ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව දෙගුණ කරයි

76

වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 05 ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10 ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24 දා) පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව නොවැම්බර් 06 වැනිදා සිට බස්නාහිර පළාතේ සියලුම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර් 10 ක් දෙයි. අනෙකුත් පළාත්වල මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 06 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, ඉන්පසුව එම ත්‍රිරෝද රථවලට ද නව ඉන්ධන කෝටාව දෙනු ඇත. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලක්ෂ තුනක් පමණ මේ වනවිට පොලිසියේ ලියාපදිංචි කර තිබෙන අතර, නොවැම්බර් 13 වැනිදා වනවිට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචිය කළ නොහැකි වුවහොත් ආරම්භයක් වශයෙන් පොලිසියේ ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට ද තීරණය කෙරිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment