නොරොච්චෝලේ කැඩෙයි : විදුලි කප්පාදුව වැඩිවීමේ අවදානමක්

165

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ එක් විදුලි උත්පාදන යන්ත්‍රයක් (මෙගාවොට් 300) හදිසියේම අක්‍රියවීමත් සමග දිනකට විදුලිය කපන කාලය වැඩි කිරීමේ අවදානමක් මතුව ඇතැයි ලංවීම ඉංජිනේරුවෝ කියා සිටිති.

කෙසේ වෙතත් මේ වනවිට තාප විදුලි බලාගාර (ඩීසල්, නැප්තා) මගින් විදුලිය ජනනය කිරීම නිසා හැකි උපරිමයෙන් විදුලි ඉල්ලුම සපුරාලීමට විදුලිබල මණ්ඩලය පියවර ගනිමින් සිටී.

මෙරට ප්‍රධානම හා විශාල ම බලාගාරය වන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය මගින් මෙගොවොට් 900ක් ජාතික විදුලි පද්ධතියට එක්කළ අතර ඉකුත් කාලයේදී කිසිදු නඩත්තුවකින් තොරව එමගින් විදුලිය ජනනය කිරීමට සිදුවීම නිසා එක් ජනන පද්ධතියක් මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත.

මෙලෙස බලාගාරයෙන් විදුලිය ජනනය ඉතා අවදානම් බවත් අනෙක් විදුලි උත්පාදන යන්ත්‍ර දෙකත් කොයි මොහොතක හෝ නතරවී යා හැකි බවත් ඉංජිනේරුවෝ කියති.

කාර්ය බහුල කාලයේදී විදුලිය අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක්ව තිබෙන බැවින් විදුලි විසන්ධි කරන කාලය යම් පමණකට වැඩි කිරීමට සිදුවනු ඇතැයි ද ඔවුහු පවසති.

අක්‍රීය වූ බලාගාරයේ ජනන යන්ත්‍රය සිසිල්වන තුරු අලුත්වැඩියාව ආරම්භ කළ නොහැකි නිසා එය සකසා යළි විදුලි ජනනය කිරීමට දින දහයක්වත් යනු ඇතැයි ඉංජිනේරුවෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment