දැන ගියොත් පිටරට නොදැන ගියොත් පාරට!

564

අපේ රටේ කාලයෙන් කාලයට විරුවෝ බිහිවෙති. යුද්ධය පැවති කාලයේ තැන ලැබුණේ රණවිරුවන්ට ය. කොවිඩ් වසංගත කාලයේ සුව විරුවන් බිහිවිය. කලක පටන් එතෙර රැකියාවට ගොස් මෙරටට විදේශ විනිමය එවන අයව හඳුන්වනු ලබන්නේ රට විරුවන් ලෙස ය. කාටත් තේරෙන භාෂාවෙන් කියනවා නම් අපේ රටට ඩොලර් එවන නිසා ඔවූහු රට විරුවෝ වූහ. ඩොලර්වල අගය අපට වඩාත් හොඳින් දැනුණේ පසුගිය කාලයේදීය. තෙල් ටික ගැනීමට, ගෑස් ගැනීමට, බෙහෙත් ගැනීමට ඩොලර් නැතිව බලාසිටින විට ඩොලරයේ අගය පමණක් නොව එතෙර සිට මෙරටට මුදල් එවන අයගේ අගය ද අපට වඩාත් හොඳින් දැනිණි. ඔවුන් විරුවන් ලෙස සලකනු ලබන්නේ එබැවිනි.

නමුත් අපේ රටේ බොහෝදෙනකු විදේශ රැකියා සඳහා යොමු වන්නේ වීරයන්වීමට නම් නොවේ. ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් දුරු කර වඩාත් සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීමට ය. ඉන්න හිටින්නට ගෙයක් දොරක් හදා ගැනීමටය. දරුවන්ට උගන්වා දරුවන්ගේ ජීවිත වඩාත් සැපවත් කිරීමටය. මෙවැනි දහසකුත් ප්‍රාර්ථනා පොදි බැඳගෙන පිටරට රැකියා සඳහා යන බොහෝ දෙනකුගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වුණ ද ඇතැමුන්ගේ ජීවිත ඛේදවාචක වී තිබේ. සමහරු කබලෙන් ළිපට වැටී තිබේ.

● ජපන් ගිය ශාන්ත

කිරිඳිවැල ශාන්ත හරිශ්චන්ද්‍ර ගුණවර්ධන ඊට එක් නිදසුනකි. ඔහු ජපානය බලා පිටත් වූයේ මෙම වසරේ මාර්තු 30 වැනිදාය. නමුත් එය ඔහුගේ ප්‍රථම විදෙස් රැකියා ගමන නොවේ. ප්‍රථම වතාවට ඔහු විදෙස් රැකියාවකට ගොස් තිබුණ් 1996 දීය. ඒ සවුදි අරාබියේ “ඩෝසර් ලෝඩර්” කෙනෙකු වශයෙනි. එදා විදේශ රැකියා නියෝජිත ආයතනයකින් එතෙර ගිය ශාන්ත, එරට අවුරුදු 3ක් සේවය කර ආපසු මෙරටට පැමිණියේය. රියැදුරු බලපත්‍රය හා ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ බර වාහන සහ යන්ත්‍රෝපකරණ පාඨමාලාවක් හදාරා තිබූ ඔහුට විදෙස් රැකියාවක් සොයාගැනීම ඉතා පහසු කටයුත්තක් විය. 2001 දී මිතුරෙකුගේ මාර්ගයෙන් කුවෙට් බලා ගියේ එම නිසාය. එහෙත් ගෘහ රියැදුරු වශයෙන් වීසා ලැබුණු ඔහුට තැනින් තැන රැකියා කිරීමට සිදුවිය. නිශ්චිත සේවා ස්ථානයක් තිබුණේ නැත. ආහාර පාන සහ නවාතැන් තමාම සපයාගත යුතු විය. අවසානයේ මාස 10කින් කුවෙට් රටට සමුදුන් ඔහු ලංකාවට ආවේ ය. නැවතත් 2004 වසරේදී විදේශ රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් කටාර් රටට ගිය ශාන්ත ගුණවර්ධන ලෝඩර් කෙනකු වශයෙන් වසර 2ක් සේවය කර මෙරටට පැමිණියේ ය.

දැන ගියොත් පිටරට නොදැන ගියොත් පාරට!

“මම හම්බකරගෙන ආපු මුදල්වලින් වාහන කීපයක් අරන් බිස්නස් එකක් පටන් ගත්තා. ඒත් ඒක බංකොලොත් වුණා. මම කොහොම හරි රජයේ අමාත්‍යාංශයක රියැදුරු රැකියාවකට බැඳුණා. මගේ ගෙදර අයවත් මගේ බිරිඳගේ අයවත් බලා ගත්තේ මම. මගේ දරුවෙක් අසනීපවෙලා හිටියා. ඒ ළමයාට ප්‍රතිකාරවලටත් වියදම් යනවා. මම තවම ඉන්නේ බිරිඳගේ ගෙදර. මට කියලා ගෙයක් දොරක් හදාගන්න හිතාගෙන තමයි මම ජපානයට යන්න තීරණය කළේ. ජපානයේ ඉන්න ලංකාවෙ කෙනෙක් තමයි මට බිස්නස් වීසා එව්වෙ. මටත් වුවමනා වුණේ කොහොමහරි ජපානයට යන්න. මම ජපානයේ නරීටා ගුවන්තොටුපළෙන් බහිනකොට ලංකාවේ මිතුරා එක්කරගෙන යන්න ඇවිත් හිටියා. මාව අරන් ගියේ අසිකාගා ප්‍රදේශයට. කාමරයක් අරන් දුන්නා. ඒත් රස්සාවක් ලැබුණේ නැහැ. රස්සාවක් හොයලා දෙන්න නම් කොළ 10ක් දෙන්න කියනවා. කාමරයකට කොළ 03ක් ඉල්ලනවා. එහෙ කොළයක් කියන්නේ අපේ සල්ලිවලින් රු. 25,000/=ක්. අන්තිමට මම පන්සලට ගියා. පන්සලේ හාමුදුරුවොත් කොළ 10ක් ඉල්ලුවා. ලංකාවේ අය එකතුවෙලා මම වගේ අය එහෙ ගෙන්වාගෙන කරන ජාවාරමකට මම අහුවුණේ. ඊටපස්සේ මැයි 11දා ආපහු ලංකාවට ආවා” යනුවෙන් ශාන්ත ගුණවර්ධන විස්තර කළේය.

ලංකාවට පැමිණි ඔහු රජයේ රැකියාවට නැවතත් සම්බන්ධ විය. එහෙත් අද ඔහු රු. ලක්ෂ 25ක පමණ ණයකරුවෙකි. සිව් වතාවක් විදේශගත වුවද තවමත් ඔහුට ගෙයක් දොරක් නැත.

● සයිප්‍රස් ගිය ප්‍රභාත්

දැන ගියොත් පිටරට නොදැන ගියොත් පාරට!

එහෙත් මිනුවන්ගොඩ දාගොන්නේ පදිංචි ප්‍රභාත් කුමාර වීරසිංහට එසේ වූයේ නැත. ඔහු අද අංග සම්පූර්ණ නිවසක හිමිකරුවෙකි. ඔහුගේ එකම දියණිය අද සරසවි අධ්‍යාපනය ලබයි. ඔහුගේ ජීවන තත්ත්වය ඉහළ තලයකට නංවා ගැනීමට හැකි වූයේ ඔහු විදෙස්ගත වූ නිසා බව ඔහු තරයේ පවසයි.

“මගේ තාත්තා මේසන් වැඩ, පයිප්ප වැඩ, වයරින් වැඩ කොන්ත්‍රාත් අරගෙන කරද්දි මාව අරගෙන ගිහින් මට වැඩ හුරුකළා. පයිප්ප සහ වයරින් වැඩ නම් මම පාඨමාලාවක් කරලා තවදුරටත් ඉගෙනගත්තා. මම ඔය වැඩ කරගෙන ඉන්දැද්දි සයිප්‍රස් යන්න අවස්ථාවක් ලැබුණා.ඒජන්සියකින් තමයි ගියේ. 2003 අප්‍රේල් මාසේ මම සයිප්‍රස් ගිහින් 2006 වනතුරු ඒ රටේ වැඩ කළා. මම ලංකාවෙන් පිටවෙනකොට ගෙවීමේ ක්‍රමයට ඉඩමක් අරන් දාලා තිබුණේ. මම විවාහ වෙලා මහගෙදර හිටියේ. රට රැකියාවෙන් තමයි ඉඩමට සම්පූර්ණයෙන් ගෙවලා ඉවර කරලා තට්ටු 2ට ගේ හැඳුවේ. ඒ ගෙදර යට තට්ටුව අංග සම්පූර්ණව හදලා පදිංචි වුණා. ඉඩම වටේට තාප්ප බැන්දා. දුවව පෞද්ගලික බාලිකා විදුහලකට ඇතුළත් කළා. දුවට හොඳට ඉගැන්නුවා” යනුවෙන් ප්‍රභාත් කුමාර වීරසිංහ සඳහන් කළේ දැඩි සතුටිනි.

අද ප්‍රභාත් සීෂෙල්ස් හී Construction Forman ලෙස රැකියාවක නිරත වී සිටියි. සයිප්‍රස් සිට මෙරටට පැමිණි ඔහු කලක් DMS ඉංජිනියරින් සමාගමේ සේවය කර තිබුණි. එකී සේවා සහතිකයට අමතරව NVQ – Level 4 සහතිකය ද ඔහු ලබාගෙන සූදානම් වී තිබුණේ වර්තමානයේ පිටරට රැකියාවකට යෑමේදී සුදුසුකම් සපුරාගෙන පිටත්විය යුතු නිසාය.

සුදුසුකම් සපුරාගෙන විධිමත් ආකාරයට රට රස්සාවකට යනවා නම් බයවෙන්න දෙයක් නැහැ යන්න ප්‍රභාත්ගේ අදහසය.

අද දවසේ රට රැකියාවලට එතෙර ගොස් මහමඟ රස්තියාදු වන පිරිස ගැන නිරතුරුවම අසන්නට ලැබේ. “ඩුබායි රටට එන්න එපා, මෙහෙ රස්සා නැහැ” යනුවෙන් පළකළ පෝස්ට් පවා මුහුණුපොතේ සංසරණය වේ. ශාන්ත ගුණවර්ධන වැනි අය පිටරට
රැකියා සොයමින් ඔබමොබ යන කතා පුවත් ද නිතර වාර්තා වේ.

● ඉල්ලුම සහ සැපයුම

එහෙත් මෙරටට ලැබුණු විදේශ රැකියා ඉල්ලුමට සරිලන ආකාරයට රැකියා සැපයීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ බව පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අනාවරණය විය. 2022 වර්ෂයේ තොරතුරුවලින් පහත දක්වා ඇති සුළු කොටසකට අනුව එය පැහැදිලි කරගත හැකිය. (1 වගුව බලන්න)

මෙයින් පැහැදිලි වන්නේ විදේශීය ශ්‍රම වෙළෙඳපොළ විසින් ඉල්ලා සිටින සුදුසුකම් සපුරා ඇති ප්‍රමාණය ඉතා අවම මට්ටමක පවතින බව නොවේද? නමුත් මෙතෙක් විදෙස්ගත වූ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදී වාර්තාගත සංඛ්‍යාවක් ගොස් තිබෙන්නේ 2022 වර්ෂයේදීය. 2022 වර්ෂයේදී විදෙස්ගත වූ පිරිමි සංඛ්‍යාව 186,965කි. ගැහැනු සංඛ්‍යාව 124,091 කි. මුළු ගණන 311,056කි. එය 2023 වසරේ තවත් ඉහළ අගයක් ගතහැකි බව සිතිය හැක්කේ මෙම වසරේ මැයි දක්වා විදෙස්ගත වී ඇති සංඛ්‍යාව සලකා බැලීමෙනි. (2 වගුව බලන්න)

රැකියා සඳහා විදෙස්ගත වන පිරිසේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යනවිට මහමග අතරමං වී සිටින පිරිස ගැන ද අසන්නට ලැබේ. ඒ අතරේදී විදෙස් රැකියා වෙළෙඳ ඉල්ලුමට සරිලන සැපයුමක් කර ගැනීමට නොහැකි බවක් ද අනාවරණය වේ. මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අයිතිය (R T I) යටතේ ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසුවේ ඇත්ත වශයෙන්ම මෙහි පරස්පරයක් ඇති නිසාය.

● අවස්ථා නොලැබෙන්නේ ඇයි?

මෙහිදී අනාවරණය වූ මූලික සාධකය වන්නේ අදාළ රැකියා සඳහා ඉල්ලා සිටි සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයන් නොමැතිවීමයි. තවද විදේශීය ආයතන තමන්ගේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට සහ අනෙකුත් ශ්‍රමිකයන් ලබාදෙන රටවලට ද බෙදා දෙන බැවින් එම අවශ්‍යතාවන් ශ්‍රී ලංකාවෙන් පමණක් නොව වෙනත් රටවල්වලින් ද ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවීමත් ලංකාවෙන් ශ්‍රමිකයන් යැවීම අඩුවීම කෙරෙහි බලපාන බව සඳහන් කෙරිනි. ඊට අමතරව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් එකඟ නොවීම යන සාධකය ද ඊට හේතු වී තිබේ. තවද රැකියාවක් සඳහා බඳවාගැනීමේදී දැරීමට සිදු වන ඉහළ පිරිවැය යන කරුණු ද ඊට බලපාන බව ප්‍රකාශ කළේය.

“විදේශ රැකියා ඉල්ලුමට සරිලන ආකාරයට සැපයුම සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී තිබෙන කරුණු අතරින් ප්‍රධාන කාරණය තමයි සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයන් නොමැති වීම. විදේශීය නියෝජිතයන් ඉල්ලා සිටින වෘත්තීය පුහුණුව ඔවුන් බොහෝදෙනකුට නැහැ. ඒ වගේම තමයි වෘත්තීය පුහුණුව තියෙන සමහරුන්ට පිටරට යන්න වුවමනාව තිබුණත් සල්ලි නැති වෙන්න පුළුවන්. තවත් කොටසක් ඉන්නවා වෘත්තීය පුහුණුව වගේම සල්ලිත් තියෙනවා, හැබැයි IELTS වගේ සුදුසුකම් සම්පූර්ණ කරගෙන නැහැ. ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි හෙදියන්ටත් වෘත්තීය පුහුණුව නැද්ද, ජපානයේ හෙදියන්ගේ ඉල්ලුමට මේ තරම් අඩුවෙන් සපයන්න වුණේ ඇයි කියලා. එතනදී ගොඩක් බලපෑවේ මම මුලින් කියපු IELTS සුදුසුකම් සම්පූර්ණ නොකිරීමේ කාරණාව. තවත් සමහර වෙලාවට විදේශීය නියෝජිතයන් ඉල්ලා සිටින ගණනම ගන්නෙ නැති අවස්ථාත් තියෙනවා. අනික් කාරණය තමයි විදේශ ආයතනය එකම රැකියා ඇණවුම ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් වලටත් ලබාදීම. එවිට ඒ රටවල් වලිනුත් ශ්‍රමිකයන් ගන්න පුළුවන්” යනුවෙන් තවදුරටත් තහවුරු කළේ ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරි (පුහුණු) සහ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා ය.

දැන ගියොත් පිටරට නොදැන ගියොත් පාරට!

IELTS ( International English Language testing System) යනු ඉංග්‍රීසී භාෂාව පිළිබඳව ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයකි. එය යුරෝපීය රටවල්වලටත් ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල්වලට යෑමට අත්‍යවශ්‍ය සහතිකයක්. නමුදු මැද පෙරදිග රටවල රැකියා සඳහා එය අදාළ නොවේ. එසේ නම් මැදපෙරදිග රටවල ශ්‍රමික ඉල්ලුම සැපයීමට අපොහොසත් වූයේ ඇයි? ඊට බලපානු ලැබූ එකම කාරණාව වෘත්තීය පුහුණුව අඩුවීම ද?

