දරුවන් පස් දෙනෙකුට එපාවූ වැඩිහිටි නිවාසයේ දිවි ගෙවූ පියාගේ අවසන් කටයුතු කළ දැයේ දරුවෝ

236

වැඩිහිටි නිවසක කල්ගෙවූ පස්දරු පියෙකුගේ අවසන් කටයුතු සිදුකරන්නට කිසිවෙක් නොපැමිණීමෙන් එහි බලධාරින් අපහසුතාවට පත්ව සිටියදී තරුණයන් පිරිසකගේ සහයෝගයෙන් අවසන් කටයුතු සිදුකළ පුවතක් පානදුර, පින්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

වසර 6 ක් පානදුර පින්වත්ත ආලෝකා වැඩිහිටි නිවාසයේ සිටි 67 හැවිරිදි පස්දරු පියෙකු වූ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. එම්. එම්. සිරිල් වාස් නමැති අය ඉකුත් 31දා මියගොස් ඇත.

ඔහු වැඩිහිටි නිවාසයට පැමිණි දින පටන් සුවදුක් සොයා බැලීමට එකදු දරුවකු හෝ පැමිණ නොතිබූ බවත්, මරණය සම්බන්ධයෙන් දැනුම් දීමට උත්සාහ කළ නමුත් එය ව්‍යාර්තවූ බවත් වැඩිහිටි නිවාසයේ පාලක පියල් ප්‍රනාන්දු මහතා පැවසීය.

පසුව මෘතදේහය පානදුර, නල්ලුරුව, ලක්සිරි මල්ශාලාව රැගෙන යෑමෙන් පසු අයකිරීම රුපියල් 27,500ක් බව මල්ශාලාව වෙතින් දැනුම්දී තිබිණි. එම මුදල ගෙවීමට තරම් ප්‍රමාණවත් මුදලක් ඒ මොහොතේ වැඩිහිටි නිවාස බලධාරින් සතුව නොවූ බැවින් අපහසුතාවට පත්ව සිට ඇත.

මේ පුවත බව දැනගත් අන්තර්ජාලා පරිශීලකයකු මියගොස් ඇති තැනත්තාගේ ඡායාරූපයක්ද සමග සිය මුහුණු පොතේ පළකර තිබේ.

එම පුවත දැක ඇති පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචි මනූල් සොයිසා සහ ඔහුගේ මිතුරන් වන අසංක කුරුප්පු, රිද්ම උදාර, චමිත් නීලක සහ තරිඳු සෙනවිරත්න යන තරුණ පිරිස එක්ව හිඟ මුදල් මල්ශාලාව වෙත පියවා එම පියාගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ මනූල් සොයිසා මහතා: මේ වැඩේට කැපවුණ අපි මේ තාත්තාව ජීවිතේට දැකලාවත් නෑ. මෙවැනි පුවත් යළි අසන්නට නොලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේක ප්‍රසිද්ධියක් බලාගෙන කළ දෙයක් නොවෙයි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment