ණය පියවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කර ඇති ආයෝජකයන්ගේ අඛණ්ඩ විශ්වාසය පෙන්නුම් කෙරෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි

105

මහ බැංකුව විසින් කළ විමසීමකට අනුව 2022 වර්ෂයේ දී සිදුවිය හැකි අවදානමක් පිළිබඳ යම් යම් අංශ විසින් මතු කරන ගැටලූ ආයෝජකයන්ගේ හැසිරීමෙන් පෙන්නුම් නොවන බව ද මහ බැංකුව කියයි.

මේ ගැන වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ එළැඹෙන 2022 ජනවාරි මාසය තුළ සහ ජූලි මාසය තුළ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු මිලදී ගැනීමේ හැකියාව, අන්තර්ජාතික බැංකු සහ ප‍්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් විමසන්නට යෙදුණු බවයි.

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද ‘සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ට අනුව ඉදිරි වසර තුන අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක පමණ ප‍්‍රමාණයකට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප‍්‍රමාණය ක‍්‍රමිකව අඩු කළ යුතු වන බව ද මහ බැංකුව පවසයි. මේ ගැන කරුණු පැහැදිලි කරන මහ බැංකුව මෙසේ ද පවසයි.

එළැඹෙන 2022 ජනවාරි මාසය තුළ සහ ජූලි මාසය තුළ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර 2021 සැප්තැම්බර් මාසය තුළ වට්ටම් සහිත මිල ගණන්වලට හුවමාරු වීම හේතුවෙන් එම ජාත්‍යන්තර බැඳුම්කරයන් ආපසු මිලදී ගැනීමේ හැකියාව, අන්තර්ජාතික බැංකු සහ ප‍්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් විමසන්නට යෙදිණි.

මේ අනුව සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු මිලදී ගැනීමට මහ බැංකුව උත්සාහ ගත්ත ද මේ විමසීමෙන් මහා බැංකුවට නිරීක්ෂණය වී ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරන්නාගේ වගකීම් ඉටු කිරීමට ඇති හැකියාව සහ වාර්තාගත නිකැළැල් ණය ගෙවීමේ හැකියාව ගැන ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගේ අඛණ්ඩ විශ්වාසය පෙන්නුම් කෙරෙන බවයි. එසේම ඔවුන්ගේ මනාපය අඛණ්ඩව පවතින්නේ එම ආයෝජන තවදුරටත් රඳවා තබා ගැනීමට බව ද මහ බැංකුවට නිරීක්ෂණය වී ඇත.

2022 වර්ෂයේ කල් පිරෙන ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වට්ටම් සහිතව ලංසු තැබුණ ද, අවශ්‍ය ප‍්‍රමාණ මිලදී ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහ බැංකුව මේ බව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment