නවතින්න… තිස්ස

624

නවතින්න තිස්ස ඇයි මේ – නුදුවන් මුවාගෙ පස්සේ //
කිව් මිහිඳු රහත් සමිඳා – ඒ මිහින්තලා කන්දේ //

නවතින්න තිස්ස ……

මගෙ නාමේ කියා මෙලසේ – කවුදෝ මට අමතන්නේ //
ඒ තිස්ස නිරිඳු රොස් වී – බැලූවා මහ ගල මුදුණේ
දුටුවා මහින්ද හිමිඳා – වැන්දා දයාව පාලා
දුනු හා හී බිම දාලා – වැන්දා රජ බැති පාලා නවතින්න තිස්ස …..

දෙසුවා බුදුන්ගෙ ධර්මේ – ඇති සේ තතු පහදාලා//
තුන් සරණෙ පිහිට සෙව්වා – රජිඳා පහන්ව සීලේ

දම් සිහිලෙ සුවය එකදා – ලක් මවට තුරුලු වුවා
මෙත් අරුණ සමග සීලෙන් – සිංහලය මිහිරි වූවා

නවතින්න තිස්ස ……

හිස පාපිස්නක් කරලා – පුදමී අනු බුදු සමිඳා
මේ පොසොන් පෝය දිනයේ – ඔබ ගුණ කඳ සිහි කරලා
කළ ගුණය අපට සැමදා – අමතකව නොයේ සමිඳේ
ඔබ නිසයි සමිඳ හෙළයේ – මල් පිපුණෙ පැරණි කාලේ

වෙසක් සඳ බැස පොසොන් සඳ නැගෙන විට අපේ හදට දැනෙන සැදැහැ මුසු ජාතික හැඟීම වචනයකින් කියනවාටත් වඩා හොඳින් ගීතයකින් ඔබට කියන්නට පුළුවන්නම් එම ගීතය ‘නවතින්න තිස්ස’ ගීතයයි. ගීතයක මිහිරත් එහි පසුබිම් කථාව පිළිබඳවත් ඔබ වෙත ගෙන ඒමේ කුළුඳුල් උත්සාහයයි මේ.

අදින් වසර 2324කට පෙර පොසොන් පෝය දින මිහින්තලා කන්දේ දී වූ ඒ ආශ්චර්යවත් සිද්ධිය සමග සමාජ පරිවර්තනය එක් ගී පදයකින් කියනවා නම් ‘දම් සිහිලෙ සුවය එකදා – ලක් මවට තුරුලු වූවා, මෙත් අරුණ සමග සීලෙන් – සිංහලය මිහිරි වුවා’ යන්නයි. මෙවන් ගීයක් පද බඳිනු ලැබුවේ සරත් විමලවීරයන් වන අතර මෙම ගීතයේ සංගිතය එම්.කේ. වින්සන්ට් මහතාගෙනි. ගීතයට ගායනයේ ජීවය දෙනු ලැබුවේ ග්‍රැමෆොන් යුගයේ සිට බෞද්ධ ගීත සාහිත්‍යයට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්, පසුගිය අප්‍රේල් 2 වන දින අභාවප්‍රාප්ත වූ විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මියයි. ඈ බෞද්ධ ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර, අනුරාධපුරය – පොසොන් මහෝත්සවය පිළිබඳ වැඩිම ගීත සංඛ්‍යාවක් ගායනා කිරීමේ ගෞරවය ද ඇයට හිමි වෙයි.

මෙම ගීතයේ තනුව 1951 දී තිරගත වූ ඉන්දීය සිනමා කෘතියක් වූ නාසීන් නම් චිත්‍රපටයේ ලතා මංගේස්කාර් නම් සුප්‍රකට ගායිකාව විසින් ගායනා කරන ලද ‘ඕ සින්දගී කේ මාලික් තෙරා හි ආස්රා හේ” නම් ගීතයයි. ‘නවතින්න තිස්ස’ ගීතය එකල ලංකාවේ ගීත රසිකයන්ට වඩාත් සමීප වූයේ මෙහි සංගිතය මෙන්ම පද බැඳුමේ සරල බව මෙන්ම විවියන් බොරලැස්ස ගායිකාවගේ මියුරු හඬ ගැළපීම නිසාය.

ගීතයේ පසුබිම දිගහරින විට දිග්විජය අතහැරි චණ්ඩාශෝක අධිරාජයා බුදු දහමින් ශික්ෂිතව, ධර්මාශෝක රජු ලෙස යුද්ධයෙන් රාජ්‍ය දිනීම අතහැර ධර්මයෙන් රාජ්‍ය දිනීමේ අවිහිංසාවාදී ප්‍රතිපත්තියට පිළිපන්ව ධර්මවිජයෙන් තමන් අත්විඳි ඒ දහම් සුවය තමන් පමණක් නොව තම රාජ්‍යයේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ දහතුනකටත් විදෙස් රාජ්‍ය පහකටත් ලබාදීමට තරම් එතුමන් කාරුණික විය. ලෝකයේ මහා නරපතීන් අතර ඉදිරියෙන්ම සිටින මහා අශෝක අධිරාජයා ධර්මවිජය තුළින් තවත් රටක් යටත් කරගැනීම වෙනුවට තමන් ලබා ගත් ශාන්තිය ලෝකයේ සියලුදෙනා අතර බෙදා ගැනීමේ නිමල චේතානාවෙන්ම කටයුතු කිරීම බලලෝභී පාලකයන්ට වටහාගන්නට කදිම ආදර්ශකි. එතුමන්ගේ අවිහිංසාවාදී ප්‍රතිපත්තිය මිනිසුන්ගේ පමණක් නොව සතා සිව්පාවා පවා දක්වා පැතිර ගිය විසල් කාරුණාවක් විය. සියලු ආගම් කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් දැක්වීය. එහෙත් ම්ලේච්ඡයන් බෞද්ධ ධර්මදූතයන්ට හිරිහැර කරනු ලැබූ විට තම බලය පිළිබඳව සඳහන් කර තදින් අවවාද කර සිටි බව අශෝක ලිපිවල සඳහන්ව තිබිම පිළිබඳව ද සැලකිය යුතුව තිබේ. ධර්මාශෝක අධිරාජයා තම ධර්ම ප්‍රචාරක කටයුතු සැලසුම් සහගතව කළ බව පිළිබිඹු වන්නේ තම දූත සේවාවන් ආරම්භ කරන කාලයේ ශ්‍රී ලංකාවේ එවකට රජු වූ මුටසීව රජු මහලුව සිටි බැවින් තිස්ස කුමරු රාජ්‍යත්වයට පත්වන තෙක් ධර්මදූත සේවාව කල් දැමීම තුළිනි. මුටසීව රජුගේ ඇවෑමෙන් පසු රජ වූ දේවානම්පියතිස්ස රජුට මිහින්තලයේ දී මිහිඳු හිමියන් තමන් වහන්සේ ඇතුළු පිරිස හඳුන්වා දුන්නේ ‘සමනා මයං මහා රාජ ….’ ආදී ගාථාවෙන් තමන් රජු කෙරෙහි අනුකම්පාවෙන්ම පැමිණි බවයි. ධර්මාශෝක අධිරාජයාට තම්බපණ්ණිය හෙවත් ශ්‍රී ලංකාව විශේෂ වූ බවට ප්‍රකට කරවන කාරණව වන්නේ තම පුත් මහා මහින්ද මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ ධර්මදූත කාර්යය සඳහා යොමු කිරීමයි. එදා ධර්මාශෝක රජු දවස ද ශ්‍රී ලංකාව කොපමණ භාරතයට (ඉන්දියාවට) වැදගත් වූ බව තවදුරටත් සහතික වන්නේ තම දියණිය වූ සංඝමිතාවන් ද බුදුරජාණන් වහන්සේ පිටදී වදාළ උතුම් මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සමඟ ලංකාවට වැඩම කරවීමට ඉඩ සලසා දීම තුළිනි.

මිහිඳු මහ රහත් හිමියන් අඹරුක් සහ නෑ-නොනෑයන් පිළිබඳ බුද්ධි පරීක්ෂණයක් මගින් රජුගේ දක්ෂකම හඳුනාගෙන රට තුළ සදහම් බීජය රෝපණය සඳහා ඇති අවකාශ තහවුරු කරගනු ලැබුවේ පාලකයා අදක්ෂයකු වුවහොත් තම ව්‍යායාමයේ ප්‍රතිඵල සාර්ථක නොවිය හැකි බවට වූ අවබෝධය නිසා ය. මෙසේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, දේවනම්පියතිස්ස රජුගේ අනුග්‍රහයෙන් ලක්දිව බුදු සසුන ස්ථාපිත විය. බුදු දහමත් සමඟ අපට ආධ්‍යාත්මක වශයෙන් නොව විවිධ කර්මාන්ත, කලා ශිල්ප ආදිය අපේ සංස්කෘතිය තවත් ඔප්නංවන්නට දායක වීම අපට අමතක කළ නොහැක. ගීතයේ ‘මෙත් අරුණ සමග සීලෙන් – සිංහලය මිහිරි වුවා’ යැයි සියල්ල කැටි කර දක්වයි.

දේවානම්පියතිස්ස රජු දවස සිට අපේ නරපතියන්ගේ වගකීම වූයේ රාජ්‍යය දැහැමෙන් සෙමෙන් බෞද්ධ ප්‍රතිපත්ති අනුව රජ කරවීමයි. එසේ නොවුණ අවස්ථා මෙන්ම ආක්‍රමණිකයන්ගේ බලපෑමෙන් රාජ්‍ය පාලනයේ අවුල් වියවුල් ඇති වූ බව ඉතිහාසයේ සඳහන් වුවද ඒ සෑම අවස්ථාවකදීම අධර්මයට අයුක්තියට එරෙහිව රට ඉදිරියටම ගෙන යෑමට යුගපුරුෂයන් පහළවීම රටේ වාසනාවකි. ඒ පිළිබඳ අපේ විශිෂ්ටම සලකුණ වනුයේ ගැමුණු කුමරුන් පැවසූ “මේ මාගේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහායි” යන්නයි. සෑම රජකුම බෝධිසත්ත්වයකු බව ජනතාවගේ මතයක් විය.

බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය වන ථෙරවාද සම්ප්‍රදායේ මූලස්ථානය වන ශ්‍රී ලංකාව එදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගෙන් අපට ලැබුණ දායාදය රැක ගනිමින් එය එදා ධර්මාශෝක අධිරාජයා මෙන් ලෝකයේ යහපත පිණිස ව්‍යාප්ත කිරීමේ
වගකීම පැවරී ඇත්තේ අප රටටය.

එය අප අනුබුදු මිහිඳු හිමියන්ට කෘතවේදීත්වය දැක්විමට මගක් වනවා නොඅනුමානය. එයටත් පෙර අපේ රට තුළ සම්බුද්ධ ශාසනය පෝෂණය කර සුරක්ෂිත කිරීම තහවුරු කිරීමට අදිටන් කළ යුතුව ඇත්තේ දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය, එම තත්ත්වයෙන් වෙනස් කිරීමට විවිධ යෝජනා ද විකල්ප ද මේ වනවිට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවලට ඉදිරිපත්ව ඇති බැවිනි.

පානි වෑවල

advertistmentadvertistment
advertistmentadvertistment