පතෝල මැස්සේ මාධ්‍ය ආරක්ෂාව (චමුදිත සමරවික‍්‍රම සිද්ධිය)

645

ඉතිහාසයක් ඇති රූපවාහිනී මාධ්‍යකරුවකු වන චමුදිත සමරවික‍්‍රමට ජීවිත තර්ජනයක් හටගෙන ඇති බව පෙනේ. හිරු රූපවාහිනී නාලිකාවේ දේශපාලන සාකච්ඡුා මෙහෙයවන අතර ඉතාම විවාදාත්මක යූ ටියුබ් නාලිකාවක අයිතිකරු ලෙස කටයුතු කරන චමුදිත පසුගියදා වෙනත් යූ ටියුබ් චැනලයක් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡුාවකදී තමන්ට ඇති තර්ජනය හෙළි කළේය. ඔහුට අනුව කිසියම් පිරිසක් ඔහු මැරීමට සූදානම් ය. ඒ පිරිස විවිධ ක‍්‍රම හරහා ඔහු මරණ බවට තර්ජනය කර තිබේ. එම තර්ජනය සහ එම තර්ජනය කළ අය පිළිබඳ ලිපියක් ලියා එය එක් අයකුට භාර දී ඇති බවත් යම් හෙයකින් කිසියම් පිරිසක් ඔහු මැරුවොත් ලිපියේ නම් සඳහන් අය එයට වගකිව යුතු බවත් පෙරකී යූ ටියුබ් නාලිකාව සමග කළ සාකච්ඡුාවේදී චමුදිත කියා ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකා පොලිසිය ගැන තමන්ට විශ්වාසයක් නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.
 
 සාමාන්‍යයෙන් චමුදිතට පමණක් නොව අපට ද පොලිසිය ගැන විශ්වාසයක් නැත. එය පොලිසිය පිළිබඳ ඇති සරල හා සාමාන්‍ය ස්ථාපිතය යි. බලය නමැති සාධකය ඉදිරියේදී නීතිය නැමීම, දිගහැරීම, ඇද ඇරීම සහ ගැට ගැසීම ලෝකයේ කොයි පොලිසියේත් සිරිත වේ. මෙය හොඳට සපත්තු මේස් දමා, නිල ඇඳුමක් ඇඳ, මෝල් ගස් ගිල්ලාක් මෙන් හරි කෙලින් සිටගෙන සිටින ශ‍්‍රී ලංකා පොලිසියට ද බුලත් විට හප හපා බීඩි බොමින් රබර් සෙරෙප්පු කබල් දමාගෙන, පොලූ වනමින් ඇවිදින ඉන්දීය පොලිසියට ද පගා මරුවන් වූ තායිලන්ත පොලිසියට ද කිට මරාගෙන සිටින විනයානුකූල ඇමරිකන් පොලිසියට ද පොදුය. මිනිහෙක් මරන්නට හිතුණු විට කොයි පොලිස්කාරයාත් එය කරයි. එය පොලිස් නිල ඇඳුමේ ලක්ෂණයක් නොව එය ඇතුළත සිටින සාමාන්‍ය පෘතග්ජනයාගේ ස්වභාවය යි. හැම මිනිහකු තුළම යකෙක් හා දෙවියෙක් වැඩ වසති. පොලිස් හෝ හමුදා නිල ඇඳුමක් ඇඟලා ගත් කල්හි එළියට එන්නට බලන්නේ දෙවියා නොව යකා ය. කළු ජාතික ඇමරිකානුවකු වූ ජෝර්ජ් ෆ්ලොයිඞ්, හොඳ ලස්සන නිල ඇඳුමක් ඇඳි සුදු ජාතික පොලිස්කාරයකු විසින් මරණ ලද්දේ දණ හිසින් බෙල්ල තදකරගෙන සිටීමෙනි. ජෝර්ජ් ෆ්ලොයිඞ් නමැති එම කළු ජාතිකයා බිම දැමූ සුදු පොලිස්කාරයා ෆ්ලොයිඞ් ගේ හුස්ම හිරවන තුරුම බෙල්ල පාගාගෙන සිටින හැටි අවට පිහිටි සී සී ටීවී කැමරාවල සටහන් විය. පෙර කී පොලිස් සුද්දා වර්ගවාදියෙකි. ඔහු ජෝර්ජ් ෆ්ලොයිඞ් මැරුවේ හෙතෙම කල්ලෙකු වූ බැවිනි. ෆ්ලොයිඞ් මැරූ පොලිස්කාරයා ඉදිරියේදී විදුලි පුටුවට යනවා ඇත. ලංකාවේ පොලිසියක රැුයක් ගත කිරීම භයානක ක‍්‍රියාවකි. පොලිස් කූඩුවට පණ පිටින් යන මිනිහා මළ මිනියක් සේ එළියට ගත් අවස්ථා බොහෝය. අපට තිබෙන අත්දැකීමට අනුව මේ මොහොතේදී අප විශ්වාස කරන්නේ සීනියර් ඕ. අයි. ජී. දේශබන්දු තෙන්නකෝන් සහ ඞී. අයි. ජී. අජිත් රෝහණ පමණි. මේ කියමන ප්ලග් එකක් සේ සලකා දේශබන්දුට සහ අජිත් රෝහණට නොකෙළින්නැයි සෙසු පොලිස් ප‍්‍රධානීන්ගෙන් අපි ඉල්ලමු. නැවතත් අපේ කතාවට බසිමු.
 
 චමුදිත සමරවික‍්‍රම පසුගිය දිනවල දැඩි ලෙස පොලිසිය විවේචනය කළේය. මේ අනුව ඔහුට පොලිසිය තුළ හතුරන් සිටීමට පුළුවන. එසේම පොලිසියේ හතුරන් පොලිසිය චාටර් කිරීම සඳහා පොලිසියේ එකවුන්ට් එකට බැර වනු පිණිස චමුදිතට වැඩක් දීමට පුළුවන. එසේම පියුමි හංසමාලි නමැති ස්ත‍්‍රිය සහ මනමාලියන්ට අන්දන චන්දිමාල් ජයසිංහ යන අයද මේ දිනවල චමුදිතට සතුරු බව පෙනේ. පියුමි හංසමාලි ගේ ෆේස්බුක් පෝස්ට්වලින් ඒ බව ඉතා පැහැදිලිය. එහෙත් ඒ දෙදෙනාම හානිදායක අය නොවෙති. තව කෙනකුට බැණීමට වැඩි යමක් පියුමි හංසමාලිට නුපුළුවන. කිසියම් පුද්ගලයකු විසින් බිම දමාගෙන එතුමියට නැව් ගුටි දෙන වීඩියෝ පටයක් පෙර දිනක අපි දුටුවෙමු. (ගැහැනුන්ට ගහන එවුන්ගේ අත් කැපිය යුතුයි.* චන්දිමාල් ජයසිංහ යනු ආගමික ජීවිතයකට ටිකක් මෙහායින් ඇති ජීවිතයක් ගත කරන කෙනෙකි. කොන්ත‍්‍රාත් එකක් දී කෙනකුට වැඩක් දීමට ඔහුට බැරිය. එහෙත් චමුදිත ගේ අත පය හතර කඩා කට කුඩුකොට නාසය සමතලා කර එම ප‍්‍රහාරය පියුමි සහ චන්දිමාල් ගේ ඒකාබද්ධ ගිණුමට බැර කිරීමට ඒ දෙදෙනාගේ සතුරන්ට පුළුවන. තමාට ඇති තර්ජනය සහ එයට සම්බන්ධ පසුබිම ගැන චමුදිත මීට වඩා යමක් කිව යුතුය. එවිට එය හෙළිකර ගැනීමට ආණ්ඩුවට පුළුවන.
 
 චමුදිත සමරවික‍්‍රම පිළිබඳ සිද්ධියේදී ඉතා හාස්‍යජනක යමක් සිදුවිය. ඒ වූකලී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නමැති පතෝල මැස්ස විසින් නිකුත් කළ නිවේදනයකි. මාධ්‍යවේදියකුට ජීවිත තර්ජනයක් එල්ල වූ විටක රාජ්‍යයේ රැුකවරණ ලැබීම ගැන විශ්වාසයක් නොමැති තත්ත්වයක් හටගෙන ඇත්නම් එය අතිශය බිහිසුණු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිවේදනයේ සඳහන් ය. සාමාන්‍යයෙන් චමුදිත සමරවික‍්‍රම ගේ සිද්ධිය සහ රාජ්‍යය අතර සම්බන්ධයක් අපට නොපෙනේ. එසේ නම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිවේදනය ලියූ එකා එය ලියා ඇත්තේ තුන්වන ගංජා සුරුට්ටුවේ අන්තිම උගුරත් ගසා වැඩි සීනි කිරි තේකක් බී මස්කට් කෑල්ලක් ද කෑමෙන් පසුවය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යනු මරණයට පත්වූ සංවිධානයකි. එක්දහස් නවසිය අනූ ගණන්වල මුලදී කීර්තිමත් නමක් තිබූ මේ සංවිධානය ඉන්පසුව කුජීත වී ගියේය. පුවත්පත් කලාවේදීන්ගේ සහ මාධ්‍යකරුවන්ගේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටින පතෝල මැස්සවල් වැනි මාධ්‍ය සංවිධාන කිහිපයක් මේ රටේ තිබේ. කුරුණෑගල දොස්තර ශාෆිගේ වඳ සැත්කම් සිද්ධියේදී එය හෙළිකළ පුවත්පත් කලාවේදියා වූ හේමන්ත රන්දුණුටත් එම පුවත පළ කිරීමේ වගකීම භාරගත් දිවයින කර්තෘටත් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපමණ මානසික වධ දුන්නේය. එහෙත් ඒ වෙලාවේදී මේ හිඟන මාධ්‍ය සංවිධාන එකක්වත් ‘දිවයින’ වෙනුවෙන් වචනයක්වත් කතා කළේ නැත. මෙවැනි පල් හොරු චමුදිත සමරවික‍්‍රම වැනි පළපුරුදු මාධ්‍යකරුවකු වෙනුවෙන් පෙනී සිටීම කුණු අපහාසයකි. මාධ්‍යකරුවකුට මරණ තර්ජන කිරීම ගැන මේ පුවත්පත කවදත් විරුද්ධ ය. ඒ අනුව අප දැන් හිටගන්නේ චමුදිත සමගය. එසේම මාධ්‍යකරුවන්ට පමණක් නොව ඕනෑම රටවැසියකුට කරන මරණ තර්ජනවලට ද මේ පුවත්පත විරුද්ධ ය. එවැනි ඕනෑම අවස්ථාවක මේ පුවත්පත ඒ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment