහඬතාවකට පත් කිරීමට සඳු මුල් වේ. මේ සඳහා සෙනසුරු සඳු සමග සංයෝගීව හෝ දෘෂ්ටිය දෙමින් ජීවිතයේ අනිත්‍යතාවය කටුක භාවය පෙන්වා දෙනු ඇත. ඒ අතම උපතින් චන්ද්‍රයා කේන්ද්‍රයේ අටවැන්නේ සෙනසුරු සමග සංයෝග වී සිටී නම් වයස අවුරුදු 58, 59 කාලසීමාවේදී ජීවන ගමනේ අනන්ත දුක් වේදනා විඳීමට සිදු වේ. මේ කාල සීමාවේදී කොපමණ සැප සම්පත් තිබුණත් ධනවත් බලවත්, නොසලකා ජීවිතයේ අනිත්‍යතාවය, දුක් වේදනා සහිත බව, ජරාවට පත්වන ආකාරය චන්ද්‍රයා විසින් සෙනසුරු සමග සංයෝග වී පෙන්වා දෙනු ඇත. මුදලේ බලයෙන් මේවා යටපත් කළ නොහැක. මසුරු කමින් ධනය

රැස් කරමින් වැජඹෙන මසුරු සිටානන්හට ද ජීවිතයේ අනියත බව මරණයට පළමු වටහා දෙන්නේ චන්ද්‍රයාය. වර්තමාන සමාජය තුළ එවැනි අය බොහෝ විට හමුවී ඇත. ඔවුන්ගේ කේන්ද්‍රවල කේතු උපතින් 12 වැන්නේ යෙදී ඇත. මේ හේතුව නිසා එවැනි අය පිනට දහමටවත් වියදම නොකරති. උපතින් කේතු 12 වැන්නේ සිටින ස්ත්‍රීන් පුරුෂයින් දෙපක්ෂයටම තදබල ලෝභ සිතක් ඇති අය වෙති. රාහු ශනි උපතින් 12 වැන්නේ යෙදී ඇති නම් එය පුද්ගලයෝ පිනට, දහමට, නැති බැරි අයට, වියදම් කරන එලොවට යහපත තකා කටයුතු කරන අය වෙති. දොළොස්වැන්න රාහුට සතුරු රාශියක් වුවහොත් ඉහත තත්ත්වය වෙනස් වී සියලු ධනය විනාශ කර ගන්නා එලොවටත් මෙලොවටත් වැඩක් නැති සල්ලාලයෙකි. රාහුත්, ශනිත් ග්‍රහ දෙපළ සතුරු රාශියක් වී දොළොස්වැන්න උපතින් යෙදුනොත් තම දෙමාපිය සතු දේපළ, ධනය සියල්ල විකුණා විදේශ රටවල විනෝද සවාරි ගොස් සල්ලාල මිතුරු මිතුරියන් ඇසුරු කර හිඟමනට පත් වී මහ මඟට බසින අයෙකි. කටක, සිංහ රාශිවලදී මෙය විශේෂයි.

මනුෂ්‍ය ජීවිතයේ යහපත් පැවැත්ම උදෙසා ‘ගුරු’ ග්‍රහයා ප්‍රධාන තැනක් ගනී. යම් අයෙකුගේ කේන්ද්‍රයේ ගුරු ලග්න ගත වී සිටීම නිසා සියලු අරිෂ්ට දෝස මැඬ පවත්වනවා මෙන්ම සමාජය තුළ යහපත් ජීවිතයක් ගත කරන අයෙකි. මෙය විශේෂයෙන් ගුරු නවවැන්නේ යෙදීමෙන් හොඳින් පැහැදිලි වේ. ඔවුන් යහපත් ගුණ ගරුක පුද්ගලයෝ වෙති. ආගම දහමට ලැදි අය වෙති. ගුරු උපතින් සිවුවැන්නේ යෙදී ඇති නම් නිරවුල් දේපළ, ඉඩකඩම්, විශාල ගොඩනැඟිලි හිමි අයෙකි. කෙසේ නමුත් මේ සඳහා ගුරු සිටින රාශිය සතුරු රාශියක් නොවිය යුතුය. ගුරු බලවත් පුද්ගලයෝ උසින් හා මහත ශරීර ඇත්තෝ වෙති. මේ නිසා ගුරුගේ අසුබ ගෝචර රාශිවලදී මුත්‍රා රෝග, දියවැඩියාව ආදී මතු වේ.

ලෞකික සැපයට අධිපති කාමය රාගය මෙහෙයවන ග්‍රහ ලෝකය සිකුරු වශයෙන් හඳුන්වනු ඇත. මනුෂ්‍යයාගේ විවාහ ජීවිතයට සම්බන්ධ වන ප්‍රධාන ග්‍රහ බලපෑම සිකුරු වන අතර සිකුරු දුර්වල වීම විවාහයේ ගැටලු ඇති වීමට හේතු වේ. යමෙක් උපතේදී සිකුරු සතුරු රාශිගත වීම, නීච රාශිගත වීම, පාප දෘෂ්ටියට ලක්වීම මෙම හේතූන් මත සිකුරු දුර්වල වීම නිසා ඔහුගේ හෝ ඇයගේ විවාහය දුර්වල ගැටලු සහිත වන්නේය. අපි ඔය හඳහන් ගණන් ගන්නේ නැහැ කියන අනුවණයින් හට මෙම තත්ත්වයට මුහුණ දී පසුව කේන්ද්‍ර දෙක උස්සගෙන එන්නේ මොකද වෙලා තියෙන්නේ බලන්න හිතුණා කියලයි. ඒ වනවිට සියලු දේ සිදු වී හමාරය. කෙසේ නමුත් අද සමාජය තුළ සුපිරි නිවාස ඉදිකරගෙන ව්‍යාපාර කරමින් වැඩ මෙහෙකරුවන් තබා ගෙන ඒසී වාහනවල යෑමට වාසනාව උදා වී තිබෙන අයගේ සිකුරු ඉතා බලවත් වී ඇති ආකාරය මා දැක ඇත්තෙමි. ඒ වාගේම සිකුරු දුර්වල වීම මත බොහෝ දෙනාට වැළඳී තිබෙන රෝග ඉතා දරුණු ඒවා බව සමහර කේන්ද්‍රවල මා දැක ඇත්තෙමි.

මීළඟට බුධ ග්‍රහයා ගැන යමක් සඳහන් කිරීම අවශ්‍යමය. යම් අයෙකු උපතින් බුධ දුර්වල වී ඇත්නම් ඔහු හෝ ඇයගේ කතා විලාශය පැටලුම් සහිත වන අතර ගොළු ස්වභාවයක් ගනී. මුහුණේ අමුතු වෙනස්කමක් ඇත. එවැනි අය අද සමාජයේ කොතෙකුත් සිටීද? බුධට රවි සංයෝගි වීම චතුර කථිකයෙක් වීමට ද හේතු වේ. සමාජයේ උසස් තැනක වැජඹේ.

ජ්‍යොතීර්වේදී ජේ. ගුණපාල
170, පාදුක්කර පාර, අරමණාගොල්ල හොරණ

advertistmentadvertistment
advertistmentadvertistment