2023 වර්ෂයේදී ද විදේශ රැකියා ඉල්ලුමට වඩා අඩු ප්‍රමාණයකින් රැකියා සැපයුම සිදුවූ අවස්ථා පහත දැක්වෙන සටහනින් පැහැදිලි කර ගත හැකිය.

(3 වගුව බලන්න)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළැඹී සිටින්නේ පුහුණු ශ්‍රමිකයන් බිහිකර විදෙස් රැකියා වෙළෙඳපොළේ ඇති රැකියා ඉල්ලුමට ප්‍රමාණවත් පරිදි රැකියා සැපයීමේ ප්‍රධාන අරමුණෙනි.

පුහුණුවට එන්නේ 20% යි

“විදෙස්ගත වන ශ්‍රමිකයන් පුහුණු කිරීමේ පාඨමාලා 24ක් අපි ආරම්භ කර තිබෙනවා. අපි මෙම පාඨමාලා පවත්වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන. මෙම පාඨමාලා ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙනවා. කෙටිකාලීන පාඨමාලා, ඌන පූර්ණ පාඨමාලා, දැනුම යාවත්කාලීන කිරීමේ පාඨමාලා වශයෙන් මෙම කාණ්ඩ 3 දැක්විය හැකියි. අපි හිතමු දීර්ඝ කාලයක් මේසන් වැඩ කරන කෙනෙක් ඉන්නවා, ඒත් එයාට සුදුසුකම් තහවුරු කරන්න සහතිකයක් නැහැ කියලා. ඒ අයට ඌන පූර්ණ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. තවත් පිරිසක් සිටිනවා රට ගිහින් ඇවිත් කාලයක් වෙනවා. ඒ අයට ආපහු යන්න ඒ අයගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට අවශ්‍යයි. ඒ අයට තමයි දැනුම යාවත්කාලීන කිරීමේ පාඨමාලාව පවත්වන්නේ. තවත් අය ඉන්නවා කෙටි කාලයක් වැඩ කරලා මූලික දැනුම තිබෙනවා. ඒත් රට රැකියාවකට ප්‍රමාණවත් නැහැ. එයාලාට කෙටිකාලීන පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙම පාඨමාලා පැය 100 – 500 දක්වා සකස් කර තිබෙනවා. මේ සඳහා අපි බඳවාගන්නේ මූලික දැනුමක් තියෙන අය විතරයි. මුල සිට ඉගැන්වීමක් වෙන්නේ නැහැ. මුල සිට ඉගෙන ගන්න අපේ පූර්ණකාලීන පාඨමාලාවලට බැඳෙන්න ඕනෑ. විදෙස්ගත වන අයට පැවැත්වෙන පාඨමාලා අපි ලංකාවේ මධ්‍යස්ථාන 107 ක පවත්වනවා. සවස් වරුවේ සහ සති අන්තයේ තමයි පැවැත් වෙන්නේ. මෙම පාඨමාලා අවසානයේදී NVQ ඛැඩැක – 3 සහතිකයක් පිරිනමනවා. ලෙවල් 4 දෙන්න නම් පාඨමාලාව මාස 6ක් හැදෑරීම අවශ්‍යයි. 5500කට උගන්වන්න පහසුකම් තියෙනවා. ඒත් තවම ඉන්නේ 1100යි. ගොඩක් දෙනා ඉල්ලුම් කරන්නේ හෝටල් ක්ෂේත්‍රය සහ සත්කාරක සේවා පාඨමාලාවලට තමයි” යනුවෙන් විස්තර කළේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශක සහ ප්‍රවර්ධන අධ්‍යක්ෂ ඊ.ඒ.ඩී. සේනාරත්නය.

මෙපමණ සාර්ථක වැඩපිළිවෙළක් අපට තිබියදී විදේශීය රැකියාවලට ගොස් අතරමං වී දුක් විඳින්නේ ඇයි? රැකියා වෙළෙඳපොළ ජයගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයි? අප සුදුසුකම් සපුරා නොමැති නිසාද? නැතහොත් ශාන්ත හරිශ්චන්ද්‍ර ගුණවර්ධන මෙන් වැරදි පාරේ යෑමට උත්සාහ කරන නිසාද? එසේ නැතිනම් විදේශීය රැකියා නියෝජිත ආයතන සුදුසුකම් සපුරා නොමැති අය යවන නිසාද? මෙම තොරතුරු ලබාගැනීම සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන රාශියකට කතා කළ ද ඔවුන් පිළිතුරුදීම මගහැරිය බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

එක් නියෝජිතයකු පමණක් ඊට පිළිතුරු දීමට ඉදිරිපත් විය.

● හරියටම කරන්නේ මෙහෙමයි

දැන ගියොත් පිටරට නොදැන ගියොත් පාරට!

“පිටරට රස්සාවලට යවනකොට මම නම් විදේශීය නියෝජිතයාගෙන් රැකියා විස්තරය පැහැදිලිව ඉල්ලා ගන්නවා. අපි හිතමු මේසන්වරුන් ඉල්ලලා තියෙනවා කියලා. ඒ රටේ ඉල්ලන්නේ ටයිල් බාස් ද, ගල් බඳින බාස් ද, කපරාදු වැඩකටද කියලා විස්තර ගන්නවා. ඉලෙක්ටී්‍රෂියන් කිව්වාම වයරින් වැඩක්ද, ෆැක්ටරියක වැඩද මොනවාද කරන්න තියෙන්නේ කියලා සම්පූර්ණ විස්තරයක් ගන්නවා. තෝරා ගැනීමේ දී NVQ සහතිකය බලනවා.

ගෘහ සේවිකාවන් යැවීමේදී මැදපෙරදිග සේවා පළපුරුද්දට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් නුපුහුණු අය රජයේ පුහුණු ආයතනවලට යොමු කර පුහුණු සහතිකය ගැනීමට උදව් කරන බවත් ඔහු පැවසීය.

කෙසේ නමුදු මෙයින් පැහැදිලි වන්නේ ගෘහ සේවිකා ඇතුළු සෙසු වෘත්තීන් සඳහා පුහුණු සහතිකය අත්‍යවශ්‍ය බවයි. එය ඉතා හොඳ ප්‍රවණතාවකි. ගෘහ සේවිකාවන්ට එකී රටේ භාෂා දැනුම, සංස්කෘතික අවබෝධය සමග නවීන උපකරණ භාවිතය ගැන දැනුමක් තිබේ නම් බොහෝ කරදරවලින් බේරී නිදහසේ රැකියාව කරගෙන අතමිට සරුකර ගත හැකිය. බොහෝ කතුන් විවිධ අඩන්තේට්ටම් හා වධහිංසාවලට ලක් වන්නේ භාෂාව සහ සංස්කෘතිය පිළිබඳව අනවබෝධය සහ මුළුතැන්ගෙයි නවීන උපකරණ සමග වැඩ කිරීමට නොදන්නා නිසාය. ඉදිකිරීමේ ක්ෂේත්‍ර, හෝටල් ක්ෂේත්‍ර, සත්කාරක සේවා හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක වෘත්තියක් සඳහා විධිමත් පුහුණුවක් ලබා තිබේ නම් බොහෝදෙනකුට මහමඟ අතරමං විය යුතු නැත.

එහෙත් වෘත්තීය පුහුණුව පිළිබඳව අපේ අය සිතන බවක් නම් පෙනෙන්නට නැත. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 5500කට ඉඩ ප්‍රස්ථා තිබියදී 1100ක් පමණක් පුහුණුව ලබන්නේ එම නිසාය. ලංකා කාර්මික විද්‍යාල හිස්ව වෙද්දී පාසලෙන් සමුගන්නා තරුණයන් දිනෙන් දින ත්‍රිවීලර් රථගාල්වලට එක්රොක් වන්නේ එම නිසාය.

හර්ෂා සුගතදාස

advertistmentadvertistment
advertistmentadvertistment