දේශගුණික විපර්යාස හා ශ්‍රී ලංකාවේ අවදානම

1540

ජර්මන් වොච් (German Watch) සංවිධානයේ 2020 ගෝලීය දේශගුණික අවදානම් දශකයට අනුව, දේශගුණික විපර්යාසවලට ගොදුරු වීමේ අවදානම සහිත රටවල් අතර, හයවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්විය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය ද සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් ලෙස මුහුදු මට්ටම ඉහළයෑමේ තර්ජනයටත්, අධික වැසි, ගංවතුර, නායයාම්, වියළි කාලගුණය මෙන්ම අනපේක්ෂිත ස්වාභාවික විපත් අවදානමක් ඇති රටක් බවයි. මෙකී අවදානමට මුහුණදීම සඳහා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සඳහා වන උපාය මාර්ගික වැඩසටහන මඟින් දේශගුණික බලපෑම් අවම කිරීම සඳහා වන වැඩසටහන් ගණනාවකට සහය ලබාදී ඇත. එම වැඩසටහන් වන්නේ, විපත් නිසා වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභීන්ගේ ජීවන මාර්ග සුරක්ෂිත කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, හරිත තාක්ෂණය ප්‍රවර්ධනය, තිරසර ජල සම්පත් කළමනාකරණය, තිරසර ඉඩම් කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය හා දේශගුණික විපර්යාස සඳහා අනුවර්තන ක්‍රියාමාර්ග දිරිගැන්වීම යනාදියයි.

පැරිස් ගිවිසුමට අනුව, කටයුතු කරමින් ඒ ඒ රටවල් විසින් ගෝලීය පරිසරයට එකතු කරන කාබන් ප්‍රමාණය අවම කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වේ. ඒ සඳහා කර්මාන්ත හා ව්‍යාපාර අංශය මෙන්ම පරිසර සංවිධාන හා පොදු මහජන සහාය ලබාගැනීමට ද කටයුතු කළ යුතුවේ. පොදුවේ ගත්විට සැවොම එක්ව සමාජයක් හැටියට මෙහිදී ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. ඒ සමඟම දේශගුණික විපර්යාසවලට අනුහුරුවීම ද සමාජයක් හැටියට අප අවශ්‍යයෙන්ම කළ යුතුවේ.

දේශගුණික විපර්යාසවලට අනුහුරුවීම හා ජාතික සැලැස්ම

දේශගුණික විපර්යාස සඳහා මුහුණදීම පිණිස ඊට අනුහුරුවීමේ ක්‍රියාමාර්ග ඇතුළත් ජාතික සැලැස්මක් ද සම්පාදනය කර ඇත. මෙම ජාතික සැලැස්ම තුළ; ආහාර සුරක්ෂිතතාව, ජල සම්පත්, වෙරළ හා සාගර සම්පත්, සෞඛ්‍ය, මානව ජනාවාස හා ආශ්‍රිත යටිතල පහසුකම්, පරිසර පද්ධති හා ජෛව විවිධත්වය, සංචාරක කර්මාන්තය හා විනෝදාස්වාදය, කෘෂි අපනයන, කර්මාන්ත බලශක්ති හා ප්‍රවාහනය මෙන්ම අනුහුරුවීමේ ක්‍රියාමාර්ග බලගැන්වීම සඳහා අවශ්‍ය වෙනත් අවශ්‍යතා ආදි වශයෙන් එම ප්‍රධාන විෂය ක්ෂේත්‍ර යටතේ, අනුගතවීමට අවශ්‍ය සාධනීය ක්‍රියාමාර්ග නිර්දේශ කර යෝජනා කර ඇත.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන්, ආහාර විවිධත්වය ප්‍රවර්ධනය, ජලගැල්මට නියඟයට කෘමි හා වල් උවදුරුවලට ගැළපෙන බීජ වර්ග හඳුන්වා දී ප්‍රවර්ධනය කිරීම, ජල කාර්යක්ෂමතාවය සඳහා ක්‍රමවේද ප්‍රවර්ධනය, දේශගුණික පුරෝකථනවලට අනුව වගා කටයුතු සිදුකිරීමට ක්‍රියාමාර්ග ගැනීම, ගොවීන්ට කාලගුණික තොරතුරු ඒ ඒ අවස්ථාවලට අනුව ලබාදීමට සන්නිවේදන ක්‍රමයක් ඇතිකිරීම, දේශගුණික අවදානම්වලට මුහුණදීමේ ක්‍රමවේද හඳුනාගැනීමට පර්යේෂණ සිදුකිරීම එම ජාතික සැලැස්මට අනුව, ප්‍රමුඛ වශයෙන් කළ යුතු අනුවර්තන කාර්ය හැටියට හඳුන්වා දී තිබේ.

ජල පෝෂක සංරක්ෂණයට කළමනාකරණ සැලැස්මක් සැකසීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත්, වාරි ජලය කාර්යක්ෂම භාවිතය සිදුකිරීම හා නාස්තිය අවම කිරීමත්, දේශගුණික ආපදාවලට දැඩි ලෙස මුහුණ දෙන ප්‍රදේශවල ජල කළමනාකරණය සඳහා අවශ්‍ය පුහුණුවීම් ලබාදීමත්, විපත් අවදානම් කළමනාකරණ සැලැස්මක් සම්පාදනය කරමින් නියඟ, ජල ගැල්ම ආදී විපත්වලට මුහුණ දෙන පිරිස් සිටින ප්‍රදේශ නිසි ලෙස කඩිනමින් හඳුනාගැනීමට සිතියම් ගත කිරීමත්, ඒ ඒ සෘතුවලදී වැසි ජල අතිරික්තය ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීමත්, ඒ සඳහා වැව් තැනීම්, පිළිසකර කිරීම් ආදිය සිදුකිරීමත්, ජල සම්පත් සුරක්ෂිත කිරීම සඳහා වූ, අනුගත ක්‍රියාමාර්ග හැටියට හඳුනාගෙන ඇත.

වෙරළ හා සාගර සම්පත් ක්ෂේත්‍රය සඳහා අනුගත ක්‍රියාමාර්ග ලෙස මුහුදු මට්ටම ඉහළයෑම නිසා වෙරළ ප්‍රජාවට වන බලපෑම් පිළිබඳව අධ්‍යයන සිදුකිරීම, වෙරළ ප්‍රජාව දැනුවත් කිරිම, දැඩි ලෙස ආපදාවලට මුහුණදී සිටින පිරිස් හඳුනාගැනීමට සිතියම් සකස් කිරීම, වෙරළ ඛාදනය වළක්වා එම ප්‍රදේශ සංරක්ෂණයට ගල් වැටි, වැලි වැටි මෙන්ම වන වගා කිරීම ආදිය වැදගත් අනුවර්තන ක්‍රියාමාර්ග ලෙස මෙහිදී සඳහන් කළ යුතු වේ.

දේශගුණික සාධක පදනම් කරගත් රෝගාබාධ පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටීමේ වැඩසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, එවැනි රෝග වසංගත පැතිරීම වැළැක්වීමට පියවර ගැනීම, දේශගුණික තත්ත්වයන් යටතේ හටගන්නා රෝගාබාධ පිළිබඳව නව අධ්‍යයන සිදුකිරීම, අවශ්‍ය තොරතුරු හුවමාරුව සඳහා විපත් කළමනාකරණ අංශ හා සෞඛ්‍ය කළමනාකරණ අංශ සම්බන්ධීකරණය කරන යාන්ත්‍රණයක් සැකසීම, දේශගුණික සෞඛ්‍ය ආපදා සම්බන්ධයෙන් මහජනතාව මෙන්ම සෞඛ්‍ය සේවකයන්ට නිසි දැනුම හා පුහුණුව ලබාදීම යනාදිය සෞඛ්‍ය ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කර ඇති අනුගත වීමේ නිර්දේශිත ක්‍රියාමාර්ග වේ.

මානව ජනාවාස හා යටිතල පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා කළ යෝජනාවන් වන්නේ; දේශගුණික බලපෑමට මුහුණදිය හැකි නිවාස සැලසුම් හඳුන්වා දීම හා ප්‍රවර්ධනය, දේශගුණික බලපෑම් වැඩි ප්‍රදේශවල නිවාස සැලසුම් අනුමත ක්‍රමවේද සුදුසු පරිදි සමාලෝචනය කිරීම, දේශගුණික ආපදාවලට මුහුණ දිය හැකි නිවාස සැලසුම්, එනම්, හරිත සංකල්පීය නිවාස සැලසුම් මෙන්ම සුදුසු විකල්ප ද්‍රව්‍ය පිළිබඳව පර්යේෂණ සිදුකිරීම, කර්මාන්තකරුවන් සඳහා දේශගුණික අනුහුරු නිවාස ඉදිකිරීම පිළිබඳව පුහුණු වැඩසටහන් ඇතුළත් කිරීම, නාගරික, ග්‍රාමීය, වතු ජනාවාස සඳහා පූර්ව විපත් සූදානම් සැලැස්මක් සැකසීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම යනාදියයි.

පරිසර සංරක්ෂණය හා අනුහුරු ක්‍රියාමාර්ග

පරිසර පද්ධති හා ජෛව විවිධත්වයට වන කාලගුණික හා දේශගුණික බලපෑම පිළිබඳව පර්යේෂණ පැවැත්වීම, ප්‍රධාන පරිසර පද්ධති හා ජෛව විවිධත්ව සාධක සඳහා කාලගුණික බලපෑම හඳුනාගැනීමට පුළුල් නිරීක්ෂණ හා විපරම් වැඩසටහනක් සැකසීම, කාලගුණික දේශගුණික සංවේදී පරිසර පද්ධති සඳහා අනුගත වැඩසටහන් ඇතුළත් කළමනාකරණ වැඩසටහන් සැකසීම, දැඩි අවදානමට පත් පරිසර පද්ධති හා ශාක සත්ව ප්‍රජාවන් අවදානමෙන් මුදා ගැනීමේ වැඩසටහන් සැකසීම, පරිසර පද්ධති හා ජෛව විවිධත්වයට වන දේශගුණික බලපැම් ආපදා හඳුනාගැනිමට මෙන්ම ඒවා කළමනාකරණයට පර්යේෂණ ආයතන ධාරිතාවන් වැඩිදියුණු කිරීම යනාදිය පරිසර පද්ධති හා ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වූ අනුහුරු ක්‍රියාමාර්ග වේ.

සංචාරක හා විනෝදාස්වාදය යන විෂය ක්ෂේත්‍රයට අදාළව අනුහුරු යෝජනාවන් වන්නේ, දේශගුණික ආපදා පිළිබඳ ව සංචාරක කර්මාන්ත මෙහෙයුම්කරුවන් දැනුවත් කිරීම, සංචාරක මෙහෙයවන්නන්ට මෙන්ම සංචාරකයින්ට හදිසි තොරතුරු ලබාදීමේ සන්නිවේදන යාන්ත්‍රණයක් සැකසීම, දේශගුණික ආපදා සහ පීඩා ප්‍රදේශ හඳුනාගැනීම හා එම ප්‍රදේශවල සංචාරය පිළිබඳව සැලකිලිමත් වීමේ දැඩි අවශ්‍යතාව තහවුරු කිරීම හා එම ප්‍රදේශවල සංචාරක කර්මාන්තකරුවන් අනුහුරු ක්‍රියාමාර්ගවලට යොමු කිරීම, සංචාරක කර්මාන්තයට හා විනෝදාස්වාදයට වන දේශගුණික බලපෑම් පිළිබඳව පර්යේෂණ සිදුකිරීම යනාදියයි.

කෘෂි අපනයන විෂය ක්ෂේත්‍රයට අදාළ අනුහුරු යෝජනා වන්නේ, උෂ්ණත්වයට, නියඟයට, ජල ගැල්මට හා වෙනත් කෘමි උවදුරු හා වල් උවදුරුවලට මුහුණ දිය හැකි නව කෘෂිකර්ම ක්‍රමවේද හඳුන්වා දීම, දේශගුණික පීඩා වැඩි ප්‍රදේශ සඳහා තිරසර වගා ක්‍රමවේද හඳුන්වා දීම මඟින් වගා කළමනාකරණ හැකියාවන් වැඩි කිරීම, වගාවන් ආශ්‍රිත අපනයන බීජ සඳහා දේශගුණික බලපෑම් පිළිබඳව පර්යේෂණ දිරිගැන්වීම, විපත් අවදානම වැඩි සියලු බීජ හා වගාවන් සම්බන්ධයෙන් තොරතුරු හඳුනාගැනීමටත්, ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත්, මෙන්ම සියලු බීජ හා වගාවන් සඳහා වන විපත් පීඩා දරාගැනීමේ වැඩසටහන් ඇතුළත් මාර්ග සිතියමක් සකස් කිරීම, අපනයන කෘෂි බෝග සඳහා වන දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පහසු කිරීම පිණිස පර්යේෂණ ආයතන ධාරිතාවන් වැඩිදියුණු කිරීම කෘෂි අපනයන අංශය රැකගැනීමේ අනුහුරු යෝජනාවන් වේ.

පුනර්ජනනීය බලශක්තිය දිරිගැන්වීම, ජල විදුලි බල කාර්යක්ෂමතාවය ඇති කිරීම, දේශගුණික සංවේදී කෘෂි අමුද්‍රව්‍ය සැපයුම් දිරිගැන්වීම, බලශක්ති, ප්‍රවාහන, කර්මාන්ත යනාදී පහසුකම් සපයන ආයතන සඳහා විපත් හා සම්බන්ධ හදිසි සන්නිවේදනය පිණිස ක්‍රමවේදයක් සැකසීම, කර්මාන්ත, බලශක්තිය හා ප්‍රවාහනය යන ක්ෂේත්‍රවලට වන කාලගුණික බලපෑම් හඳුනාගැනීමට පර්යේෂණ දිරි ගැන්වීම, කර්මාන්ත බලශක්ති හා ප්‍රවාහන විෂය ක්ෂේත්‍රය සඳහා වන අනුහුරු ක්‍රියාමාර්ග ලෙස සඳහන් කළ හැකිය.

කාලගුණික බලපෑමට අනුගත වීම සඳහා වන ආයතනික ප්‍රතිපත්තිමය හා විකල්ප අවශ්‍යතා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යෝජනා වන්නේ, ලංකාවේ කාලගුණික අනුහුරුතාවට අවශ්‍ය කටයුතු සඳහා ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති හා අණපනත්, කාලීනව සුදුසු පරිදි සමාලෝචනය කිරීම, සියලු සංවර්ධන කාර්යන් සඳහා කාලගුණික බලපෑමට මුහුණදීම පිණිස කාලීන ප්‍රතිපත්තිමය නිර්දේශ ඇතුළත් කිරීම, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අනුගතවීමේ ජාතික සැලැස්ම (NAP) ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් ලෙස “දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයක්” ප්‍රතිෂ්ඨාපනය කර ශක්තිමත් කිරීම යනාදියයි.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අනුගත වීමේ ජාතික සැලැස්මට අදාළව ඉහතින් සඳහන් කළ පරිදි ඒ ඒ විෂය ක්ෂේත්‍රවල අනුහුරු ක්‍රියාදාමයන් ඒ ඒ විෂය ක්ෂේත්‍රවලට අදාළ අමාත්‍යාංශය හා ආයතන විසින් ඉටු කළ යුතු අතර, අවශ්‍ය අවස්ථාවල අන්තර් අමාත්‍යාංශය දායකත්වයන් හා සහයෝගීත්වයන් ද ලබාගත යුතු වේ. මේ වන විට ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාධනීය ප්‍රගතියක් ද අත්කරගෙන ඇති බව මෙහිදී සඳහන් කළ යුතුවේ.

දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ මැදිහත්වීම

දේශගුණික විපර්යාසවලට අනුහුරුවීමේ ජාතික සැලැස්මට අනුව, “දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය” පරිසර අමාත්‍යාංශය යටතේ ස්ථානගත කර ඇත. දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රයක් ලෙසත්, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු ගත සම්මුතියට කියතෝ සම්මුතියට සහ පැරිස් ගිවිසුමට අදාළව කටයුතු කරන ජාතික යාන්ත්‍රණයක් ලෙසත්, මෙම ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වේ.

දේශගුණික විපර්යාස අවම කිරීමේ සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ, කාබන් මිල කරන මෙවලම් හඳුනාගැනීම සහ ක්‍රියාත්මක කිරීම මඟින් හරිතාගාර වායු,(GHG) විමෝචනය අවම කිරීමෙන් දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම අවම කිරීම සඳහා වන දායකත්වයන්හි ඉලක්කයන්ට ළඟාවී ඇති අතර, ශ්‍රී ලංකා කාබන් හර යෝජනා ක්‍රමය, ජාතික දේශගුණික විපර්යාස දත්ත හුවමාරු ජාලය හා ශ්‍රී ලංකා කාබන් ලේඛනය සැකසීම හා අනුගතවීම ආදී වූ නව යාන්ත්‍රණයන් ස්ථාපනය කිරීම මඟින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට පියවර ගෙන ඇත. උදාහරණයක් ලෙස මෑතකදී ජපානය සමඟ කාබන් හරකිරීමේ යාන්ත්‍රණයකට (Carbon Credit Sharing) අදාළව ගිවිසුමකට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් අත්සන් තැබුවා. මේ ආකාරයේ රටට වාසි සහගත ගිවිසුම් ගණනාවකට ඉදිරියේදි එකතුවීමට අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.

ඒ වගේම තිරසර පරිභෝජන නිෂ්පාදන ප්‍රතිපත්තිය ද, දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික සන්නිවේදන වාර්තාව ද සකස් කර ඇත. දේශගුණික විපර්යාස හා ඊට මුහුණදීමේ විසඳුම් පිළිබඳව මුද්‍රිත මාධ්‍ය හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය යොදා ගනිමින් අදාළ පාර්ශ්ව මෙන්ම මහජනතාව දැනුවත් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇත. වාතයේ, ජලයේ ගුණාත්මක තත්ත්වය පවත්වාගැනීම, ඕසෝන් වියන සුරැකීම, ජෛව විවිධත්වය සුරැකීම මෙන්ම දේශගුණික විපර්යාසවලට අනුගතවීමේදී නයිට්‍රජන් කළමනාකරණය ඉතා වැදගත්ය. සෑම වසරකම ප්‍රයෝජනයට නොගන්නා ප්‍රතික්‍රියාකාරී නයිට්‍රජන් අපතේ යාම වළක්වා ගැනීමෙන් ආර්ථික වාසි ද ලබාගත හැකිය. ඒ අනුව, නයිට්‍රජන් චක්‍රය පූර්ණ ලෙස කළමනාකරණය කර ප්‍රතිලාභ ලබාගැනීමේ කටයුතු සිදුකරමින් සිටී. හරිත දේශගුණ අරමුදල ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස හා බැඳුණු අභියෝගවලට මුහුණදීමට අවශ්‍ය මූල්‍ය සම්පත් ලබාගැනීමේ ප්‍රධාන මූලාශ්‍රයයි. මෙහි ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන තිබේ.

දේශගුණික විපර්යාස පාලනය සඳහා වන පාර්ශ්වකරුවන්ගේ 27 වන සැසිය ඒ ඒ රටවල්වල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊජිප්තුවේ ෂාර්ම් එල්. ෂික් නගරයේදී පසුගියදා පැවැත්වුණා. ඒ සඳහා ජනාධිපතිතුමා සමඟ පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතා ද සහභාගී වුණා. එහිදි ජනාධිපතිවරයා ඉතා වැදගත් ප්‍රකාශයක් සිදුකළා. ජනාධිපතිවරයා සමුළුව අමතා ප්‍රකාශ කර සිටියේ, සංවර්ධිත රටවල් වල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුවක් බවත්, මේ නිසා සංවර්ධනය වෙමින් පවතින අපවැනි රටවලට සිදුවන අලාභය හා හානිය වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා සංවර්ධිත රටවල් විසින් ඔවුන්ගේ අරමුදල දෙගුණ කළ යුතු බවය. දේශගුණික අර්බුදයට විසඳුම් සපයා ගැනීම පිණිස දේශීය විදේශීය උපදේශකවරුන් ද පත්කරමින්, නියමිත කාර්යාවලිය සඳහා රජයේ පවතින කැපවීම ද මෙහිදී සිහිපත් කිරීම වැදගත් වේ.

පරිසර අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ, මධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙවර සකසා ඇත්තේ විද්‍යාත්මක, තාක්ෂණික හා නෛතික මැදිහත්වීමක් මත පදනම්ව පරිසර සංරක්ෂණ, කළමනාකරණ, අධ්‍යාපන හා ප්‍රවර්ධන කාර්ය ඔස්සේ, විශිෂ්ට සේවාවක් සපයමින් පිවිතුරු හරිත පරිසරයක් ඇතිකර ගැනීම මෙන්ම පොදු ජන අභිවෘද්ධිය පිණිස තිරසර සංවර්ධනය අත්කරදීම උදෙසාය. වායූ දුෂණය, ජල දුෂණය, කාර්මික දූෂණය මෙන්ම කාබන් විමෝචනය පාලනය කිරීමට මැදිහත් වෙමින් පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරන අතර, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට අවශ්‍ය සහයන් මෙන්ම පොදුජනතාව අතර, හරිත ජීවන ක්‍රියාකාරීත්වයක් ගොඩනැංවීම සඳහා විවිධ අධ්‍යාපන හා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

දේශගුණික විපර්යාස අර්බුදයෙන් මිදීම සඳහා වූ ගෝලීය වේදිකාවක් තුළ ඒ ඒ රටවල දේශීය ක්‍රියාකාරීත්වයන් ද බලගැන්වෙන අද දවසේ ලොව අප සැමගේ වගකීම හා යුතුකම වන්නේ, මෙකී දේශගුණික අර්බුදයෙන් මිදීම පිණිස හදිසි අවශ්‍යතාවක් සේ සලකා “දේශගුණික ක්‍රියාකාරිකයකු” වශයෙන් කටයුතු කිරීමයි. යම් නිශ්චිත භූමියක් අප සිය මව්බිම වශයෙන් සැලකුව ද දේශගුණික අර්බුදය හමුවේ “අපේ මව්බිම වන්නේ, සමස්ත පෘථිවිය” බැවින්, ආගමික, වාර්ගික හා දේශපාලනික පටු බෙදීම්වලින් තොරව මානව සමාජය විශ්වීය පවුලක සාමාජිකයින් ලෙස “දේශගුණික සාධාරණත්වය” උදෙසා එක්ව පෙළ ගැසීමේ අවශ්‍යතාව දැඩිව මතුව තිබේ.

දේශගුණික විපර්යාස හා ශ්‍රී ලංකාවේ අවදානම

පී. බී. හේමන්ත ජයසිංහ
අධ්‍යක්ෂ ජනරාල්
මධ්‍යම පරිසර අධිකාරිය

advertistmentadvertistment
advertistmentadvertistment