තිරසාර සංවර්ධනයට G20 සංවිධානයේ දායකත්වය

115

පසුගිය වසරේ දෙසැම්බර් මස 1 වන දින G20 සංවිධානයේ සභාපතිත්වය නිල වශයෙන් භාර ගැනීමත් සමග ලෝක බල තුලනයේ කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කිරීමට ඉන්දියාව අවතීරණව ඇත.

ඉදිරි වසර 10 තුළ ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ජපානය අභිබවා ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෝලීය ආර්ථික සහයෝගීතාව සඳහා වන ප්‍රමුඛතම සංසදයක් වන, G20 සංවිධානය හෙවත් ‘විස්සේ කණ්ඩායම’, ලෝකයේ ප්‍රධාන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 20 කින් සමන්විත අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එයට ලෝකයේ බලවත්ම රටවල් සියල්ලම අන්තර්ගත වේ. මෙම කණ්ඩායම ගෝලීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් 75%, ගෝලීය ජනගහනයෙන් තුනෙන් දෙකක් සහ ලෝක භූමි ප්‍රමාණයෙන් 60% නියෝජනය කරනු ලබයි.

ඒ අනුව G20 සංවිධානයේ නායකත්වය හරහා ඉන්දියාවේ බලය ලොවට ප්‍රදර්ශනය කිරීමට පෙර නොවූවිරූ ආකාරයේ සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

● ඉන්දීය G20 න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවන්

මුල් කාලීනව G20 සංවිධානය බොහෝ දුරට සාර්ව ආර්ථික ගැටලු කෙරෙහි අවධානය යොමු කළ නමුත් පසුව එය අන්තර්ජාතික වෙළෙඳාම, තිරසාර සංවර්ධනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, බලශක්තිය, පරිසර සංරක්ෂණය, දේශගුණික විපර්යාස සහ දූෂණය පිටුදැකීම ඇතුළු පුළුල් විෂය පරාසයක් වෙත සිය න්‍යාය පත්‍රය ව්‍යාප්ත කර ඇත.

දේශගුණික විපර්යාස, මූල්‍ය ස්ථායිතාව, බලශක්ති සුරක්‍ෂිතතාව සහ ආහාර සුරක්ෂිතතාව ඉන්දියාවේ G20 න්‍යාය පත්‍රයේ ඉහළ මට්ටමක පවතී. මෙම වැඩි අවධානය නිසැකවම ඉන්දියාවේ සහ ලොව පුරා නැගී එන දේශගුණ විපර්යාස පිළිබඳ සංවාදය, නවෝත්පාදන සහ ව්‍යාපාරික ආකෘතීන් සඳහා බහුවිධ ප්‍රවේශයක් ලබා දෙනු ඇති බවට විස්වාස කෙරේ.

ඉන්දියාවේ G20 සභාපතිත්වය තුළ ගෝලීය පාරිසරික ගැටලු පිළිබඳ අවධානය මූලික වනු ඇත. එහිදී ජෛව විවිධත්වය අහිමි වීම, සමුද්‍ර දූෂණය, කඩොලාන සහ කොරල්පර ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව, සම්පත් අධික ලෙස පරිභෝජනය සහ අපද්‍රව්‍ය බැහැර කිරීම ඇතුළු මූලික පාරිසරික ගැටලු ඉන්දියාවේ G20 සභාපතිධුර කාලය තුළ ආමන්ත්‍රණය කෙරෙන ප්‍රධාන පාරිසරික ගැටලු වේ.

● ලෝකයම එක පවුලක්

‘ලෝකයම එක පවුලකි’ යන ආදර්ශ පාඨය සමඟින් ඉන්දියාව G20 සංවිධානයේ සභාපති ධුරයේ ඉදිරි වසරක කාලය තුළ කටයුතු කිරීම සඳහා ගමන් ආරම්භ කර තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, G20 සභාපතිත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැක්ම පිළිබඳව පණිවිඩයක් ලබා දෙමින්, ලෝකවාසී සියලු ජනතාවට සුවය, සහජීවනය සහ බලාපොරොත්තු ගෙන දෙන සභාපති ධුරයක් වෙනුවෙන් කැපවන බව පවසා තිබේ.

● ගෝලීය දකුණට ශක්තියක්

ඉන්දියාව විසින් සිය G20 නායකත්වය උපයෝගී කරගනිමින් ගෝලීය දකුණට හඬක් සැපයීමට උත්සාහ කරන අතරම, සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපාන න්‍යාය පත්‍රද මෙහිදී සංශෝධනයට ලක් කිරීමටද කැමැත්ත පළකර තිබේ. එහිදී අන්තර් ජාතික ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, සෞඛ්‍යය, අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශගුණය සහ පරිසරය ඇතුළු ගෝලීය දකුණට ඉතා සමීප ප්‍රශ්න පිළිබඳව ඉන්දියාව වැඩි අවධානයක් යොමුකර ඇති බව සඳහන් වේ.

ගෝලීය දකුණ නියෝජනය කරන රටවල ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන්, පසුගිය ජනවාරි 12 සහ 13 යන දින දෙකේදී, සිය G20 නායකත්වය යටතේ පළමු විශාලතම සමුළුව (ගෝලීය දකුණේ හඬ) සංවිධානය කිරීමටද ඉන්දියාව පියවර ගනු ලැබූ අතර ඒ අනුව විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු සාක් කලාපයේ රටවලට මෙන්ම තවත් සංවර්ධනය අපේක්ෂාවෙන් පසු වන ලොව බොහෝ ජාතීන්ට ඉන්දියාව විසින් වසරක කාලයක් උසුලන මෙම G20 කණ්ඩායමේ සභාපතිත්වය තීරණාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.

● ඉන්දියාවේ G20 සභාපතිත්වයෙන් දකුණු ආසියානු කලාපයට වන බලපෑම

ඉන්දියාවට G20 වැනි ප්‍රබල සංවිධානයක සභාපතිත්වය හිමි වීම දකුණු ආසියානු කලාපයට, විශේෂයෙන් ශ්‍රී ලංකාවට එහි ආර්ථික අර්බුදයෙන් මිදීමට කදිම අවස්ථාවක් ලබා දෙනු ඇති බවට සැකයක් නැත.

මේ වන විට අක්‍රිය තත්ත්වයේ පවතින සාර්ක් වැනි කලාපීය සංවිධානවලට නැවත පණදීම සහ විශේෂයෙන් යාබද රටවල් මුහුණදෙන අභියෝගවලට උපකාර කිරීමේ අභිප්‍රාය ඉන්දියාව සතු වන බව මෝදි අගමැතිවරයා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් ලබා දුන් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට ඉන්දියාව නිල වශයෙන් කැමැත්ත පළකර එය අතිශය තීරණාත්මක සන්ධිස්ථානයක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට G20 සංවිධානයේ වැඩකටයුතු සමඟ සම්බන්ධ වීමට ඇති අවස්ථා පිළිබඳව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ 2023 සඳහා ඉන්දියාවේ G20 සභාපති ධුරයට අදාළව ප්‍රධාන සම්බන්ධීකාරක ලෙසට කටයුතු කරන හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා මහතා අතර හමුවක් මීට පෙර සිදු වී අතර මේ කරුණු සම්බන්ධයෙන් එහිදී පුළුල් ලෙසට සාකච්ඡා කර ඇත.

ඉන්දියාව G20 සංවිධානයෙහි ප්‍රධානියා වීමත් සමඟ පුනර්ජනනීය බලශක්තිය සඳහා කලාපීය රටවල් යොමු වීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටියි. සුළං සහ සූර්ය බලශක්තිය කලාපයේ ඉරණම වෙනස් කරන සාධකය බවට පත් කිරීම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ අරමුණයි. ජාත්‍යන්තර සූර්ය සන්ධානය තුළ දකුණු ආසියානු රටවල් රැසක් නියෝජනය කරයි.

ඉන්දියාවේ G20 සංවිධානයේ ප්‍රමුඛතාව වනුයේ 21 වැනි සියවසේ අභියෝග වලට මුහුණ දීම සඳහා සුදුසු වඩාත් වගවීම, සාධාරණ සහ බහුපාර්ශ්වීය ජාත්‍යන්තර යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි.

කාන්තාවන් සවිබල ගැන්වීම සහ එහි නියෝජනය පුළුල් කිරීමට G20 සංසදය ඉන්දියාව බලාපොරොත්තු වේ. සමාජ-ආර්ථික සංවර්ධනය සහ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කාන්තාවන් ඉදිරියට ගෙන ඒම සහ ප්‍රමුඛ තනතුරු සඳහා යොමු කිරීම මෙයට ඇතුළත් වේ.

ආචාර්ය ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment