දූෂිතයන් ආරක්ෂා කරමින් රටක් ගොඩනඟන්න බැහැ – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

107

ආර්ථිකයට නව පණක් ලබාදෙමින් ජනතාව ජීවත් කරවන අයවැයක් – රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය
අයිඑම්එෆ් සතුටු කිරීමේ ක්‍රියාවලියක් තමයි දැන් සිදුවන්නේ – විජිත හේරත් (ජාජබ)
බණ්ඩාරනායකවරු නොවෙයි ජනාධිපතිගේ මාමා තමයි ජනප්‍රිය තීන්දු ගත්තේ – දයාසිරි ජයසේකර (පො.පෙ.)
දූෂිතයන් ලබාගත් මුදල් ගැන හෝ ඒවා ලබා ගැනීම ගැන වචනයක් නැහැ – හර්ෂණ රාජකරුණා (සජබ)

ජනාධිපති විසින් ලබන වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ජනතාව ජීවත් කරවන, ආර්ථිකයට නව පණක් ලබා දෙන, ස්ථාවර රටක් නිර්මාණය කිරීම උදෙසා ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමේන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, කාරක සභා වාර්තා, මහජන පෙත්සම්, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2023) සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදයේ පළමු දින විවාදය ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ)-

ජනාධිපතිතුමා ඊයේ ඉදිරිපත් කළ අයවැය මගින් කියනවා ආර්ථිකය පදනම ගොඩ නගමු කියලා. ඔහු සමාජ වෙළෙඳපොළ ගැන කතා කළා. විවෘත ආර්ථිකය ඇතුළු විශාල කාරණා ගණනාවක් ගැන කතා කලා. නමුත් සමාජ ආරක්ෂණය ගැන ඔහු මොනවාද කළේ. ඔහු වචනයට පමණක් සමාජ ආරක්ෂණය සීමා කළා. ඔහු යුක්තිය, සාධාරණය ගැන කතා කළේ නෑ. හැබැයි අපි කියනවා සමාජ සාධාරණත්වය ඇති රටක් බිහි කිරීම සිහිනයක් නොවෙයි කියලා අපි මෙතන භය නැතිව කියනවා. අපේ තරුණ ප්‍රජාවගේ සිහින අපි දකිනවා. ඒ අයගේ සිහින විනාශ කරපු අයට දඬුවම් දෙන්න කියලා තරුණයින් කිව්වා. ජනාධිපති ලීක්වාන් යූ ගැන කතා කළා. ඔහු දූෂණයට තිත තියලා තමයි රටේ සංවර්ධනය ගැන පියවර ගත්තේ. අපි වගේ ප්‍රශ්නයේ වලිගයෙන් අල්ල ගත්තේ නෑ. රටේ මිනිස්සු අපෙන් නොවෙයි ජනාධිපත්තුමාගෙන් තමයි පරෙස්සම් විය යුත්තේ. දූෂිතයන් ආරක්ෂා කරමින් රටක් ගොඩ නගන්න බෑ. ජීවත් වෙන්න බැරිව අරගලයට යොමු වෙලා පාරට බහින ජනතාව මර්ධනය කරන්න තමයි මේ අයවැයෙන් අවධානය යොමු කරලා තිබෙන්නේ. පොලිසියට, හමුදාවට, විශේෂ කාර්ය බලකායට මුදල් වෙන් කිරීම වැඩි කරලා. ජනතාවට ආදර්ශයක් දෙන්න තිබුනා තමන්ගේ මුදල් කප්පාදු කරලා. නමුත් එහෙම කළේ නෑ. ඉදිරියේදී තවත් ඇමැතිවරු දිවුරුම් දෙන්නත් යනවාලු. මෑත කාලයේ දරිද්‍රතාවයට වැටුනු ජනතාවට මොනද වෙන්නේ. ඒ අයට ලබා දෙන උදව් උපකාර වැඩි කළාද අඩු කළාද කියලා අපි අහනවා. හිටපු ජනාධිපති කිව්වා එයා තමයි හොඳටම කරලා තියෙන්නේ කියලා. ඒක නම් ඇත්ත තමයි. දැන් බලන්න දැන් අපේ රටේ දරිද්‍රතාවය තුන් ගුණයකින් වැඩි වෙලා. එහු තමයි ලෝක ඉතිහාසයේ වැඩිම දරිද්‍රතාවය ඇති කරලා තිබෙන්නේ. ඒ වගේම සමාජ සුභසාධනය ණය වෙනුවෙන් වෙන් කරපු මුදල ප්‍රමාණවත්ද? ඒ මුදල රුපියල් බිලියන 40කින් විතර අඩු කරලා. තවමත් උද්ධමනය වැඩි වෙනවා. නමුත් වැඩි වන වේගය යන්තම් අඩු වෙලා තිබෙනවා. දැන් රටේ ජනතාව හිඟමනට වැටිලා. මේ අයවැයෙන් කරලා තිබෙන්නේ බොරුවක්, විජ්ජාවක්. නමුත් මේ අයවැයෙන් යම් සහන ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. ඒ සඳහා වැඩියෙන්ම සටන් කළේ අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි කියලා මම කියනවා.

දැන් බලන්න පාරවල් හදන්න මුදල් යොදවලා තිබෙනවා. පාරවල්වලින් සිදු කරන ගැහැලි ගැන අපි දන්නවා. පාරට වැටිච්චි ජනතාව නැගිට්ටනවා වෙනුවට මහ පාරවල් හදන්න මුදල් මේ අයවැයෙන් වෙන් කර තිබෙනවා. බලන්න බදු වැඩි කිරීම කරලා තිබෙන හැටි. විශාල බදු ආදායමක් රජය බලාපොරොත්තු වෙනවා. ඒක සාධාරණද? සමාජ සාධාරණයක් එක්ක බදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. දැන් බලන්න බදු රේඛාව පිදුරුතලාගල කන්ද වගේ ඉහළට ගිහින්. අපේ බදු රේඛාව අසල්වැසි රටවල් සමග සන්සන්දනය කලත් කිසිම සාධාරණත්වයක් නෑ. බදු හොරු අල්ලන්නේ නෑ. මොකක්ද ජනාධිපති මේ රටේ කෘෂිකර්මය ගැනත් වචන දෙක තුනයි කතා කළේ. ඒ වෙනුවට ත්‍රෛලෝක විජයපත්‍ර ගැන නම් කතා කළා. දේශීය ණය ගැන ජනාධිපති වචනයක් වත් කතා කළේ නෑ. ඒකට මොකද කරන්නේ. ප්‍රතිව්‍යුහගත කරනවාද? කපුටා ගේ කූඩුවේ බිත්තර දාපු රනිල් වික්‍රමසිංහ නමැති කොහාට නිවැරදි ප්‍රතිත්තියක් ක්‍රියාත්මක කර ගන්න බැරි වෙයි. මොකද සමහරු හිතාගෙන ඉන්නේ බලය අරගෙන තමන් කොහොමහරි ගොඩ යන්නයි. නැතුව රට ගොඩ දාන්න නොවෙයි. මේ පාර්ලිමේන්තුව විසුරවන්න. ජනාධිපති ඡන්දයක් නොවෙයි. ඔබතුමා ඉන්න. අපි ව්‍යවස්ථාව පිළිගන්නවා. ඒ වෙනුවට අලුත් පාර්ලිමේන්ුවක් පත් කර ගමු. අපට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ජනාධිපතිතුමාටත් ලේසියි. අපට නව ජනවරමක් අවශයයි.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා –

ආචාර්ය හර්ෂ ද සිල්වා ඉතාම කෙටියෙන් තමයි ආර්ථික විද්‍යාව ගැන කතා කළේ. ඒ වෙනුවට දේශපාලන කරුණු තමයි කතා කළේ. ඒ ගැන මම කණගාටු වෙනවා. පසුගිය අයවැය ඉදිරිපක් කරන විට තිබුනු ආණ්ඩුව නොවෙයි දැන් තිබෙන්නේ. ජනාධිපති ඉල්ලා අස්වුනා. අගමැති අස්වනවාත් එක්කම ඇමැති මණ්ඩලයත් ගියා. අයවැය ඉදිරිපත් කරපු මුදල් ඇමැතිත් අද නෑ. මේ පාර්ලිමේන්තුවත් අල්ලගන්න හැදුවේ. එහෙම නම් මොකද වෙන්නේ. නමුත් මේ පාර්ලිමේන්තුවේ හිටියා ධෛර්යමත් මන්ත්‍රීවරයෙක්. ඔහු තනියම හිටියේ. ඔහු වගකීම භාර ගත්තා. ඒ නිසායි අද අපි බොහොම ජයග්‍රාහී ප්‍රජාතන්ත්‍රවාදී ස්ථානයක සිට මේ අයවැය ගැන කතා කරන්නේ. අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ විශාල අභියෝගයක් මැදයි. 71 වසරේදීත් මේ වගේ තත්ත්වයක් තිබුනා. ඒ වෙලාවේ අයවැය ඉදිරිපත් කරමින් ඇන්.එම්. පෙරේරා කිව්වේ ආරක්ෂාව ගැන තමයි වැඩියෙන් බලන්න වෙන්නේ කියලා. මේ විදිහට අවස්ථා කිහිපයකදී අසීරු අයවැය ඉදිරිපත් කරන්න වුණා. නමුත් ඒ අභියෝගයන්ගෙන් සියයට සියයක්ම වැඩි තත්ත්වයක සිටයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. මේ අයවැය සකස් කිරීමේදී දැවැන්ත අභියෝගයකට මුදල් ඇමැතිවරයාට මුහුණ දෙන්න වෙලා. මේ වසර හැත්තෑ හතේදීම මේ අයවැය තමයි වඩාත්ම අභියෝගාත්මක අයවැය. සමස්ත රටේ ජනතාවගෙන් සියයට 60ක් ආධාර ඉල්ලනවා. අපි ලබන අප්‍රේල් වන විට ඒ සුදුස්සන් තෝරලා ආධාර දෙනවා. මෙන්න මේකයි ජනාධිපතිතුමා භාර ගත්තු අභියෝගය. අපි වෙනත් සහනාධාර සඳහා බිලියන 852ක් ලබා දෙනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපනයට වියදම් කරන මුදල් නැතුව. සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට 10.8ක් සහනාධාර සඳහා වියදම් කරනවා. අපි සහනාධාර වලින් එහාට ගිහින් රටක් ලෙස නැගිටින්නේ කොහොදම කියන කාරණාවලට අපි මේ අයවැයෙන් ගිහින් තිබෙනවා. අපට තිබෙන ප්‍රදාන ප්‍රශ්නයක් තමයි ආයෝජනයට හිතකර තත්ත්වයක් නොමැතිවීම. ආයෝජකයෙක් ආවහම ආපසු හැරිලා යනවා. පුරවන්න තිබෙන අයදුම්පත්‍ර දැක්කහම. මේවා අපි වෙනස් කරන්න ඕනා.

(කෝකිලා ගුණවර්ධන මහත්මිය මූලාසනයට පැමිණේ)

රංජිත් සියඹලා පිටිය මහතා-

මොකද යෝජනාවක් තිබෙනවා හැම පුද්ගලයෙකුටම බදු ගොනුවක් විවෘත කරන්න. මේ අයවැය පුස් අයවැයක් කිව්වත් මේ අයවැය ජනතාව ජීවත් කරවමින්, ආර්ථිකයට නව පණක් ලබා දෙමින් ස්ථාවර රටක් නිර්මාණය කරන්න තමයි මේ අයවැය ඊයේ පාන්දර වෙනකම් මහන්සි වෙලා හදලා තිබෙන්නේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ)-

අයවැය ලේඛනයේ තියෙන්නේ තවත් ණය හා බදු බර වැඩි කිරීමක්. මේක එජාප අයවැයක්. පොහොට්ටුවේ මන්ත්‍රීවරු හිරිකිතයක් නැතිව සහාය දෙනවා. පොදුජන පෙරමුණ එදා බලය ගන්න විට දුන් පොරොන්දුවලට පටහැනි අයවැයක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියපු දේ තමයි මේ ඉටු කරන්නේ.

බදු සහන අඩු කිරීම බදු ආදායම වැඩි කිරීම, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න බලශක්තිය පිරිවැය මත ක්‍රියා කිරීම රුපියල පා කිරීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසියි. ඒවා ඉටු කර තියෙනවා.

පනවන බදු සාධාරණ හා සරල විය යුතුයි. ආණ්ඩුව ව්‍යාපාරික හිතවතුන්ට බදු සහන දුන්නා. රුපියල් බිලියන 600 ක් පාඩු වුණා. එය පියවා ගන්න කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට හා සාමාන්‍ය ජනයා මත බදු පැනවූවා.

අයි. එම්. එෆ්. එක සතුටු කිරීමේ ක්‍රියාවලියක් දැන් සිදුවන්නේ. ආර්ථිකය වේගයෙන් හැකිලෙනවා. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන හරියනවා. මෙහෙම ආර්ථිකය ගොඩ ගන්නෙ කොහොමාද? ලබන වසරේ ආදායම රුපියල් බිලියන 3500 යි. වියදම බිලියන 8000 යි. අලුතෙන් බිලියන 4500 ක ණය ගත යුතුයි. දැනටමත් එක මිනිහෙක් රුපියල් ලක්ෂ 13 ක් ණයයි. ඉදිරියේදී එය තව වැඩි වෙනවා.

වෘත්තිකයෝ අද රට හැර යනවා යුරෝපයට. ඔවුන්ව ගන්න රටවල් බලා ඉන්නවා. වෛද්‍ය පමණක් 343 ක් පසුගිය මාස කිහිපයේ රට හැර ගිහින්. ඒවායින් වන පාඩුව කවුරුවත් කතා කරන්නේ නෑ.

සුරාබදු අංශයෙන් වැඩිම බදු ගෙවා නැත්තෙ මුදල් ඇමැතිගේ යාළුවා. අර්ජුන ඇලෝසියස් තමයි වැඩිම බදු ගෙවා නැත්තේ ආපු ගමන් ඔවුන්ට බලපත්‍ර දුන්නා. ඒත් තවම පරණ ගෙවිය යුතු බදු ගෙවා නැහැ.

අසීමිත ලෙස ලාභ ලබන ආයතනත් විකුණනවා. මේ වසරේ මිලියන 9400 ක් ලාභ ලබපු රක්ෂණ සංස්ථාවත් විකුණනවා. විකුණපු දේවලුත් පවරා ගන්නවා කියපු ආණ්ඩුව. දැන් ඊට පරස්පර දේ සිදුවන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී. බී. රත්නායක (ශ්‍රීලපොපෙ)

ස්වෛරි බැඳුම්කර ඩොලර් බිලියන 12 ක් ගන්නේ 2015 ආණ්ඩුවයි. එයින් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වුණා.

අද ආර්ථික පීඩාවට පත්ව ජනතාව නැංවීමට ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා. එය ඉටු කිරීමට දැඩි උත්සාහයක සිටිනවා. ආදායම මත බද්දක් පැනවූවාම ඒ ගැන වැරදි මත පතුරුවනවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් (සජබ)

අයවැයෙන් වතුකරයේ ජනතාවට කිසිම සහනයක් නැහැ. වහාම වෙනස් කරන්න. ලෝකයටම තේ යවන්නේ වතුකරයේ ජනතාව. රුපියල් දාහකින් දවසක් ජීවත් වෙන්න පුළුවන්ද? වහාම වතුකරයේ ජනතාවට සහන සලසන්න.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ

රටක් සහනාධාර මත දියුණු කරන්න බැහැ. සෑම පුරවැසියෙක්ම අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් ලැබෙන ක්‍රමවේදයකට යා යුතුයි. අපි කරන්නේ ප්‍රශ්න ඇති වනවිට තව තවත් සහනාධාර ලබාදීම පමණයි.

ජපානය යුද්ධයෙන් පස්සේ බින්දුවට වැටුණා. ඒ රට ගොඩ ආවේ දේශපාලනඥයන් නිලධාරින් හා ජනතාව එක්ව සිට වැඩ කරපු නිසයි. අපේ රටත් සියලු දෙනා කැපවුණොත් ගොඩනැංවිය හැකියි. වත්මන් ජනපතිට ආර්ථිකය ගොඩනැංවීමට දේශපාලන භේදයෙන් තොරව සහාය දිය යුතුයි.

පාඩු ලබන රාජ්‍ය ආයතන නිසි කළමනාකරණයකින් යළි ගොඩනැඟිය යුතුයි. 2023 ජනප්‍රිය අයවැයක් නොවෙයි. දේශීය ලෙස නිෂ්පාදන වැඩි කරගත යුතුයි. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගොඩනැංවිය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ)

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඇති කිරීමට රුපියල් මිලියන 200 ක් වෙන් කරලා. ඒ මුදලින් ගොඩනැඟිල්ලවත් හදන්න බැහැ. බොරු යෝජනා තියෙන්නේ.

ගංවතුර පාලනයට පාලම් හදන්න මිලියන 500 ක් වෙන් කරලා. අඩුම ගානේ පොම්පාගාරයක්වත් හදන්න බැහැ. මේ අයවැයෙන් බදු පැනවීම හැර ආදායම් ලබන්න විකල්ප ක්‍රම සකස් කර නැහැ. සංචාරක ව්‍යාපාරය ආදායම නැංවීමට කිසිවක් විකල්ප නැහැ.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න අපේ සහාය දෙනවා. මේවා අසීමිත ලෙස පාඩු ලබනවා. සීයට 3 ට බය වෙලා මේ වැඩ නවත්වන්න හොඳ නැහැ.

පාරිභෝගික කටයුතු ඇමැති නලින් බණ්ඩාර

අපේ ආදායම වැඩි කිරීමට අවශ්‍ය ආනයන, සංචාර, විදේශ ශ්‍රමික ප්‍රමාණය වැඩි කරගත යුතුයි. පසුගිය කාලයේ පැවැති භාණ්ඩ හිඟ නැති කර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදීමට අපට හැකි වුණා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන (ශ්‍රීලපොපෙ) – මේ අයවැය සම්ප්‍රදායක අයවැය වලින් ඔබ්බට ගිය එකක්. පවතින තත්ත්වය යටතේ මීට වඩා වැඩි අයවැයක් ඉදිරිපත් කරන්න බෑ.

හිටපු ජනාධිපති හොඳ වැඩ ටිකක් කරන්න පටන් ගත්තා. කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. ඔහු කළ වැරැද්ද තමයි පොහොර තහනම. එය කළේ සමහර වෛiවරු හා හාමුදුරුවරුන් කිහිපදෙනකු නිසයි. ඔවුන් ජනාධිපතිව ඇන්දුවා.

දැන්වත් හරියට පොහොර ටික දෙන්න. ග්‍රාමීය කර්මාන්ත හා කෘෂිකර්මය දියුණු විය යුතුයි. අනුන්ගෙන් යැපෙන්න ඉන්න ගණන වැඩියි. ගොවියා, වෙළෙන්දා, පාරිභෝගිකයා කාටවත් ආදායමක් නැතිව අතරමැදියා අධික ලාභ උපයනවා. මේවා නැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර –

කුලියාපිටිය ශික්‍ෂණ රෝහල ගැන ගත්ත තීරණය ගැන ජනපතිට ස්තුති කරනවා. බණ්ඩාරනායක අගමැති හෝ මැතිනිය ගෙනා ජනප්‍රිය තීරණ ගත්තේ නැහැ. රටේ නිෂ්පාදන වැඩි කළා. අයවැය අතිරික්තයක් ඇති කළා. ජනාධිපතිගේ මාමා 77 න් පස්සේ තමයි ජනප්‍රිය තීන්දු අරන් අයවැය හිඟය ඇති කළේ.

ටෙලිකොම් ලාභය බිලියන 9.3 යි. මේක විකුණන්න ආණ්ඩුව හදනවා. මෙයින් දැවැන්ත දූෂණයක් ඇති වෙනවා. මෙයට අත තියන්න එපා. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව ටැක්ස් පෙර ලාභය ලෙස රුපියල් බිලියන විසිදෙකක් ලාභ ලබලා. මීට පෙරත් 2003 දී විකුණුවා. පර්චසය 7030 ට වික්කේ. වාසුදේව නානායක්කාර නඩු කියලා ලබා ගත්තේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ) –

ආර්ථිකය ගොඩනැගීමේදී ජනතාව වගේම පාලකයන්ද කැපකිරීම් කළ යුතුයි. නමුත් අද ජනතාව කැපකිරීම් කළත් ආණ්ඩුව ඊට සූදානම් නෑ. රට ගොඩනැගීමට අපේ සහාය ලබාදෙනවා. ඒත් රටත් ආර්ථිකයත් විනාශ කරපු අයට දැඩි දඬුවම් දිය යුතුයි. ඔවුන් රැකීමට අපේ සහාය නැහැ. දූෂිතයන්ට දඬුවම් දීම හෝ ඔවුන් ළඟ ඇති මුදල් ලබාගැනීමට කිසිදු අදහසක් මේ අයවැයේ නෑ.

රටේ විනාශයට වගකිව යුතු අය හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න කිව්වත් ආණ්ඩුව ඊට සූදානම් නැහැ. විනාශ කරපු අයට දඬුවම් දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීති ගේන්නත් අපේ සහාය දෙනවා.

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අපේ සහාය ලබාදෙන නමුත් ලාභ ලබන ආයතන විකුණනවාට අපි විරුද්ධයි. ටෙලිකොම්, රක්‍ෂණ ලාභ ලබනවා.

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම –

මේ අර්බුදයෙන් ගොඩ යා හැකි හොඳම දැක්මක් ජනපතිවරයා ඉදිරිපත් කර තියෙනවා. ජනප්‍රිය තීන්දු නොවෙයි.

පත්කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි (අපේ ජාතික ) –

ජනපතිගේ අයවැය ලේඛණය මේ අර්බුදයට කිසිම ආමන්ත්‍රණයක් කර නැහැ. නිකන් හුළං බෝල වගේ. ඔහු ඉන්නේ රාජපක්‍ෂවරුන්ගේ බලයෙන්.

මේ රටේ තිබූ කර්මාන්ත සියල්ල 77 සිට 94 දක්වා කාලයේදී විනාශ කළා. අලුත් ගමනක් අවශ්‍යයි. අලුත් කර්මාන්ත අවශ්‍යයි. අපේ අස්වැන්න දෙගුණ කරන්න ක්‍රියාකළ යුතුයි.

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක –

මේ රටේ අවුරුදු 77 ක කාලයකට ඉදිරිපත් වූ අමාරුම අයවැය මෙවර ඉදිරිපත් වුණේ. පාර්ලිමේන්තුව වටකරලා තිබුණේ. රට සන්සුන් කර රට මේ තැනට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහතායි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද වජේසිරි (සජබ) –

මහ බැංකුව කඩපු හොරු අල්ලනවා කියලා ආපු ආණ්ඩුව ඒ හොරුන් එක්ක එකතුවෙලා රට පාලනය කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා එකතු වුණේ හොර කල්ලියක් එක්ක. ඔහු හොරුන්ට කවදාවත් දඬුවම් දෙන්නේ නැහැ. දෙපැත්ත බෙදිලා හොරා කාලා දැන් දෙගොල්ලොම එකතුවෙලා.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා –

මේ බදු බරත් එක්ක අපි ජනතාවට සමාවෙන්න කියන්න ඕන. ජනතාව විදින දුක බලලා බෙදී වෙන් වෙන්නේ නැතිව එකතුවෙලා ප්‍රශ්න විසදිය යුතුයි. සමහරු විවේචනය කරනවා පමණයි. පාලම්, බෝක්කු ළඟට ගිහින් විවේචනය කරනවා. කවදාවත් රට ගොඩනැගීමට එක් වෙන්නේ නෑ. මේ රට විනාශ කරන්න මොවුන් ක්‍රියාකළා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී බී. වයි. ජී. රත්නසේකර (ශ්‍රීලපොපෙ) –

මේ අයවැයේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සැලසුම් නැහැ. යහපත් ආයෝජන පරිසරයක් හදන්න මිලියන 200 ක් වෙන් කරලා මොනවා ද ගැටලු කියලා නැහැ. සාධනීය විසඳුමක් නැහැ. මෙමගින් විසඳුම් ඇති බවට ජනතාවට හීනයක් තිබුණා. එය ඉටුවන්නේ නැහැ. ඒ නිසා විසඳුම් ඇති කරමු.

පාර්ලිමේන්තුව අද 16දා පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment