ඩොලර් බිලියන හයක පර්ල් එක්ස්ප්‍රස් වන්දිය රටට නැතිවුණේ ඇයි…

572

මහා සංඝරත්නය, ජාතික සංවිධාන, පොදු ජනතාව රජයෙන් විමසයි…..

තවත් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක් අවසන් විය. පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය, අරගල පසුබිම ආදී විවිධ හේතු නිසා පසුගිය අවුරුදු කිහිපය පුරාම සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් කියා දෙයක් සමරන්නට මේ රටේ ජනතාවට නොහැකි විය. එහෙත් ශ්‍රී ලාංකීය ජනතාවට මේ අවුරුද්ද නම් ජයටම කන්නට හැකි විය. එය කොතෙක් ජයට කෑවේද යත් ජනතා විමුක්ති පෙරමුණ පවා මේ පාර රටේ ජනතාව අවුරුදු කෑවා යැයි පිළිගන්නා තරමට මෙවර අවුරුදු උත්සවය ජනගත වී තිබිණි.

කෙසේ වෙතත් අවසානයේ අපට ඉතුරු වූයේ මිනිස්සු අවුරුදු කෑවේද අවුරුද්ද මිනිස්සු කෑවේද යන ප්‍රශ්නය පමණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුපුරුදු පරිදි මෙවරද අවුරුදු සමරන්නට නුවරඑළියට ගොස් සිටියේය. ඒ බොහෝ විට ඔහු නතර වන්නේ දියතලාවේ පිහිටි පවුලේ නිවාසයේය. නැතිනම් නුවරඑළිය ජනාධිපති මන්දිරයේය.

● අහිමි වන්දි මුදල ඩො. බිලියන හයක්!

ඉරිදා වන තුරුම අවුරුදු නිවාඩුව නුවරඑළියේ ගත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳුදා පාන්දර පටන් වැඩ පටන් ගන්නට කොළඹ ආවේය. සුපුරුදු පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන තේ පැන් සංග්‍රහයට සඳුදා උදෙන්ම ජනාධිපතිවරයා සහභාගි විය.

“මොන ආර්ථික අමාරුකම් තිබුණත් ඔබතුමා මේ පාර රටේ ජනතාවට නිදහසේ අවුරුදු සමරන්න වුවමනා වාතාවරණය සකස් කරල දුන්නා. ඔබතුමාත් එක්ක අවුරුදු කන්න කාර්යාල සේවක පිරිස බලාගෙන ඉන්නවා”. එසේ කියමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කරුණාරත්න ජනාධිපතිවරයාව තේ මේසය වෙත කැඳවාගෙන ගියේය. එම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ සේවක පිරිස පමණක් නොව, මැති ඇමැතිවරු ද කීප දෙනෙක් පැමිණ සිටියහ. නිමල් සිරිපාල, විජයදාස රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර ඇතුළු තවත් කීප දෙනෙක් එහි සිටියහ. මේ සියල්ලන්ටම තේ පානය සඳහා ආරාධනය කරමින් ජනාධිපතිවරයා ඇමැතිවරු අතරට ගොස් කතාබස් කරන්නට පටන් ගත්තේය. ජනාධිපතිවරයා අමරවීර ඇමැතිවරයාට කතා කළේම කොහොමද මේ දවස්වල රිළවුන්ගේ ප්‍රශ්න කියා විමසන ගමන්ය. රිළා ගනුදෙනුව ගැන කතා කරමින් ජනාධිපතිවරයා කළ විහිළුවට අවට සිටි සියල්ලෝම කොක් හඬලා සිනාසෙන්නට වූහ… විජයදාස රාජපක්ෂ ළඟට ගිය ජනාධිපති තරමක් බැරෑරුම් කාරණාවක් කතා බස් කරන්නට විය…

“ප්‍රතිත්‍රස්ත පනත ගැන මේ රටේ හුඟක් දෙනකුට අවබෝධයක් නෑ. සමහරුන්ට මේ වචනය ඇහෙන කොටම මතක් වෙන්නෙ යකෙක් රකුසෙක් වගේ දෙයක්. මං හිතන්නේ මීට වඩා පොදු ජනතාවට මේක පැහැදිලි කළා නම් තමයි හොඳ…”

“පොදු ජනතාවට විතරක් නෙවෙයි සර්… දේශපාලනඥයන් වැඩිදෙනකුත් මේ ගැන අවබෝධයක් නැතුවයි කියවන්නෙ. විශේෂයෙන් ම විපක්ෂයේ කට්ටිය.” තවත් ඇමැතිවරයෙක් කීවේය.

ඉන් පසුව විපක්ෂය ගැනත් විපක්ෂ නායකවරයා ගැනත් විවිධ දේ කතාබහට ලක්විය. ජනාධිපතිවරයා ඉක්මනින් එතනින් පිටව ගියේ අලුත් අවුරුද්ද තමන් හමුවන්නට පැමිණ සිටින තානාපතිවරු හා විශේෂ නියෝජිතයන් රැසක් ම හමුවීමට එදා දහවල් වරුවේ කාලය වෙන් කර තිබූ නිසාය.

සඳුදා දිනයේ මේ සියල්ලන්ටම පසුව හවස කැබිනට් මණ්ඩල රැස්වීම ද පැවැත්විණි. මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉතා වැදගත් මාතෘකා ගණනාවක් සාකච්ඡාවට ලක් විය. එහිදී කතාබහට ලක් වූ ඉතා වැදගත්ම මාතෘකාවක් වූයේ පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ පරිසර වන්දිය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයයි…

විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා මේ පිළිබඳව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් කතා කළේය. මෙම සිද්ධිය වූවාට පසුව නැවේ අයිති සමාගමෙන් හෝ රක්ෂණ සමාගමෙන් අදාළ පරිසර වන්දිය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී වගකිවයුත්තෝ හරියාකාරව වගකීම් අවබෝධ කර ගනිමින් ක්‍රියා කර නොමැති නිසා අද වන විට මේ වන්දි මුදල ලංකාවට නොලැබෙන තත්ත්වයක් ඉස්මතු ව ඇතැයි යන කාරණාව ඔහුගේ හෙළිදරව්වේ දී තහවුරු විය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොටස් වශයෙන් අපේ රටට ලබා දීමට බලාපොරොත්තු වන ණය මුදල ඩොලර් බිලියන 2.9 බව නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒත් ඇස්තමේන්තුගත ආකාරයට මෙම සිද්ධිය නිසා අපට හිමි විය යුතු වන්දි මුදල ෂඵත්‍ ණය මුදල මෙන් දෙගුණයකි. එනම් ඩොලර් බිලියන 6 කි. මේ වන්දිය රටට ලබා ගැනීම වැළකී ගියේ කවර හේතූන් මත දැයි කියා සාකච්ඡාවක් එහිදී මතු වූහ. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ගනුදෙනුවේ වත්මන් ස්වරූපය ගැන දැඩි අසතුටකින් කතා කළේය. සිද්ධිය යට ගසා වන්දිය වළක්වා යම් යම් මූල්‍යමය ලාභ ප්‍රයෝජන පුද්ගලිකව ලබාගන්නට සිද්ධියට සම්බන්ධ යම් යම් බලවේග ක්‍රියා කර ඇතැයි යන චෝදනාව මෙහිදී මතු විය.

● ජාතික ආණ්ඩුව කුමක් වෙනුවෙන් ද…

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයෙන් පසුව අපේ දේශපාලන කරලියේ කතාබහට ලක්වූ සුවිශේෂී දේශපාලන කරුණු හතර අතර ඉතා වැදගත්ම සාකච්ඡාවක් ඇතිවූයේ ජාතික ආණ්ඩුව නම් මාතෘකාව සම්බන්ධයෙනි. මෙය කාගෙන් කොහෙන් ආ යෝජනාවක් ද කියා කරුණු හෙළිදරව් නොවූවත් පසුගිය සතිය පුරා හැම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් මේ ගැන කතාබහ කරන්නට වූහ. විශේෂෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ආණ්ඩුවේ වුවමනාවන් ඉටු කරන්නට ජාතික ආණ්ඩුවකට යන්නට කිසිදු කැමැත්තක් නැති බව තරයේ කියා සිටියේය. අගමැති මස්කටුවලට රැවටී ජාතික ආණ්ඩුවලට ගොස් ජනවරමක් නොමැති ජනාධිපතිවරයා රැකගන්නට කිසිදු ආකාරයකින් තමන් දායක නොවන බව ඔහු පැහැදිලිවම කියා සිටියේය. එහෙත් ජාතික ආණ්ඩුවක් සඳහා තමන්ට ආරාධනා කළේ කවුද ඒ කෙසේද කියා ඔහුගේ කතාවේවත් හෙළිදරව්වක් නොවීය.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව ගැන දේශපාලන කරලියේ විවිධ මතිමතාන්තර පැවැතිණි. විවිධ කට කතා පැවතිණි. විවිධ විවේචන ද තිබිණි. විවිධ අර්ථ දැක්වීම්වල ද අඩුවක් නොවීය. කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවට එකතු වන අය හා එකතු නොවන අය ලෙස පැහැදිලිවම ගොඩවල් දෙකක් අපේ රටේ දේශපාලනඥයෝ අතර දක්නට ලැබුණු බව නම් රහසක් නොවීය.

ජාතික ආණ්ඩුවේ ක්‍රියාකලාපය හා බලපෑම නිසා මේ වන විට පොහොට්ටුව පවා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) ඇතුළාන්තයෙන් දෙදරා ගොස් ඇතැයි කියා කතා පැතිර ගියේය. ඒ පැතිර ගිය කතාවේ සාරාංශය මෙසේය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ මුස්ලිම් පක්ෂ කිහිපයක් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇත. ඒ ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි.”

මේ ආරංචිය මුලින් පැතිර ගිය අතර සජිත් ප්‍රේමදාස මුළුමනින්ම මේ පුවත ප්‍රතික්ෂේප කර හැරියේ ය. එහෙත් රාජිත සේනාරත්න වැනි සමගි ජන බලවේගයේම ප්‍රබලයෝ කියා සිටියේ සජිත් නෑ කීවාට සමගි ජන බලවේගය විශාල පිරිසක් තමන් සමඟ එක්ව ජාතික ආණ්ඩුව සඳහා සහභාගි වන බවයි. රාජිතට සෞඛ්‍ය ඇමැතිකම හිමි වන බවටත් එස්. බී. ට අධ්‍යාපන ඇමැතිකම හිමිවන බවටත් කතාව පැතිර ගියේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ද තවත් යෝජනාවක් පැමිණ තිබිණි. රාජිතලාට, එෆ්බී ලාට ඇමැතිකම් දෙන්නේ නම් රෝහිත අබේගුණවර්ධන ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි පොහොට්ටුව වෙනුවෙන් කැපවීම් කළ නායකයන්ටද ජාතික ආණ්ඩුව ඇතුළේ සරිලන ඇමැතිකම් අවශ්‍ය බව ඔවුන්ගේ තර්කය විය. නොඑසේ නම් නාමල් ප්‍රමුඛ සැලකිය යුතු විශාල කණ්ඩායමක් විපක්ෂයේ සිටින බව ඔවුන්ගෙන් නැඟුන තර්කය විය. සජිත් ජාතික ආණ්ඩුවට එක් වූවත් නොවූවත් පොහොට්ටුවේ කණ්ඩායමක් විපක්ෂයේ බලවත් වීමෙන් නාමල්ට විපක්ෂනායක කමද හිමිවිය යුතු බව ඒ මේ අතින් කතා පැතිර යන්නට විය. කෙසේ වෙතත් මෙසේ පැතිර යන කතා සියල්ලම සියයට සියයක් සත්‍ය නොවීය. එහෙත් ඒවායින් සැලකිය යුතු කොටසක් ඒ ඒ පක්ෂ පවා බැහැර කළේ නැත.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකාර කමිටුවේ රැස්වීම පැවැත්වූ වේලාවේදී මේ ජාතික ආණ්ඩුව යන කරුණ සාකච්ඡාවට ලක්විය. මෙම රැස්වීම කැඳවා තිබුණේ මෙවර මැයි දින රැළිය ගැන සාකච්ඡා කිරීමටය. එහෙත් ඊට වඩා සාකච්ඡාවට ලක් වූයේ එම විෂයට පරිබාහිර කරුණු බව කීම වරදක් නැත.

“හැමෝම එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න යනවා කියලා කතාවක් පැතිරිලා යනවා. සජිතුත් එනවලු. හැබැයි මේවා ගැන මොකක්වත් අපි දන්නේ නෑ… මොකක්ද ඇත්ත…” සමල් සෙනරත් ප්‍රශ්න කළේය.

“අපි දන්න තරමින් නම් ජනාධිපතිතුමා කාටවත් ජාතික ආණ්ඩුවකට ආරාධනා කරල නෑ…” ජාතික සංවිධායක සාගල උත්තරයක් දුන්නේය…

“ඒක ඇත්ත… ඒගොල්ලන්ගේ ඇතුළාන්තයෙන්ම ජාතික ආණ්ඩුව පිළිබඳ කතාව එළියට දාලා එයාලම එන්නේ නෑ කියලා දැන් කතාවක් යවනවා. ජනාධිපතිතුමාට මේ වෙලාවේ ජාතික ආණ්ඩුවක් ඕන නැහැ. අවශ්‍ය සහයෝගය ආණ්ඩුව ඇතුළේ තියෙනවා. “පාලිත රංග බණ්ඩාර ද තත්ත්වය පැහැදිලි කළේය.

● ජාතික ආණ්ඩුව පට්ටපල් බොරුවක්…

ජාතික ආණ්ඩු කතාන්දරය නිසා පොහොට්ටුව ඇතුළෙත් දේශපාලන මත දෙකක සංවාදයක් ඇති වුණු බවට පැතිර ගිය කතාව බොරුවක් නොවීය. මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් පසුගිය කාලය මුළුල්ලේම පොහොට්ටුව ඇතුළේ අභ්‍යන්තර විසංවාදයක සිටියහ. දැනට ආණ්ඩුවේ ඇමැතිකම් හොබවන ඇමැතිවරුන්ගෙන් බහුතරයක් සහ තවත් කණ්ඩායමක් කියා සිටියේ තමන් ඉදිරියේදීත් දිගටම රනිල් වික්‍රමසිංහ හා දේශපාලනය කරන බවයි. එහෙත් පොහොට්ටුවේ සැලකිය යුතු පිරිසක් එම මතය ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ මතය වූයේ වර්තමානයේ රනිල් වික්‍රමසිංහට ජනාධිපති වන්නට ඉඩ දී පොහොට්ටුවේ මූලිකත්වයෙන් රජයක් සාදා ඇත්තේ කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමට මිස දීර්ඝකාලීන දේශපාලන අවශ්‍යතාවයක් උදෙසා නොවන බවයි.

මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ යම් යම් ප්‍රකාශකයන් පැහැදිලි නැති විවිධ විවිධ මත පල කළත් ඉතාමත් පැහැදිලි මතයක් මාධ්‍ය ඉදිරියේ විවරණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ය.

“ජාතික ආණ්ඩුවක් ගැන කොහෙන්වත් අපිට යෝජනාවක් ඇවිල්ලා නෑ. අපි ඒ ගැන සාකච්ඡා කරලත් නෑ. ජාතික ආණ්ඩුවක් හදනවා නම් නිශ්චිත අරමුණක්, ඉලක්කයක්, නිශ්චිත කාලයක්, නිශ්චිත එකමුතුවක් ඔස්සේ හැඩගැසුණු වැඩපිළිවෙළක් අවශ්‍යයි. එහෙම වැඩපිළිවෙළක් නැහැ. ඒක හින්ද අපට ජාතික ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්නවත් අවශ්‍යතාවයක් ඇති වෙලා නෑ.

අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ධුර කාලේ ඉතිරි ටික කරගෙන යන්න සහයෝගය දෙන්නේ රටේ කාලීන අවශ්‍යතාවන් දෙකක් මුල්කරගෙන. එකක් තමයි පහුගිය කාලේ රට පුරාම නැතිවෙලා ගිය ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම. සියලුම දේශපාලන පක්ෂවලට පාරට බැහැලා දේශපාලනය කරන්න සාමය හා නිදහස ස්ථාපිත කිරීම.

දෙවෙනි එක තමයි බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැංවීම. මේ අරමුණු දෙක මුල් කරගෙන අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහව බලයට පත් කරලා ඔහුට උදව් කරනවා. ඒ ජනාධිපති ගෝඨාභයගේ ධුර කාලයේ ඉතුරු අවුරුදු දෙකහමාර සඳහා පමණයි.

හැබැයි මේ අතරේ අප අතරේම ඉන්න සුළුතරයක් විශ්වාස කරනවා මේ ආකාරයෙන් අපේ ඉදිරි දේශපාලන ගමනත් රනිල් වික්‍රමසිංහ සමග ඔහුගේ නායකත්වයෙන් ඉදිරියට යා යුතුයි කියලා. පොහොට්ටුවේ බහුතරය ඒ තීන්දුවේ නෑ විතරක් නෙවෙයි. අපේ ඉන්න මහජන නියෝජිතයෝ සුළුතරයක් එහෙම විශ්වාස කළාට එහෙම හිතුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දදායකයෝත් ඒ මතයේ නෑ. ඕකයි ඇත්ත.

● ඇල්ලේ හිමියන්ගෙන් ඇමැතිට දෝස්මුරයක්…

මේ රටේ සියලුම දේශපාලනඥයන්ගේ ව්‍යාපාරිකයන්ගේ හා කලාකරුවන්ගේ අවධානය යොමුවුණු විශේෂ මළගෙවල් දෙකක් පසුගිය සතියේ බොරැල්ල කනත්ත ආසන්නයේ වූ සුවිශේෂී මල්ශාලා දෙකක තිබිණි.

එකක් බානි රේමන්ඩ් මල්ශාලාවේ පැවති, හිටපු අමාත්‍ය රවි කරුණානායකගේ මව්තුමියගේ මළ ගෙදරයි. දෙවැන්න ජයරත්න වීඅයිපී මල් ශාලාවේ පැවති, සුප්‍රකට ව්‍යාපාරික රේන ද සිල්වාගේ නැන්දනියගේ මළ ගෙදරයි. මළගෙවල් දෙකෙහිම අවසන් කටයුතු බදාදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

වේදිකා අතරින් වැඩිම දේශපාලඥයන් පිරිසක් හා සෙනඟක් රවිගේ අම්මාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට පැමිණ සිටියහ. ආරංචියේ හැටියට දේශපාලඥයන්ගෙන් ඊට පැමිණ නැත්තේ චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන හා සජිත් ප්‍රේමදාස පමණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මළ ගෙවල් දෙකට සහභාගි වූයේ අඟහරුවාදා දහවල්ය. ඔහු පැමිණ සිටියේ සාගල රත්නායකත් සමඟය. එතැන් පටන් බදාදා අවසන් මොහොත දක්වාම එක දිගට වැල නොකැඩී දේශපාලනඥයෝ මේ මළ ගෙවල්වලට පැමිණීම විශේෂත්වයක් විය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බදාදා උදේ දහයට පමණ මේ මළ ගෙදරට පැමිණියේය. ඔහු පැමිණ එතැන සිටි දේශපාලකයන් සමග කතාබස් කරමින් බොහෝ වේලාවක් රැඳී සිටීම විශේෂත්වයකි. ඔහු පැමිණ සිටි වේලාවේම විජයදාස රාජපක්ෂ, හර්ෂණ රාජකරුණා, කරුණාසේන කොඩිතුවක්කු, මහින්දානන්ද අලුත්ගමගේ දයාසිරි ජයසේකර ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ බොහෝ ගණනක් එහි සිටියහ. එම අවස්ථාවේ ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩ සිටිනු දුටු විජයදාස රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයෝ කීප දෙනෙක් උන්වහන්සේ ළඟට ගොස් කතාබස් කරන්නට වූහ.

මොකක්ද දැන් අර නැවේ හුටපටයට වෙලා තියෙන්නේ. ඇයි ඒකෙ වන්දිය අපිට ගන්න බැරි. ආරංචියේ හැටියට බිලියන හයක් විතර ගන්න තියෙන වන්දියක් අතරමගදී කප්පං කාරයෝ ටිකක් එකතුවෙලා වළක්වන්න දඟලනව…”

ඒක තමයි හාමුදුරුවනේ… එතන ප්‍රශ්න ගොඩයි. අපෙත් අඩුපාඩුකම් තියෙනවා. සමුද්‍රීය පාරිසරික අපරාධ වළක්වන්න ජාත්‍යන්තරව තියන සමහර ගිවිසුම්වලට අපි රටක් හැටියට දැන හෝ නොදැන අත්සන් කරල නෑ. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් ඔබවහන්සේ ඔය කියපු කාරණාවත් බලපානවා… මේක රටට එන එක වළක්වන්නත් සමහර අය කටයුතු කරලා අත යටින් මුදල් අරන් තියනවා…”

“මේ වෙනකොට ලෝකේ සිද්ධ වෙච්ච ලොකුම සාගර පරිසර දූෂණය මේකලු නේද… ඉතින් ලෝකෙ රටවල් නිකන් ඉඳියිද…” එතැන සිටි තවත් කෙනෙක් තවත් කරුණක් එළියට දැම්මේය.

“එහෙම අත යට ගැහිලි හෙළිදරව් වෙලා තියනවා නම් ඒ අයව රටට එළිදරව් කරන්න. පහුගිය කාලේ දිගටම මේ රටේ මූල්‍ය අපරාධ කළේ එක පිරිසක් විතරයි කියලා හංවඩු ගැහුණා. දැන් බලනකොට ඔය ගනුදෙනුවේ ඉන්නේ උපාසකයෝ වගේ කතා කරල තියෙන්නෙත් කිල්ලෝටවල හුණු තියෙන කට්ටියක්නේ. ඔය වෙස්මුහුණු රටට එළිදරව් කරන්න ඕන. ඊට පස්සෙ නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න. එහෙම කරේ නැත්තං අපට සිද්ධ වෙනවා පාරට බැහැලා ජනතාවට ඇත්ත කියන්න…” ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් එසේ ඉතා දැඩිව අමාත්‍යවරයාට කමටහන් දෙද්දී දයාසිරි හා මහින්දානන්ද ද ඒ කතාවට සම්බන්ධ වූහ.

මෙන්න මෙයාලත් මේවට හවුල් කරගන්න. ආණ්ඩුවේ සමහරු දැන් මේ රට විකුණන් කන්න හදනවා. මේගොල්ලෝ බලන් ඉන්නවා. බලන් ඉඳලා හරියන් නෑ. ඇල්ලෙ හිමියෝ දයාසිරිට හා මහින්දානන්දට එසේ කතා කරද්දී විජයදාස රාජපක්ෂ එතනින් ගැලවුණේ තමන්ට රේන ද සිල්වලාගේත් මළ ගෙදරට ගොඩ වදින්න තියෙනවා යැයි කියාය. විදේශ අමාත්‍ය අලි සබ්රි ද එතනට පැමිණ මේ සිද්ධිය ගැන තවදුරටත් කතාබහ කරමින් සිටිනු දැකගත හැකි විය.

● රංජිත් ඇමැතිවරයාට යන්න හැකි වාහනයක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රටේ මුදල් ඇමැතිවරයා වුවත් මුදල් අමාත්‍යාංශයේ කටයුතුවලට වගකිවයුතු ඇමැතිවරයෙක් ලෙස නිතර රටේ තොටේ දුවන්නට සිදුවූයේ රාජ්‍ය අමාත්‍ය වරයාටය. එම නිසා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගිය සතියේ අවුරුදු කියාවත් විවේකයක් නොවීය.

කෙසේ වෙතත් අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් ලබාදී තිබුණේ ද එතරම් සුවපහසු රථයක් නොවේ. සුවපහසු සුඛෝපභෝගී රථ වියදම් අධික බැවින් ඇමැති සියඹලාපිටිය ගේ ඉල්ලීම වූයේද දුවන්න පුළුවන් වියදම් අඩු ඩබල් කැබ් රියක් තමන්ට ලබා දෙන ලෙසයි. ඒ අනුව ඔහුගේ නිල රථය වූයේ ටොයොටා ඩබල් කැබ් රථයකි.

මෙම රථයේ ටයර් 4 පසුගිය දිනවල අබලන්ව තිබූ බැවින් මාරු කර දෙන මෙන් අමාත්‍යාංශයෙන් කීපවිටක් ම ඉල්ලා සිටියත් අදාළ බලධාරීන් අතින් එය ඉටුව තිබුණේ නැත.

පසුගිය 16 වැනිදා ඉරිදා ඔහුට කෑගල්ල දිස්ත්‍රික්කයේ ගමන් බිමන් අධික විය. දේශගුණයද වැසි සහිත එකක් විය. අවුරුදු උත්සව කීපයකට ගොස් හවස දහවල් ආහාරය සඳහා ආපසු නිවසට ආවේ ඒ තරම් වේගෙකින් නොවූවත් රුවන්වැල්ල ප්‍රදේශයේදී කැබ්රිය ලිස්සා ගොස් අනතුරකට ලක්විය. අමාත්‍යවරයාට දරුණු තුවාල සිදු වූයේ නැත්තේ වාසනාවකටය.

කෙසේ වෙතත් ආරංචිය ලත් මොහොතේ පටන් ජනාධිපතිවරයාත්, මහින්ද, නාමල් රාජපක්ෂවරුත් සෙසු දේශපාලඥයෝත් සියඹලාපිටියගේ තතු විමසන්නට වූහ.

පසුගිය සතිය මැද මුදල් අමාත්‍යාංශයේ තිබූ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට කීවේ මුදල් අමාත්‍යාංශයේ රාජකාරී වෙනුවෙන් වෙහෙසෙන තම රාජ්‍ය අමාත්‍යවරයාට බය නැතුව නැගලා යන්න පුළුවන් තත්ත්වයේ වාහනයක් ලබාදීමට ක්‍රියා කරන ලෙසයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 117 වන ජන්ම දින උත්සවය පසුගිය සතියට යෙදී තිබුණෙන් ඒ නිමිත්තෙන් උපහාර උත්සව දෙකක් පැවැත්විණි.

එකක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පවත්වන්නට කටයුතු සංවිධානය කළේ තිලංග සුමතිපාල හා දයාසිරි ජයසේකරයි. මැතිනිය සමගද දේශපාලනය කළ කාන්තාවන් විශාල ප්‍රමාණයක් මෙම උත්සවයට කැඳවා තිබීම විශේෂත්වයක් විය. ඒ වෙනුවෙන් පොත් පිංචක් ද මුද්‍රණය කර තිබුණි.

කෙසේ වෙතත් මෙම කණ්ඩායමේ උත්සවවලට වෙනදා සහභාගි නොවන අන්දමේ අමුත්තෙක් මේ උත්සවයට පැමිණ සිටියේය. ඒ ලසන්ත අලගියවන්නයි. ලසන්තගේ පැමිණීම තවත් දේශපාලන සංසිද්ධියක ආරම්භයක්ද යන ප්‍රස්තුතය මෙහිදී කතාබහට ලක්විය.

පසුගිය සතියේ රජයේ අවධානය යොමුවූ තවත් ඉතා වැදගත් සිද්ධියක් ලෙස කැපී පෙනුණේ අත්‍යවශ්‍ය සේවාවන් ගණනාවක් නම් කරන්නට ජනාධිපතිවරයා ජනාධිපතිවරයා තීන්දුවක් ගැනීමයි. ඒ අනුව අධ්‍යාපනය ද ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවාවක් වනු ඇති බව බොහෝ දේශපාලඥයෝ මත කළ කළේය.

ගුරුවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු තවමත් උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇපයට ගෙන ඔවුන්ගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට සහභාගි නොවී වෘත්තීය කරුණු මත සටන් වදිමින් සිටීම තුළ රටේ අනාගත දරු පරපුර මුහුණ දෙන අර්බුදය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඉදිරියේදී දැඩි පියවර කීපයක් මේ වැඩ වර්ජනවලට එරෙහිව ගනු ඇතැයි දේශපාලන කතිකාවේ කතාබහක් ඇති විය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment