දියඇලිවලින් වට වූ රමණීය රම්බොඩ සංචාරක පුරවරය

301

රාම සීතා පුරාවෘත්තය වූ කලී අවුරුදු දහස් ගණනක අතීතයක් දක්වා දිවෙන ප්‍රේම වෘත්තාන්තයකි. වාල්මිකී විසින් රචනා කොට ඇති රාමායනය නම් පුරාණ ග්‍රන්ථයක එන මෙම පෙම් පුවත ආශ්‍රයෙන් නිර්මාණය වූ කලා කෘති බොහොමයක් මෙම කතාවට පාදක වූ ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන දෙරටේම නිර්මාණකරුවන් අතින් බිහිව තිබේ. මණික් සන්ද්‍රසාගරගේ සීතාදේවි, මනිරත්නම්ගේ රාවන් හා ඉතා මෑතකදී හෙවත් 2022 ඔක්තෝබර් 25 දින ප්‍රදර්ශනය ආරම්භ කළ අභිෂේක් ෂර්මාගේ රාම් සේතු (රාවණාගේ පාලම) දක්වා නව අර්ථකතන ලෙස නිපදවා ඇති අපමණක් චිත්‍රපටවලට පාදක වූයේ වාල්මිකීගේ රාමායනය ය. ශ්‍රී ලාංකික බොහෝ වියතුන් රාමා සීතා පුවත හුදු ප්‍රබන්ධයක් පමණකැයි බැහැර කළ ද ඉන්දීය ජනයා රාම කුමරු ආගමක් තරමටම අදහන බව දීපවාලි උත්සවයේදී රාම හා සීතා උත්කර්ෂයට නැංවීමෙන් හා රාවණාගේ රුවක් සාදා ඊට ගිනි තබන නර්තනාංගයක් පුරාණයේ සිට මේ දක්වාම පැවත ඒමෙන් පැහැදිලි වෙයි. මෙකී රාම සීතා පුවත සත්‍ය පුරාවෘත්තයක් බව බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේද අදහස වන අතර ඒ හා සබැඳි කතා හා ස්ථාන බොහොමයක් මේ දක්වාම පැවත එයි.

මේ මධ්‍යම කඳුකරයේ ශීත දේශගුණයක් ඇති රම්බොඩය. රාවණා පැරදවීම පිණිස රාමට උදව් කළ හනුමාන් දෙවියා හා බැඳුණු බොහෝ ඓතිහාසික ස්ථාන මේ රමණීය පරිසරය හා බැඳී ඇත. ඉන් ප්‍රධාන තැනක් වන්නේ රම්බොඩ හනුමාන් කෝවිලයි. මහනුවර නුවරඑළිය ඒ 5 මාර්ගයේ නුවරඑළියට කි.මී. 24 කට පමණ කළින් ප්‍රධාන මාර්ගයෙන් මීටර් 150 ක් පමණ නුදුරින් රමණීය කඳු ගැටයක් මත මෙම හනුමාන් කෝවිල පිහිටා ඇත. එම ස්ථානය හින්දු ජනයා සලකන්නේ රාවණා විසින් සීතා පැහැරගෙන සඟවා තැබූ ස්ථානය සොයා ගැනීම සඳහා ඉන්දියාවේ සිට මෙහි පැමිණි හනුමාන් මුලින්ම පය තැබූ බිම ලෙසය. රාවණාට එරෙහිව යුද වැදීම පිණිස කොත්මලේ ප්‍රදේශයේ සේනා සංවිධානය කළේ මෙම ස්ථානයේ සිට බව විශ්වාස කෙරේ.

එකී ඓතිහාසික සිද්ධිය අනුස්මරණය පිණිස චින්මායා ව්‍යාපෘතිය අනුග්‍රහයෙන් ගුරුජී ස්වාමි තේජෝ මායානන්දගේ මගපෙන්වීමෙන් දැන් මෙහි ඉදිකළ හින්දූන්ගේ පූජනීය ස්ථානය වන්නේ “ශ්‍රී භක්ත හනුමාන් ආශ්‍රමය” ලෙස නම් කළ හනුමාන් කෝවිලයි. මේ මනරම් ඉදිකිරීම වූ කලී මෑත කාලීන ඉදිකිරීමකි. මෙහි ප්‍රතිස්ථාපනය කොට ඇති කළු ගලෙන් නෙළන ලද අඩි 16 ක් උසැති හනුමාන් පිළිමය රැගෙන එන ලද්දේ කළුගල් කැටයම් පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දකුණු ඉන්දියාවේ මහබලිපුරම් ප්‍රදේශයෙනි. විවිධ තද පැහැයෙන් යුතු සිල්ක් රෙද්දෙන් හා නානාවිධ පුෂ්පයන්ගෙන් මෙම හනුමාන් පිළිරුව විසිතුරු ලෙස සරසා තිබේ. ප්‍රදේශයේ ජනයාගේ නොමද ගෞරවයට හා භක්තියට පාත්‍ර වූ මෙම කෝවිලට ඉතා උස් වූ පියගැටපෙළක් තරණය කොට පිවිසිය යුත්තේය. වඩා ආකර්ෂණීය වන්නේ එබිමේ සිට දැකිය හැකි අලංකෘත පරිසරයයි. කෝවිලට පිටුපා බලන විට ඈතින් පෙනෙන කොත්මලේ ජලාශය ද ඒ හා වට වූ මීදුමෙන් පිරි කඳුපෙළේ දසුනද කෙනෙකු මෝහනයට පත් කරන චමත්කාරය. ශ්‍රී භක්ත හනුමාන් ආශ්‍රමය දැක ගැනීමෙන් පසු අපගේ ඊළඟ පියවර වූයේ රම්බොඩ ආශ්‍රිත සුන්දර දියඇලි පාරාදීසය සොයා යාමය.

මහනුවර දෙසින් පැමිණෙන ඔබට මේ ගමනේදී මුණගැසෙන පළමු දර්ශනීය දිය ඇල්ලක් වනුයේ ගැරඬි ඇල්ලය. නුවර සිට නුවරඑළිය දක්වා වූ ප්‍රධාන මාර්ගයේ තවලම්තැන්නට නුදුරෙන් එය සෝබමානව ගලා හැලේ. එය නැරඹීමෙන් පසු අපගේ සුවිශේෂී ඉලක්කය වූ රම්බොඩ පුරවර මනාලියගේ වේලය බඳු මීටර 109 ක් උසින් ගලා හැලෙන රම්බොඩ ඇල්ලේ මනස්කාන්ත දර්ශනය සජීවීව දැකගත්තෙමු. සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට හේතු වී ඇති රම්බොඩ ඇල්ල සුවිශේෂී වන්නේ එය ශ්‍රී ලංකාවේ දිය ඇලි අතර උසෙන් 11 වන ස්ථානයේ සිටින බැවිනි. එය ලෝකයේම දිය ඇලි දහස් ගණනක් අතරේ 729 වන ස්ථානය හිමි කරගෙන සිටියි. කිරිඳි ඔයෙන් බිඳී එන පන්නා ඔයේ ජල ප්‍රවාහය මුහුදු මට්ටමේ සිට මීටර 945 ක් උසක සිට රම්බොඩ ඇල්ල නමින් අයස්කාන්ත දිය ඇල්ලක් මවා කොත්මලේ ජලාශයෙන් සිය ගමන නිමා කරනුයේ නිමක් නොමැති සංචාරක ආකර්ෂණයක් මවමිනි.

අපගේ සංචාරයේ නවාතැන වූයේ රම්බොඩෆෝල්ස් හෝටලයයි. නුවර සිට කි.මී. 27 ක් දුරින් හා නුවරඑළියට කි.මී. 17 ක් මෑතින් අපූර්ව රම්බොඩ උමග කෙළවර දකුණු පැත්තෙන් පහළට මීටර දෙසියයක පමණ ගමනාන්තයකින් පිහිටා ඇති රම්බොඩෆෝල්ස් හෝටලයෙහි විශේෂත්වය වන්නේ එය ස්වාභාවික දිය ඇලි සතරකින් වටව පිහිටා තිබීමයි. රම්බොඩ උමගෙහි අත්දැකීම ආපසු ගමනට තබා අප පිවිසියේ උමං විවරය සමීපයේම ඊට දකුණු පසින් වූ පැරණි නුවරඑළිය මාර්ගයටය. අතහැර දමා ඇති බැවින් වළ ගොඩැලි ගහණ වූ එම පටු මාර්ගය ආරම්භයේදීම පාරට නෙරා ඇති දැවැන්ත ගල්කුළක් යටින් ගමන් ගනී. එකී ගල්කුළ නිරතුරු දියසීරාවෙන් යුතු හෙයින් පලින් පල පාරට වෑස්සෙනා දිය පහරවල් යටින් පයින් ගමන් කිරීම අපට ගෙන ආවේ ආහ්ලාදජනක අත්දැකීමකි. දකුණු අත පැත්තෙන් පහළින් පෙනෙනා ප්‍රපාතයෙහි, ගැරඬි ඇල්ලෙන් ඇරඹී කාලාන්තරයක් තිස්සේ දිය හා ගැටීම නිසාවෙන් සුමට ලෙස ඔපමට්ටම් වූ කළුගල් අතරින් ගලනා ගැරඬි ඔයෙහි සුන්දර දර්ශනය නරඹමින් මීටර දෙසීයක් පමණ වූ නුවරඑළිය පැරණි මාර්ගයේ ගමන් කළ අපි එය ප්‍රධාන පාරට එක්වන තැන පිහිටි රම්බොඩෆෝල්ස් හෝටලයේ විවෘත රථගාලට පිවිසුණෙමු.

දියඇලිවලින් වට වූ රමණීය රම්බොඩ සංචාරක පුරවරය
විරාජ් රසාංග (සාමාන්‍යාධිකාරී රම්බොඩ ෆෝල්ස්)

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදයෙන් බිමටම සමතලා වී තිබූ සංචාරක කර්මාන්තය යළි පිබිදෙමින් පවත්නා බැව් අපට පසක් වූයේ සතියේ දිනක වුවද හෝටලයේ කාමර සියල්ලක්ම පාහේ සංචාරකයන්ගෙන් පිරී තිබීම නිසාය. ඉන් සියයට අසූවක්ම පාහේ විදේශීය සංචාරකයන් වීම විශේෂත්වයකි. හෝටලය අසලින්ම ගලා හැලෙන රම්බොඩ ඇල්ලට අමතරව තවත් දිය ඇලි තුනක් දර්ශන මානයේ ගලා හැලෙයි. ඉන් එක් විශේෂත්වයක් වනුයේ දෙඅන්තයක සිට ගලනා පූනා ඔයෙන් සහ වෙදමුණ සෑදෙන මනහර දිය ඇලි දෙකක් එකිනෙකට ඉතා ළඟින් ඇද හැලෙනා මනබන්දනීය දර්ශනයයි. තවද දේවතුර ඇල්ලෙන් නිර්මාණය වූ දිය දහර ගලා බසිනුයේ හෝටලය මායිමෙනි. විවිධ ආකාරයේ ලොකු කුඩා කළුගල් රාශියක් අතරින් ලතාවකට ගලා බස්නා එම දියදහර රම්බොඩ ෆෝල්ස් හෝටලය අසලින් මනරම් ස්වාභාවික ජල තටාකයක් සාදමින් පහළට ගලා බසී. මේ ස්වභාවික සම්පත හෝටලයට මහඟු දායාදයක්ව ඇත්තේ කාමරයේ ජල මලෙන් ස්නානය කරනවාට වඩා මේ ස්වභාවික තටාකයේ ජල ක්‍රීඩා කරමින් පිහිනමින් ස්නානය කිරීමට විදෙස් සංචාරකයින් වඩාත් ප්‍රියතාවයක් දක්වන හෙයිනි. සංචාරක හෝටලයකට කලාතුරකින් ලැබෙනා මේ මහඟු දායාදය ලැබීමට රම්බොඩ ෆෝල්ස් හෝටලය වාසනාවන්ත වී තිබේ. මෙහි නවාතැන් ගන්නා සංචාරකයන් ලබාගන්නා තවත් නවමු අත්දැකීමක් වන්නේ අසල පිහිටියා වූ පුරාණ පාරම්පරික ගම්මානය නැරඹීම පිණිස සංවිධානය කරනා සංචාරයයි. මේ සංචාරයට එක්ව කෘතිම ගම්මානයක් නොවන සැබෑ ගැමියන් ජීවත්වෙන මේ හුදකලා ගම්මානයට පිවිසෙන ඔබට පාරම්පරික සත්ව පාලනය, කුඹුරු හා කොරටු ගොවිතැන, කිතුල් මල් මැදීමේ හා කිතුල් තෙලිජ්ජෙන් හකුරු සෑදීමේ පාරම්පරික ක්‍රම ඇතුළු අපේ සම්ප්‍රදායික සරල අල්පේච්ඡ සැබෑ ගැමි දිවි පෙවෙත පිළිබඳව අපූරු අත්දැකීමක් ලබාගත හැකිවේ. එදින සන්ධ්‍යාවේ අපේ ගමන නිමා වූයේ මෙවන් නවමු අද්දැකීම් මතිනි. ඉර බැස යන හෝරාවේ එකම ස්ථානයක සිට සේද වර්ණ ගත් දිය ඇලි සතරක දර්ශනය විඳිමින් ගෙවූ හෝරා කිහිපය නම් ජීවිතයේ අමතක නොවන මතකයකි. ඔබත් ඒ අත්දැකීම ලබන්නට කැමති නම් රම්බොඩට එන්න.

තිස්ස ගුණතිලක
සංචාරක සගයන් –
නිමල් ෆ්‍රැන්සිස් සහ ජයනාත් බෝදාහන්දි

advertistmentadvertistment
advertistmentadvertistment