අඩ සිය වසකට පෙර ඒ ගැන රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ.

1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට නල්ලතන්නිය දක්වා ගමන් කළ පසු අඩුම උස ප්‍රමාණයකින් සිරිපා කරුණා කළ හැකි වීමත් නිසා මේ මාර්ගය වර්තමානයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත.

නමුදු අද මෙන් ප්‍රවාහන පහසුකම් නොතිබූ දහනව වන සියවසේ අග භාගය දක්වා බොහෝ දෙනකු සිරිපා කරුණා කරන ලද්දේ පා ගමනිනි. වර්තමාන කෝණයෙන් බලන විට එය අතිශය දුෂ්කර චාරිකාවක් සේ පෙනුණ ද එදිනෙදා ජීවිතයේදී කය වෙහෙසා වැඩ කළ හැකි පැරණි ගැමියන්ට එය සැහැල්ලු විනෝදාත්මක චාරිකාවක් වූ බව නිසැක ය.

එමෙන්ම තමන් නිතිපතා අත්දකින හුරුපුරුදු පාරිසරික හා දේශගුණික කලාපයන්ගෙන් බැහැරව පිටස්තර ගැමියන්ගේ ආගන්තුක සත්කාර විඳිමින් සිදු කළ එම සිරිපා කරුණාව අතීත සමාජයේ සමාජ ඒකාබද්ධතාව සේම සමාජමය කායික මානසික සමතුලිත බවට සහ ආධ්‍යාත්මික පෝෂණයට බෙහෙවින් ඉවහල් වූ බවට සැක නැත.

අතීතයේ ගම්පහ දිසාවට අයත් සියනෑ, හාපිටිගම් සහ අළුත්කුරු කෝරළ වැසියන් ශ්‍රීපාද කරුණාව සඳහා යොදා ගත් මාවත පිළිබඳව විමසා බැලීමට මම 1995 වසරේ සිට උනන්දු වීමි. ඒ 1994 වසරේ සිරිපා සංස්කෘතිය පිළිබඳ සබරගමු ජනශ්‍රැති ඒකරාශී කිරීමේදී ඇති වූ උනන්දුව ද මුල් කර ගනිමිනි. එහි දී ඒ සඳහා රත්නපුර ශ්‍රී පලාබද්දල, මාපලානේ චන්ද්‍රසෝම බී කලවාන (කලවානේ පොඩි අප්පො) මහතා (වත්මන් ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක හිමි) වෙතින් මට හිමි වූ අනුග්‍රහය සුළු පටු නැත.

අතීතයේ සියනෑ, සහ අළුත්කුරු කෝරල වැසියන්ගේ සිරිපා ගමන් මඟ වැටී තිබුණේ වත්මන් අමිතිරිගල, තල්දූව, පනාවල, කුරුවිට යන නගර මැදිනි. කුරුවිට සිට එරත්න ශ්‍රීපාද මාර්ගය ඔස්සේ හෝ කුරුවිටින් වලඳුර ඔස්සේ පලාබද්දලට ගොස් එම ශ්‍රීපාද මාර්ගය ඔස්සේ හෝ සිරිපා කරුණා කිරීමට එකල වන්දනා නඩවලට පහසු හැකියාවක් තිබිණ. අතීතයේ සියනෑ සහ අළුත්කුරු කෝරල වැසියන්ගේ සිරිපා වන්දනාව සඳහා සතියක් හෝ ඊට වැඩි කාලයක් ගත විය.

පා ගමනින් සිරිපා යන්න දින ගණනාවක් ගතවූ කාලයක්

එහිදී සියනෑ හෝ අළුත්කුරු කෝරලවල සිට සිරිපා වන්දනා නඩවලට පා ගමනින් කුරුවිටට නොඑසේ නම් ශ්‍රී පලාබද්දලට ළඟා වීමට දින තුනක් හෝ හතරක් ගත විය. ඒ ඔවුන් පා ගමනින් කළ සිරිපා කරුණාව දිනකට සැතපුම් 20-25කට සීමාවීම නිසා ය. නමුත් හාපිටිගම් කෝරල වැසියන්ගේ සිරි පා චාරිකාවේ දී අමිතිරිගල හමු නොවූ අතර සිරිපා කරුණාවේ පළමු රාත්‍රිය ගත කිරීම පිණිස හාපිටිගම් කෝරල වැසියන් ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ ගම්පහ දිසාවේ ගිනිකොණ දෙසට වන්නට පිහිටි පැරණි ගම්මානයක් වන මීවිටිගම්මන ය. එහි එවක තිබූ බෙලිගහයට අම්බලම ඔවුන්ගේ නවාතැන්පළ වූ බවට සාක්ෂි තිබේ. ඒ අද්දර පිරිසිදු පානීය ජලය සහිත දිය බුබුලක් ද තිබූ බව පැවසෙයි.

ඉන්පසු එළඹෙන දෙවන දිනයේ අලුයමින් පිට වූ එම වන්දනා නඩ සියනෑ සහ අළුත්කුරු කෝරල වන්දනා කරුවන්ට ද පොදු මාර්ගය වූ ගුරුගල්ල, නක්කාවල තොටුපළෙන් කැලණි නදිය තරණය කොට ‘සමන් දෙවියන්ගේ අඩවිය’ ට පිවිසුණහ. එහිදී සීතාවක නදිය සහ එහි අතු ගංගාවක් වන ගොමලු ඔය ආසන්නයෙන් වැටී ගත් පැරණි මාවත ඔස්සේ හෙමිහිට ගමන් කළ ඔවුන්ගේ දෙවන රාත්‍රී ලැගුම්පළ වූයේ පනාවල නම් පැරණි ගම්මානයයි.

පනාවල පරණ ගම

මේ පනාවලට නුදුරින් පිහිටි අම්බලම්පිටිය නම් පැරණි ගම්වරය ශ්‍රීපාද වන්දනා කරුවන්ගේ සුප්‍රකට ගිමන් පොළක් වූ අතර පැරණි අම්බලම් කිහිපයක්ම එහි වූ බව පැවසෙයි. නමුත් අද ඒ අම්බලම් එකක් වත් නැත. ඒවා තිබූ තැන්වල දැන් තේ වගා කොට තිබේ. එකල සිරිපා කරුණාවේ දෙවන දින රාත්‍රිය පනාවල හෝ අම්බලම්පිටියේ නතර වූ පැරණි වන්දනා කරුවෝ ඊට පසුදින කුරුවිට ඔස්සේ එරත්නට හෝ ශ්‍රී පලාබද්දලට ළඟා වීමෙන් ගමනේ තුන්වන රාත්‍රිය එහි ගත කළහ. මේ පැරණි ශ්‍රීපාද මාර්ගය තුරුලිය ආදියේ සෙවණින් යුතු, කොස්, දෙල් ආදී බව බෝග වලින් හෙබි ගංගා, ඇළ දොළ සේම කුඩා දියඇලි ආදියෙන් ද පොහොසත් ගමන් මඟක් විය. එබැවින් ඉන් පැරණි වන්දනා කරුවන් ලත් කායික මානසික අස්වැසුම කොතෙක් දැයි අමුතුවෙන් කිව යුතු නැත.

අද වන විට ද මේ පැරණි ශ්‍රීපාද මාර්ගය මුළුමනින්ම වැසී ගොස් නැත. නමුදු මේ මංපෙත ඔස්සේ සිරිපා කරුණාවක් නම් සිදු නෙවේ. ඒ අතර උඩුගම්පොළ රජ කළ සකල කලා වල්ලභ රජුගේ පුතු වූ කළු කුමාරයා පිය රජුමැරීමට කුමන්ත්‍රණය කොට ඒ බව රජතුමා දැන ගැනීමෙන් පසු සිරිපා පද්මයට පලා ගොස් ඇත්තේ මේ මාර්ගයට වෙනස් ගමන් මඟක් ඔස්සේය. කළු කුමාර යාදින්නේ එන එම ගමන් විස්තරයේ අස්ගිරිය, කෑරගල, බටුවිට, බෝපාගම, අත්තනගලු ඔය, කොබෝතුරාගල, මානියම්ගම, පනාවල, පිලපිටිය (තලපිටිය), අම්බලම්පිටිය, දවට බැබිල (දවට බැවිල), පද්බේරියගම (පත්බේරිය), මෙනේරිපිරිය, උස් ඇල්ල, මිල්ලවිටිය, කඳන්ගොඩ, තැඹිලියන්ගම (තැඹිලියාන) වලඳුරේ, ඉඹුල්දෙණිය (ඉඹුල්පිටිය) ඉඳුරුව, ගුරුලුවන් ගඟ (කුරු ගඟ) බටේපොල, පලාබද්දල ආදී ග්‍රාම සහ ස්ථාන නාම තිබේ.

පා ගමනින් සිරිපා කරුණා කිරීම වත්මනේ බොහෝ දෙනකුට සුරංගනා කතාවක් මෙනි. එහෙත්, එය ඉතා රසවත් අත්දැකීමක් බව මට මුල්වරට අසා දැන ගත හැකි වූයේ 1980 වසරේදී ය. ඒ ගණේමුල්ල, හොරගොල්ල, කොස්හේන හන්දියේ පදිංචිව සිටි ඒ වන විට ද අසූ තුන් හැවිරිදි අප “ඒරිස් සීයා” යනුවෙන් හඳුන්වනු ලැබූ එස්. ඒරිස් සිල්වා මහතාගෙනි.

එරිස් සීයාගේ කතාව

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය

“මෙහේ ඉඳන් පයින්ම සිරීපාදෙ යන්න පුළුවන් අපූරු පාරක් තියනවා. මාත් පුංචි කාලේ වතාවක් දෙකක් ඔය පාරෙන් සිරිපාදේ ගිහින් තියනවා. ඒක හරිම විනෝදාත්මක ගමනක්. මෙහෙන් (ගණේමුල්ලෙන්) ගිහින් නක්කාවල තොටුපළෙන් කැලණි ගඟෙන් එගොඩ වුණාම සමන් දෙවියන්ගේ අඩවිය. පස්සෙ සීතාවක ගඟෙන් එගොඩ වෙලා මානියංගමට ගිහින් එතැනින් පනාවලට යන්න ඕනේ; ඊට පස්සේ අම්බලම්පිටිය හම්බු වෙනවා. ඒ ගමන් පහු වුණාම තමයි හිමේ” ‘ඒරිස් සීයා’ කී අයුරු මට තවමත් මතක ය. මගේ අනුමානයට අනුව ඒරිස් සීයා එසේ සිරි පා කරුණා කරන්නට ඇත්තේ විසි වෙනි සියවසේ මුල්ම දශකයේ විය යුතු ය.

“ඔය කාලේ මේ සියනෑ, අලුත් කුරු වගේම හාපිටිගම් කෝරල වල මිනිස්සුන්ට සිරිපාදේ කරුණා කරන හැටි කියලා දෙන අයුරු කවි පොතක් තිබුණා. ඒක ඔය හාපිටිගම් කෝරල් කුකුල්නාපේ උපාසක කියලා කෙනෙක් එක් දාස් අටසිය ගණන්වල ලියපු කවි පොතක්. ඒ පොතේ කවි සීයක් හමාරක් තිබුණා. හාපිටිගම් කෝරලේ මිනිස්සු සිරිපාදේ යන කොට ඉස්සර වෙලාම නතර වෙන මීවිටිගම්මන අම්බලමේ ඉඳලා හැම නවාතැන් පලක් ගැනම ඒ කවි පොතේ තිබුණා. ඒ වගේම අතරමඟ දී දිය නාගන්න පුළුවන් ඇළ දොළ ගංගා, අතරමඟ පල වැල හම්බුවෙන තැන්, ඒ ඒ ගම්වල ඉන්න මිනිස්සුන් ගේ හොඳ ගිහි ගති ගුණ පවා ඒ කවි පොතේ බොහොම ලස්සනට ලියලා තිබුණා” ඒරිස් සීයා කීය. ඔහු වැඩිදුරටත් කී අන්දමට අපවත් වී වදාළ සිරි විභවතිස්ස නම් හිමියන් ගේ පොත් එකතුවේ තිබී කියැවූ ඒ ශ්‍රීපාද ගමන් වර්ණනා කවි පොතේ තිබූ ඇතැම් කටපාඩමින් පවා කිව හැකි තරමට රසවත් ය. “සිනා” පිරුණු මිනිසුන් “මනා” පයෙන් දෙන සංග්‍රහ භුක්ති විඳීමට “පනා”වලින් ගලා යන ගොමළු ඔයෙන් “නො නා” නම් ඉන්න එපා යන අදහස සහිත මුල සහ අග එළි සමය සහිත රසවත් කවියක් ඒරිස් සීයා එකල කටපාඩමින් කී මුත් මට දැන් එය මතක නැත.

ඒ අනුව එවක මගේ මුල්ම අදහස වූයේ සම වයසේ මිතුරන් කිහිප දෙනකු ද සමඟ ඒරිස් සීයා කී අපූරු මං පෙත ඔස්සේ පා ගමනින් සිරි පා කරුණා කිරීමට ය. එහෙත්, ඊට මුල් වූ සිරිපා වන්දනා මාර්ගෝපදේශන කවි පොත තබා එය ලියූ බව පැවසෙන කුකුල්නාපේ උපාසක පිළිබඳවත් කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වීම මත ඒ අදහස දිනෙන් දින යටපත් විය. පසුව 1994 සහ 1995 වසර වල ශ්‍රීපාද වන්දනාව ආශ්‍රිත සබරගමු ජනශ්‍රැති පිළිබඳ අධ්‍යයනයක යෙදෙන අතරේ ද මට ඒරිස් සීයා කී කුකුල්නාපේ උපාසක ගේ කවි පොත යළි සිහියට නැංවිණි. ඒ අනුව මම එවක එවැන්නක් තිබේදැයි රාජ්‍ය ලේඛනාගාරයෙන් සහ ජාතික කෞතුකාගාර පුස්තකාලයෙන් විමසා බැලීමි. මුත් එවැනි කෘතියක් හෝ කතුවරයෙකු පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. එසේ කොළඹ ගල්කපනාවත්ත නම් තැනක සිට සිරිපා වන්දනා චාරිකාවන් හි අසිරිය විදහා දැක්වෙන සිරිපා ගමනාලංකාරය (1896; පී. ජේ. ප්‍රේරා කොළඹ) සහ පානදුරෙන් ඇරඹෙන සිරිපා වන්දනා චාරිකාවන් හි අසිරිය විදහා දැක්වෙන සුමන ශෛල මාර්ගාලංකරණය (1891; දොන් කොරනේලිස් අප්පුහාමි ෆොන්සේකා) යන කාව්‍ය පුස්තිකා පිළිබඳ තොරතුරු සොයා ගත හැකි වුවද මේ කුකුල්නාපේ උපාසකට හෝ ඔහුගේ කවි පොතට කුමක් වීදැයි සිතා ගැනීමට පවා නොහැකි විය.

හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ සහ කැලණි විශ්වවිද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා මට මුල්වරට හමුවූයේ 1997 වසරේ ය. වත්මන් ගම්පහ දිසාවේ සියනෑ කෝරල ගැමියකු වන ඔහුගෙන් ද මම මේ කුකුල්නාපේ උපාසක ලියූ අපූරු ශ්‍රීපාද වන්දනා මාර්ගෝපදේශන කාව්‍ය සංග්‍රහය ගැන අසා සිටියෙමි. “එක්දාස් නවසිය හැත්තෑවේ සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අගමැති පදවියට පත් වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට අත්තනගල්ල අවට යටපත් වුණු අතීත උරුමයන් යළි ඉස්මතු කරන්න ලොකු වුවමනාවක් තිබුණා. ඔය කාලේ සමහරු ඊට අවුරුදු සීයයකට විතර කලින් ලියැවුණු සිරිපා ගමන් විස්තර කවි පොතක් ගැන කටුගෙයින් විමසුම් කළා මතකයි. මට මතක හැටියට මහාචාර්ය විමල් බලගල්ලේ, ඒ. වී. සුරවීර වගේ ගම්පහ දිසාවෙන් බිහි වුණු විද්වතුන් පවා ඔය වගේ සිරිපා ගමන් විස්තර කවි පොතක් ගැන යම් යම් තොරතුරු දැන ගෙන හිටියා. නමුත් ඒකේ මුද්‍රිත පිටපතක් නම් කටුගේ වත් රාජ්‍ය ලේඛනාගාරෙවත් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒ උනන්දුව එහෙමම යටපත් වෙලා ගියා” ආචාර්ය ලක්දුසිංහ කීය.

කුකුල්නාපේ උපාසක ගේ සිරිපා වන්දනා මාර්ගෝපදේශන කාව්‍ය

මෑත කාලීන උපදේශන සාහිත්‍ය අතුරින් විශේෂ ස්ථානයක් හිමි කර ගන්නා “සිරිත් මල්දම” නම් කාව්‍ය සංග්‍රහය ද ගම්පහ දිසාවේ කිරිඳිවැල ආණ්ඩුවේ පාසලේ මුල් ගුරු එල්. එල්. ද සිල්වා ගුරු මුහන්දිරම් නම් විද්වතකු විසින් 1895 වසරේ දී රචනා කරන ලද්දකි. පසුව එය රජය විසින් පාසල් කියැවීම් පොතක් ලෙස නිර්දේශ කරන ලදී. ඒ අනුව මෙම කුකුල්නාපේ උපාසක ගේ සිරිපා වන්දනා මාර්ගෝපදේශන කාව්‍ය සංග්‍රහය පසුකාලීනව හෝ කිසිවකු ගේ එවන් අගැයීමට ලක් නොවූයේ ඇයි ?

“මධුර ජවනිකා නාට්‍යය පුහුණු කරන දවස්වල දයානන්ද ගුණවර්ධන මහත්තයත් මීරිගම පැත්තේ උපාසක කෙනෙකු ලියපු හරි ලස්සන සිරීපාද වන්දනා චාරිකා විස්තර කවි පොතක් තියනවා; ඒත් ඒකේ පිටපතක් සොයා ගන්න නෑනේ කියලා කීප සැරයක්ම කිව්වා මට මතකයි. එතුමා එහෙම කිව්වේ ඒ නාට්‍යයට සින්බෑඩ් ද සේලර් ගේ ලංකා ගමන තාඹුගල ලෝකරු නන්දේ ලියපු කැලණි හෑල්ල වගේ විස්තර එක්කර ගත්තු නිසා” මගේ පාසල් මිතුරකු ද වන ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී ද පසු කාලෙක එසේ කීය. දයානන්ද ගුණවර්ධනයන් ද ගම්පහ දිසාවෙන් බිහි වූ සුවිශිෂ්ට කලාකරුවෙකි.

රජරට විශ්වවිද්‍යාලයීය භාෂා අධ්‍යයන, සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියෝ ද එම විශ්වවිද්‍යාලයීය මානව විද්‍යා අධ්‍යයන 5(1) වෙළුම 2019 සඳහා “සිංහල සාහිත්‍ය ඉතිහාසයෙහි සංක්‍රාන්ති කාල පරිච්ඡේදයෙහි මාර්ග වර්ණනා පිළිබඳ විමර්ශනයක්” යනුවෙන් ශාස්ත්‍රීය ලිපියක් සම්පාදනය කොට තිබේ. එහෙත්, එහි ද මෙම කුකුල්නාපේ උපාසක හෝ ඔහුගේ ශ්‍රීපාද වන්දනා මාර්ගෝපදේශ කාව්‍ය සංග්‍රහය පිළිබඳ සඳහනක් නැත.

එමෙන්ම මෙහි දී මා අතින් ද විශාල වරදක් සිදු වූ බව ඒකාන්ත වශයෙන්ම පිළිගත යුතුව තිබේ. එනම් ඒරිස් සීයා දී කියැ වූ එම කවි පොත අත් පිටපතක් ද නැතහොත් මුද්‍රිත පිටපතක් ද යනුවෙන් හරි හැටි අසා දැන නොගැනීම ය. එහෙත්, එය අත් පිටපතක් නම් පසුකලෙක එතරම් විශාල පිරිසකගේ දැන හැඳුනුමට ලක්වූයේ කෙසේද? ඒ අනුව ගත වූ කාලය තුළ කිනම් හෝ හේතුවක් මත පණ පිටින් මිහිදන් කොට ඇති බවක් හැඟෙන මෙම කුකුල්නාපේ උපාසක කවියා සහ ඔහුගේ ශ්‍රීපාද වන්දනා චාරිකා මාර්ගෝපදේශන කාව්‍ය සංග්‍රහය පිළිබඳ උපරිම තොරතුරක් අනාවරණය කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් දියත් කළ යුතු යැයි මට සිතිණ.

කුකුල්නාපේ යනු ගම්පහ දිස්ත්‍රික්කයේ පල්ලෙවෙල ආසන්නයේ පිහිටි ගමකි. ඒ ග්‍රාම නාමය ඇසුණු සැණින් අපගේ මතකයට නැඟෙනුයේ කොළඹ විද්‍යෝදය මහ පිරුවනින් බිහි වූ මහ පඬි රුවනක වූ කුකුල්නාපේ දේවරක්ඛිත හිමිපාණන් ය. විසිවන සියවසේ මුල් භාගයේ විද්‍යෝදය පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය පදවිය හෙබ වූ කුකුල්නාපේ දේව රක්ඛිත හිමියන් ධර්ම ශාස්ත්‍රීය විෂයන් සම්බන්ධ ප්‍රාමාණික දැනුම් සම්භාරයක් හිමිකර ගත් මහ යති වරයෙකි. එමෙන්ම ඒ වන විට විවිධ සමාජයීය කර්තව්‍යයන් උදෙසා ශ්‍රමණ ප්‍රතිපදාවන්ගෙන් බැහැර වන්නට වෙර දැරූ සමකාලීන සංඝ සමාජය තුළ භික්ෂු ආකල්ප ප්‍රවර්ධනය කිරීමට බලවත් වෙහෙසක් දැරූ කුකුල්නාපේ හිමිපාණෝ ඒ උදෙසා පල්ලේවෙල වික්‍රමශීලා විදර්ශනා පිරුවන පිහිටුවා මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය වැනි බෞද්ධ ප්‍රතිපදා මාර්ගය හා සෘජු සබැඳියාවන් සහිත ස්ථාන ස්ථාපිත කරවීමෙහි ලා සුවිසල් දිරි ගැන්වීම් කළහ. ඒ බුදුන් වදාළ පරිදි ග්‍රන්ථ ධුරයට වඩා විදර්ශනා ධුරයේ උතුම් බව වටහා ගනිමිනි. එමෙන්ම මහාචාර්ය විමල් බලගල්ලේ වැනි පෙරදිග භාෂා ශාස්ත්‍ර පිළිබඳ මහ පඬිවරුන් රැසක් ද උන් වහන්සේ ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් වෙති. ඒ අනුව මෙම “කුකුල්නාපේ උපාසක” නමින් ලියන ලද පද්‍ය සංග්‍රහය කුකුල්නාපේ දේව රක්ඛිත හිමියන් ආරූඪ නමකින් ලියන ලද්දක් ය යන සැකය පළමුව මා තුළ පහළ විය.

“කුකුල්නාපේ උපාසක කියලා කෙනෙක් ගැන නම් මතකයක් නැහැ. නමුත් උපාසක ගෙදර කියලා ගෙයක් නම් මේ ‘කුකුල්නාපේ තියනවා” පල්ලේවෙල, කුකුල්නාපේ ගම්මානයේ දී හමු වූ වියපත් ගැමියෙක් මා හා කීය. ඒ අනුව මට එසැණින් පල්ලේවෙල, මැදගම්පිටිය පාර අද්දර පිහිටි කුකුල්නාපේ අංක 98 දරන එම උපාසක ගෙදරට හනි හනිකට සේන්දු වීමි. ඒ වන විට එහි ගෘහමූලිකයා වූයේ හැත්තෑ තුන්හැවිරිදි එම්. ටී. තිලකරත්න මහතා ය.

“මගේ අම්මාගේ තාත්තාගේ නම ආර්. ජී. අල්විස් අප්පුහාමි. එයාට ඒ කාලේ ගමේ හැමෝම කියලා තියෙන්නේ උපාසක මහත්තයා කියලා. ඒක තමයි ඒ කාලේ මිනිස්සු මේ ගෙදරට උපාසක ගෙදර කියලා තියෙන්නේ.” මා එහි පැමිණි කරුණ පැහැදිලි කළ විට ඔහු කීය.

“එතුමා මොන කාලේ වගේද ජීවත් වෙලා තියෙන්නේ”, ඒ සමඟම මම ඇසීමි. “මගේ අම්මා බේබි නෝනා, ඉපදිලා තියෙන්නේ 1920 අවුරුද්දේ. දරුවෝ හය දෙනෙක් හිටපු පවුලේ අම්මා තමයි බාලයා, එතකොට අපේ ඔය සීයා ඉපදිලා ඇත්තේ 1870 වගේ වෙන්න ඕනේ” තිලකරත්න මහතා කීය.

“ඒ උපාසක මහත්තයාට හොඳට කවි ලියන්න කියන්න එහෙම පුළුවන් කියලා අහලා තිබුණද?” මම යළි ඇසීමි.

“කවි ලිවීම කොහොම වුණත් සීයා බණ දහම් වගේම සිංහල, පාලි සංස්කෘත හොඳට දන්න පඬිවරයෙක්. අපේ අම්මාටත් ඒ දැනුම සෑහෙන දුරට තිබුණා. අම්මාට පාලි සංස්කෘත විතරක් නොවෙයි දේව නාගර අකුරු කියවන්නත් පුළුවන්කම තිබුණා. අනික අපේ ඒ සීයා තමයි කුකුල්නාපේ දේවරක්ඛිත හාමුදුරුවන් ගේ කැපකාර දායකයා. මම හිතන්නේ අපේ සීයයි හාමුදුරුවොයි අතරේ බොහොම ගැඹුරු ධර්ම ශාස්ත්‍රීය සංවාද එහෙමත් ඇති වුණා. මේ ගෙදරට උපාසක ගෙදර කියලා ගම්මු කිව්වෙත් සීයාගේ ඒ ධර්ම ඥානය හින්දම තමයි” තිලකරත්න මහතා එසේ පැවසූ මුත් ඔහු “කුකුල්නාපේ උපාසක” නමින් සිරිපා මාර්ග වර්ණනා පද්‍ය සංග්‍රහයක් ප්‍රබන්ධය කළ බව ඔහු දැන සිටියේ නැත.

“ඕක ඔය අල්විස් අප්පුහාමි කියන කෙනාම තරුණ කාලේ ඔය කියන පාරෙන් කීප සැරයක් සිරිපාදේ ගිහින් ඒ අත්දැකීම් පදනම් කර ගෙනම ලියපු කවි පෙළක් වෙන්න බැරිද?

කොහොම හරි පහුකාලෙක ඕක කුකුල්නාපේ දේවරක්ඛිත හාමුදුරුවෝ අතට පත් වෙලා ඒ කවි පන්තියේ තියන රසවත් බව හින්දම උන්වහන්සේ ඒ අත්පිටපත විද්‍යෝදය පිරිවෙනට අරන් යන්න ඇති. එහෙම වුණා නම් ඒක කවි පන්තියක් විදිහට වගේම චාරිකා සටහනක් (Travelogue ) හැටියටත් වැදගත් නිසා පිරිවෙනේ හිටපු සියනෑ, අලුත්කුරු වගේම හාපිටිගම් කෝරල වල හාමුදුරුවරු ඒක පිටපත් කර ගෙන තම තමන් ගේ පන්සල්වලට අරන් යන්න ඇති. මම හිතන්නෙන් ඔය ඒරිස් සීයා කියන කෙනාටත් හාමුදුරු නමකගෙන් ලැබෙන්න ඇත්තේ ඒ කවි පන්තියේ පිටපතක්” පසුව මෙතෙක් කාලයක් වැලිතලාවන්ගෙන් වැසී ගිය ඒ කුකුල්නාපේ උපාසක නම් කවියා ගේ අනන්‍යතාව සම්බන්ධ සාධාරණ අනුමානයකට තුඩු දෙන ඒ අදහස මා හමුවේ ගෙන හැර දක්වන ලද්දේ ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ සූරීන් විසිනි.

එමෙන්ම කුකුල්නාපේ දේව රක්ඛිත හිමියන්ගේ ශිෂ්‍ය පරපුරට අයත් මහාචාර්ය විමල් බලගල්ලේ වැනි පඬිවරුන් හැත්තෑවේ දශකයේ එම කෘතිය පිළිබඳ යළි විමසුමක් කොට ඇත්තේ ද එම මාහැඟි පද්‍ය සංග්‍රහයේ ගුණ සුවඳ මැනැවින් ආඝ්‍රාණය කොට තිබූ නිසා බව මගේ වැටහීම ය.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment