තෙල් මිල වැඩිවීමෙන් ධීවර කර්මාන්තය හාන්සියි

89

බහුදින යාත්‍රා 2500ක් පමණ වරායවල නැංගුරම්දාලා

ඉන්ධන මිල වැඩිවීම මෙරට ධීවර කර්මාන්තයට එල්ල කළ මරු පහරක් බවත්, මාළු කිලෝවක මිලත් ඉන්ධන ලීටරයක මිලත් මේ වන විට සමාන තත්ත්වයකට පත්ව ඇති බවත් බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වයි. ඒ. අජිත් නිශාන්ත මහතා පවසයි.

ඉන්ධන මිල වැඩිවීම ඇතුළු ධීවර කර්මාන්තයේ දැනට පවතින ගැටලු රැසක් නිසා මෙරට ලියාපදිංචි වී ඇති බහුදින යාත්‍රා 5000 කින් 2500 ක් පමණ ධීවර වරායන්වල නැංගුරම්ලා ඇති බව ද හෙතෙම කියයි. ඉන්ධන මිල වැඩිවීම පිළිබඳව අදහස් දක්වමින් අජිත් නිශාන්ත මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

රජයේ මිල සූත්‍රය අනුව සෑම මසකම 01 වැනිදාට ඉන්ධන මිල සංශෝධනය කරනවා. මිල අඩුවෙන්නේ රුපියලකින් දෙකකින්. රුපියල් 35, 40 වගේ ගණන්වලින් තමයි මිල වැඩිවෙන්නේ. මේ දිනවන මාළු මිලත් ගොඩක් අඩුවෙලා. ඒ සමඟ ඉන්ධන මිල වැඩිවීම ධීවර කාර්මිකයන්ට දරාගන්න බැහැ. බහුදින යාත්‍රාවකට එක් ගමන් වාරයක් සඳහා ඉන්ධන ලීටර් 4000 ක් පමණ වැය වෙනවා. ඉන්ධනවලට පමණක් එක් ගමන් වාරයක් සඳහා රුපියල් 1,25,000 ක් පමණ වැය වෙනවා. ඒ විතරක් නෙවෙයි. අනිකුත් කෑම බීම, අයිස් දැල් ආම්පන්න ඇතුළු හැම දෙයකම මිල වැඩිවෙනව. වැයවන වියදම හොයාගන්න බැහැ යැයි ද කීය.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවින්ද්‍ර චන්‍ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment