ත්‍රිපිටක ග්‍රන්ථ සාහිත්‍යයේ තුඩාවේ යතිවර ලකුණ අග්ගමහා පණ්ඩිත තුඩාවේ අරියවංස නාහිමි

221

ග්‍රන්ථ රාශියක් ලියා පළකර ඇති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පුවත්පත් සඟරාවල බොහෝ ලිපි පළකර ඇත. ග්‍රන්ථ හැටියට පටිච්චසමුප්පාද විවරණය, බෞද්ධයා, නොනිසි වහර, ත්‍රිපිටක සංවණ්ණණා, පිළිසඳර, ඔවදන් රුවන ආදී පොත් 30 කට වැඩිය ලියා ඇත. සිංහල කවි මෙන්ම පාලි කවි ලිවීමේ හැකියාව ඇති උන්වහන්සේ මියන්මාරයේ යැන්ගුන්හි ස්වේදගොන් චෛත්‍ය අසල හිඳිමින් පාලි ගාථා 100 ක් ලියා ඇත. එම ගාථා 100 මියන්මාර් පුවත්පත් කීපයක ඉහළින් පළ කර ඇත.

ත්‍රිපිටක ග්‍රන්ථ සාහිත්‍යයේ තුඩාවේ යතිවර ලකුණ අග්ගමහා පණ්ඩිත තුඩාවේ අරියවංස නාහිමි

මා වර්ෂ ගණනක් තිස්සේ වැඩ සිටින මාලිගාවත්තේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේත්, මාතර තුඩාවේ ශ්‍රී සුධර්මාරාමයේත්, කපුගම අරියාරාමයේත් නිර්මාතෘ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තුඩාවේ අරියවංස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වී 2023 අප්‍රේල් 23 දාට වසර 30 ක් සපිරෙයි. ඒ වෙනුවෙන් කපුගම අරියාරාම විහාරස්ථානයේ ගුණානුස්මරණ අර්ධ සතික සංඝගත දක්ෂිණාවක් විහාරාධිකාරී ශාස්ත්‍රපති ගරු කඹුරුගමුවේ අස්සජී මාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙයි.

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තුඩාවේ අරියවංස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් සිදු වී ඇති සේවාව අතිවිශාල වුවත්, අද බොහෝ දෙනාට උන්වහන්සේ පිළිබඳව අමතක වී ගොස් ඇත. කෘතවේදීව එම ගුණ සිහිපත් කළ යුතු අතර නව භික්ෂු පරපුරට ආදර්ශයක් ගැනීමට ඔවුන් දැනුවත් කළ යුතුය.

ත්‍රිපිටක ග්‍රන්ථ සාහිත්‍යයේ තුඩාවේ යතිවර ලකුණ අග්ගමහා පණ්ඩිත තුඩාවේ අරියවංස නාහිමි

1906 දී අතිගරු තුඩාවේ සුගුණතිස්ස ලොකු හාමුදුරුවන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි වූ පූජ්‍ය තුඩාවේ අරියවංස සාමණේරයන් වහන්සේ මාතර හිත්තටිය මුදලින්ද පිරිවෙනේත්, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේත් අධ්‍යාපනය ලැබූහ. ආනන්ද විද්‍යාලයේ සන්ධ්‍යා ඉංග්‍රීසි පන්තිවල හොඳින් ඉගෙනගත් උන්වහන්සේට ලැබුණු ආරාධනය අනුව එම විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස ටික කලක් උගන්වා ඇත.

අතිපූජ්‍ය පැලෑණේ වජිරඤාණ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ඉල්ලීම පරිදි උන්වහන්සේගේ ශිෂ්‍යයන්ට වර්ෂ කීපයක් ඉගැන්වීම් කළහ. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමියෝ උන්වහන්සේට ඒ වෙනුවෙන් ජීවත්ව සිටිද්දී උසස් ගෞරවයක් දැක්වූහ. ඉන් පසුව දෙවිනුවර වනවාසල ධර්මරක්ෂිත පිරිවෙනේ පරිවෙනාධිපති ලෙසත්, මාතර රාහුල විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙසත්, මාතර ජිනරාජ ගුරු පුහුණු ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කර ඇත. අනගාරික ධර්මපාලතුමාගේ ආරාධනා පරිදි බරණැස පෝස්ටර් සාමණේර විද්‍යාලයේ විදුහල්පති ලෙසත් කටයුතු කරමින් වැදගත් ඓතිහාසික සිද්ධියකට ද දායක වූහ. ආචාර්ය අම්බික්කාර්තුමාගේ මෙහෙයවීමෙන් දීක්ෂා පිට්ටනියේදී වෙනත් ආගම් ඇදහූ ලක්ෂ පහක පිරිසක් එක වරට බෞද්ධයන් බවට පත් කළේ අතිපූජ්‍ය තුඩාවේ අරියවංස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේයි. ඔවුන් පංචශීලයේ පිහිටුවා දිගට ධර්ම දේශනා පවත්වා කළ කාර්ය ඉතිහාසගත වෙයි. ඉන් පසුව යළි ලක්ෂ හතක ජනකායක් බෞද්ධයන් බවට පත්වීමට සම්බන්ධ වූයේ උන්වහන්සේය. එම බෞද්ධයන් වෙනුවෙන් මෑතකදී සැලකිය යුතු මෙහෙයක් පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයන්ගෙන් ඉටු වෙයි. මියන්මාරයේ පවත්වනු ලැබූ ඡට්ඨ සංගායනාවට 1956 දී වියත් ධර්මධර භික්ෂූන් 56 නමක් සහභාගිවූ අතර අතිපූජ්‍ය තුඩාවේ අරියවංස නාහිමියන් හා සද්ධර්ම කීර්ති ශ්‍රී පණ්ඩිත අතිගරු අත්තුඩාවේ ඤාණෝදය නාහිමියන් සහභාගි වී ඇත. ත්‍රිපිටක ග්‍රන්ථ සංශෝධනයේදී බුරුම පාලි පිටපත්වල අඩුපාඩුකම් තර්කානුකූලවත් සහේතුකවත් ඉදිරිපත් කිරීම දැක අසා පැහැදීම නිසා බුරුම අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේට ත්‍රිපිටක මහා පණ්ඩිත යන උපාධිය පසුවදා ම පිරිනැමුවේය. පසුව උන්වහන්සේ ඇතුළු 6 නමකට අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමිණි.

උන්වහන්සේගේ පාලි භාෂාව හා බුද්ධ ධර්මය පිළිබඳ දැනුම සලකා අට්ඨකතා සංඝායනාවේදී දිගටම මූලාසනය අතිපූජ්‍ය තුඩාවේ අරියවංස නාහිමියන්ට පිරිනැමුණු අතර තම සේවාව උපරිම වශයෙන් යෙදවූහ. ඒ අතරේ අප අතරින් අතුරුදන්ව නාමමාත්‍රව පැවති පටිසම්බිදා මග්ග ගන්ඨි පදත්ථ වණ්ණණා පොතේ පිටපතක් මියන්මාරයේ ඈත දුෂ්කර පළාතක පන්සලක පැරණි පොත්ගුලක තිබී සොයා ගත්හ. එය පිටපත් කර සංශෝධනය කොට මුද්‍රණය කර එළිදැක්වීමෙන් ත්‍රිපිටක සාහිත්‍යයට ලොකු අඩුවක් සම්පූර්ණ කළහ.

ග්‍රන්ථ රාශියක් ලියා පළකර ඇති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පුවත්පත් සඟරාවල බොහෝ ලිපි පළකර ඇත. ග්‍රන්ථ හැටියට පටිච්චසමුප්පාද විවරණය, බෞද්ධයා, නොනිසි වහර, ත්‍රිපිටක සංවණ්ණණා, පිළිසඳර, ඔවදන් රුවන ආදී පොත් 30 කට වැඩිය ලියා ඇත. සිංහල කවි මෙන්ම පාලි කවි ලිවීමේ හැකියාව ඇති උන්වහන්සේ මියන්මාරයේ යැන්ගුන්හි ස්වේදගොන් චෛත්‍ය අසල හිඳිමින් පාලි ගාථා 100 ක් ලියා ඇත. එම ගාථා 100 මියන්මාර් පුවත්පත් කීපයක ඉහළින් පළ කර ඇත. උන්වහන්සේට දේශන පැවැත්වීමේ සහජ දක්ෂතාවක් තිබිණි. වයස අවුරුදු 13 දීත් මාතර ප්‍රසිද්ධ දේශකයෙක් වී ඇත. වයස 15 දී උයන්වත්ත පිට්ටනියේ අට දාහක පිරිසක් වෙසක් පෝය දවසක අටසිල්හි පිහිටුවා සිල් වැඩසටහනක් ඉතා සාර්ථකව පවත්වා ඇත. මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ 1916 දී පවත්වනු ලැබූ මහා කථික තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්ෂන් ආණ්ඩුකාරවරයාගේ අතින් විචිත්‍ර කථික ත්‍යාගය ලබා ගත්හ.

අතිපූජ්‍ය තුඩාවේ අරියවංස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පාඨශාලා තුනක් ආරම්භ කර ඇත. මාතර තුඩාවේ විද්‍යාලය තමාට ලැබුණු පෞද්ගලික ඉඩමේ තමාගේම වියදමින් ශාලාවක් හදා ආරම්භ කර ඇත. අද එය ශ්‍රී ලංකාවෙන්ම තුන්වන ඉහළම පලදායී ආදර්ශ පාසල බවට වත්මන් විදුහල්පතිතුමා පත් කර ඇත. මාතර මහා විද්‍යාලයත් උන්වහන්සේගේ උත්සාහයෙන් ආරම්භ වී ඇත්තේය. අනෙක් විද්‍යාලය වන කපුගම විද්‍යාලය විහාරස්ථානයට අයත් ඉඩමක ඉදිකර ඇති අතර ගොඩනැඟිලි හැදීමට මුලදී ආධාර දී ඇත.

උන්වහන්සේ කරගෙන ගිය සේවාව ඉදිරියට කරගෙන යෑම සඳහා පැවිදි ශිෂ්‍ය පිරිසක් සකස් කර ඇත. සද්ධර්ම කීර්ති ශ්‍රී පණ්ඩිත අතිගරු අත්තුඩාවේ ඤාණෝදය නාහිමි, ශාස්ත්‍රවේදී ගරු දික්වැල්ලේ මහින්ද මාහිමි, පණ්ඩිත ශාස්ත්‍රවේදී ගරු තුඩාවේ හේමාලෝක මාහිමි, ශාස්ත්‍රපති ගරු ගොඩඋඩ අරියධම්ම නාහිමි හා ශාස්ත්‍රපති ගරු කඹුරුගමුවේ අස්සජී මාහිමි ඒ අතර වෙති. වත්මන් විහාරත්‍රයාධිපති ගරු ගොඩඋඩ අරියධම්ම නාහිමියන් වහන්සේ ගුරු හාමුදුරුවන් අනුගමනය කරමින් වටිනා පොත්පත් රැසක් ලියා පළ කර ඇති අතර සිය ගණනක් ගීත ද ප්‍රබන්ධ කර ඇත. එසේම පරිත්‍යාගශීලීව සැලකියයුතු අධ්‍යාපනික සේවාවක යෙදෙමින් සිටිති.

අත්හැරීම අතිගරු තුඩාවේ අරියවංස නාහිමිපාණන්ගේ ස්වභාවයක් වී ඇත. උන්වහන්සේට බොහෝ ඉඩකඩම් නිවාස ලැබී ඇත. ඒවා වෙනත් ආරාම වෙත යොමු කර ඇත. මියන්මාරයේදී උන්වහන්සේට ලැබුණු ආරාම හිතවත් භික්ෂූන් වහන්සේලාට පරිත්‍යාග කර ඇත. ඉන්දියාවේ මැඩ්‍රාස්හි කෝලාර්ගෝල්ෆීල්ඩ්හි ශ්‍රී ලංකාරාමය අතිගරු බද්දේගම විමලවංස නාහිමිපාණන්ගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට භාරදී ඇත. වරක් උන්වහන්සේ, තමන්ගේ මුල් විහාරස්ථානයත් වෙනත් භික්ෂූන් වහන්සේ නමකට භාරදී විවේකස්ථානයකට වී සිටියහ.

● ශාස්ත්‍රපති පූජ්‍යපාද හසලක සීලවිමල මාහිමි
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment