දෙවැනි තරගය පහසුවෙන් ජයගෙන ඉන්දීය කාන්තාවෝ එක්දින තරගාවලියත් කලින්ම දිනති

160

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඊයේ (04 වෙනිදා) පැවති දෙවෙනි එක්දින ක්‍රිකට් තරගය කඩුලු 10 කින් ජයග්‍රහණය කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කරන ලද ආරාධනය මත පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දු වාර 50 තුළදී ලකුණු 173 කට දැවී ගියහ. එම ඉලක්කය පන්දු වාර 25යි පන්දු 4ක් තුළදී කිසිදු කඩුල්ලක් නොදැවී ඉක්මවා යෑමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනියන් වූ ශෆාලි වර්මා සහ එස්. මන්දනා අර්ධ ශතක වාර්තා කරමින් ඉන්දීය ජයග්‍රහණය සනිටුහන් කළහ.

 ඔවුන් දෙදෙනා අතරින් පළමුව අර්ධ ශතකය වාර්තා කළ එස්. මන්දනා තමන් මුහුණ දුන් 56 වෙනි පන්දුවේදී එම කඩඉමට අවතීර්ණ වූ අතර එය මන්දනා ගේ විසිතුන් වෙනි අර්ධ ශතකය විය.

 චමරි අතපත්තු විසින් ක්‍රියාත්මක කරන ලද තරගයේ විසිඑක් වන පන්දු වාරයේදී තම අර්ධ ශතකය වාර්තා කර ගැනීමට ශෆාලි වර්මා සමත් වූ අතර අනතුරුව ඔවුහු ලකුණු ලබා ගැනීමේ වේගය තව තවත් වැඩි කළහ.

 එස්. මන්දනා නොදැවී ලකුණු 94ක්ද, ශෆාලි වර්මා සිය එක් දින ජාත්‍යන්තර තරග දිවියේ ඉනිමක වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් ලකුණු 71ක් නොදැවී ලබා ගත්තාය.

 ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය වූ අංක 8 ස්ථානයේ පන්දුවට පහර දීමට පැමිණි අමා කාංචනා පන්දු 83ක් තුළදී නොදැවී ලකුණු 47ක් ලබා ගත්තාය. ඒ සඳහා හතරේ පහරවල් දෙකක් තම ඉනිමට එකතු කළ අමා අවසන් ක්‍රීඩිකාවන් සමග එකතුව ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් වූවාය.

 නිලක්ශි ද සිල්වා ලකුණු 32ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 25ක්ද මෙම තරගයේ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නායිකා චමරි අතපත්තු පන්දු 45 කදී ලකුණු 27 ක් ලබා ගැනීමට සමත් වූවාය.

 චමරි සිය සුපුරුදු ආරම්භක පිතිකරු ස්ථානයෙන් අංක තුන ස්ථානයට පිවිසියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර වරම් ලබාගත් වයසින් ළාබාලතම ක්‍රීඩිකාව බවට ඊයේ දිනයේදී වාර්තා පොත් අතරට එක්වූ විශ්මි ගුණරත්න ක්‍රීඩිකාවට අවස්ථාව ලබා දෙමිනි. විශ්මි ඊයේ තරගයේදී ලකුණු 03 කට රේණුකා සිංග් එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා ය.

 ශ්‍රී ලංකා ඉනිම විනාශ කළ රේණුකා සිංග් සිය පන්දු වාර 10 තුළදී ලකුණු 28කට කඩුලු හතරක් දවා ගත් අතර මෙග්නා සිංග් සහ දීප්ති ෂර්මා කඩුලු දෙක බැගින් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment