පිරිත් බලයෙන් ලෙඩ සුව කරන ක්‍රමය හොයපු අපූරු මෙහෙයුම – ආචාර්ය කසුන් නාගොඩවිතාන

592

මන පිරිත ශ්‍රවනය කරන අයෙකුගේ මනස වෙනස් වන ආකාරය ගැන සෙවූ විද්‍යාත්මක ක්‍රමය

බුද්ධ භාෂිතයක් වන මහ පිරිත බෞද්ධාගමිකයන් අතර කාලයක සිට මනුෂ්‍යන්ට වැළඳෙන විවිධ වූ රෝග පීඩාවලින් සුවය ලැබීමේ චිකිත්සක ක්‍රමවේදයක් ලෙස භාවිතා කර ඇත. මිනිසුන්ට වැළඳෙන විවිධ වූ කායික සහ මානසික රෝගවලට එක් ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලෙස දීර්ඝ කාලයක සිට ඊට බොදුනුවන් අතර අපමණ විශ්වාසයක් ගොඩ නැගී ඇත. දීර්ඝ කාලයක සිට මිනිසුන් යමක් මත විශ්වාසය තබන්නේ නම් එහි යමක් තිබිය යුතුය. නමුත් එය නූතන විද්‍යාත්මක ලෝකය තුළ තහවුරු කරන්නේ කෙසේද? විශ්වපානී ආධ්‍යාත්මක එකමුතුව එම අභියෝගයට අත තබමින් සිංහල බෞද්ධ ජන මනසේ රෝගාබාධ සුවකරන මහ පිරිත් දේශනය පිළිබඳ වටිනා පරික්ෂණයක් සිදුකර තිබෙන්නේය. ආචාර්ය කසුන් නාගොඩවිතානගේ මූලිකත්වයෙන් සිදුකර තිබෙන මේ පරීක්ෂණයේදී පුද්ගල මනස මහ පිරිත් දේශනය ශ්‍රවණය කළ විට ඇතිවන වෙනස විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ නිරීක්ෂණය කර ඇත. දීර්ඝකාලීන විශ්වාසයක් ඇති ආගමික සංකල්පයක් පිළිබඳ පරීක්ෂණයක් හෝ සිදුකිරීම අභියෝගාත්මක කාර්යක් බව කියන ආචාර්ය කසුන්
නාගොඩවිතාන මේ පර්යේෂණය සිදු කිරීමේ පසුබිම පිළිබඳ විග්‍රහයක යෙදන්නේ මෙසේය.

“සෑම මනුෂ්‍යයෙක්ම සම්පූර්ණ වන්නේ භෞතික ශරීරයක්, මනසකින් සහ ආත්මය හෙවත් ඊතලික ශරීරයකින්. එම තත්ත්වයන් තුන සම්පූර්ණ වූ විට අපි ඔහුව මිනිසෙක් හෙවත් පුද්ගලයෙක් ලෙස හඳුනාගන්නවා. එකී තත්ත්වයන් සම්පූර්ණ වන මිනිසුන්ගේ එකී තත්ත්වයන්ට ඇතිවන ලෙඩ රෝග විවිධාකාරයි. ඒ ඇතැම් ලෙඩ රෝග පුද්ගලයන්ගේ භෞතික ශරීරයට වැළඳෙන රෝගයන්. එම රෝග අතර පියවි ඇසින් දැකිය හැකි නිරීක්ෂණය කළ හැකි ලෙඩ රෝග තිබෙන බව ඔබ දැකල ඇති. ඒ අතර සෑම පුද්ගලයෙක් තුළම මානසික ලෝකයක් හෙවත් මනසක් කියා දෙයක් තිබෙනවා. එම මානසික ලෝකය තුළ ද රෝග හටගන්නවා. පුද්ගලයෙක් රෝගාතුර වන අනෙක් අවස්ථාව වන්නේ ඔහුගේ ඊතලික තත්ත්වය තුළ හටගන්නා ලෙඩ රෝග. මනෝකායික ලෙඩ රෝග ලෙස හඳුන්වන්නේ එවැනි ලෙඩ රෝගයන්ට. පුද්ගලයන් තුළ හටගන්නා මේ මනෝකායික රෝගයන් සුවපත් කිරීම භෞතික ශරීරයට කරන ප්‍රතිකාරවලින් නොහැකියි. මානසික ප්‍රතිකාර ක්‍රමවලිනුත් එය සුව කළ නොහැකියි. ඒ සඳහා කළ යුතු වන්නේ ආධ්‍යාත්මික ප්‍රතිකාරයි. එම ආධ්‍යාත්මික ප්‍රතිකාර කිරීමේදී අපි භාවිතා කරනවා විවිධාකාර චිකිත්සක උපක්‍රම. සිංහල බෞද්ධ අය වෙනුවෙන් භාවිතා කරන එහි ප්‍රධාන චිකිත්සක ක්‍රමයක් තමයි පිරිත් දේශනාව. මහ පිරිත් දේශනය අපේ මිනිසුන්ගේ ජන මනස තුළ එවැනි රෝග සුවපත් කිරීමේ චිකිත්සක ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම කොතරම් ප්‍රතිඵල දායක ද කියල සොයා බැලීමට අපි යොමුවන්නේ පසුගිය වසර දහයක සිට මහ පිරිත් දේශනාව යොදාගෙන මම කරගෙන ආව ආධ්‍යාත්මික ප්‍රතිකාරවලදී ලැබූ අද්දැකීම් එක්ක. මොකද පිරිත් කිව්වාම පුදුමාකර විදියට මිනිස්සු කායික සහ මානසික සුවයක් ලබනවා. මට මේ ගැන කුතුහලයක් තිබුණා. ඒ නිසා මහ පිරිතේ රෝග සුව කිරිමේ චිකිත්සක ගුණ සම්බන්ධව පර්යේෂණයක් කිරීමට අපේ අධි භෞතික සංගමයට යෝජනාවක් ගෙනාවා.

පිරිත් බලයෙන් ලෙඩ සුව කරන ක්‍රමය හොයපු අපූරු මෙහෙයුම - ආචාර්ය කසුන් නාගොඩවිතාන

එතනදි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ මේ වනවිට ලෝකයේ දියුණු වෙමින් පවතින නව විෂය පථයක් වන ආධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාවට. මේ විෂයෙදි කෙරෙන්නෙ යම් යම් පුද්ගලයන් ආගමික සන්දර්භය තුළ හැසිරෙද්දි පුද්ගල මොළයේ ඇතිවෙන වෙනස්කම් සොයාබැලීම. ප්‍රධාන වශයෙන් ස්නායුවල ඇතිවන වෙනස්කම් මෙම විෂයෙන් අධ්‍යනය කරනවා. එය තමයි අපිත් මේ පර්යේෂණය සඳහා මූලිකව යොදා ගත්තේ. එතනදි අපි පර්යේෂණ අරමුණු කීපයක් යොදාගන්නවා. ලෝකය තුළ පිරිත් කියන එක විග්‍රහ වෙන්නෙ පුනරාවර්තනීය ආගමික පාඨ ලෙස. මේ පුනරාවර්තනීය ආගමික පාඨ මානව සංහතිය තුළ වර්ධනව පැවත ආ ආකාරය අධ්‍යනය කිරීමත් මේ පර්යේෂණයේ එක් අරමුණක්. ඒ වගේම මේ පුනරාවර්තනීය ආගමික පාඨ ඇතුලේ තිබෙන මනෝ විද්‍යාත්මික ක්‍රියාවලිය මොකක්ද? එසේම අපේ සංස්කෘතිය ඇතුලේ මේ ආගමික පාඨ විකාශය වූ ආකාරය ගැනත් අපි අධ්‍යයනය කළා. එසේම පිරිත් දේශනාව ශ්‍රවණයේදී මිනිස් මොළයේ ජනිත වන මොළ තරංග ආයාමයන් ගැන අපි අධ්‍යයනය කළා. එසේම එහිදී පුද්ගල ශරීරයේ සිදුවන ජීව විද්‍යාත්මික වෙනස්කම්, ඒ වගේම එම අවස්ථාවලදී සිදුවන බාහිර පරිසරයේ වෙනස්කම් ගැන අපේ අවධානය යොමු වුණා. ඒ වගේම මතයක් තියනවා පිරිත් ගායනා කරන්න ඕන ස්වරයක් තියනවා කියල. ඒ නිසා අපි බැලුවා මේ සඳහා තරංග ආයාමයක් තිබෙනවාද කියල. මහ පිරිත චිකිත්සක ක්‍රවේදයක් ලෙස රෝග සමනය සිදුවන ආකාරය ගැන මේ අධ්‍යයනයේදී යම් අදහසක් ගැනීමත් මේ පර්යේෂණයේ තවත් අරමුණක් වුණා. අවසන් අරමුණ තමයි බෞද්ධ ධර්මයේ කූටප්‍රාප්තිය වන නිවන සඳහා පිරිත් දේශනාව දායක වන ආකාරය ගැන අදහසක් ගොඩ නගා ගැනීම.

මේ අරමුණු ඔස්සේ ප්‍රායෝගික පර්යේෂණ සිදුකළේ ස්ථාන අටකදී. පැලවත්තේ ටයිම් ඇන්ඩ් ස්ටුඩියෝ ශබ්දාගාරය, මාතර ශ්‍රී සුධර්මාරාම පොත්ගුල් විහාරය, ඌරාපොළ ප්‍රජාපති ගෝතමී සීලමාතා ආශ්‍රමය, අත්තනගල්ල සිසිලාරාම ආශ්‍රමය, බහිරවකන්ද ශ්‍රී මහ බෝධී රජමහ විහාරය, අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය වැනි ස්ථානවලදී මේ පර්යේෂණය සිදු කෙරුණේ. ඒ ස්ථානවලදී මහ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට සලස්වමින් මොළයේ තිබෙන තරංග ආයාමය මැන බැලීම සිදු කෙරුණා. පරිසරයේ වායු පීඩන සහ උෂ්ණත්වය මනින සංවේදක උපකරණ යොදාගැනීමෙන් ඒ අතර තුර පරිසරයේ යම් වෙනසක් සිදුවෙනවාද කියා සොයා බැලුවා. චුම්බක ක්‍ෂේත්‍රවල වෙනස්කම් සිදුවීම, මිනිසාට සාමාන්‍යයෙන් ශ්‍රවණය නොවන පරාසයක ශබ්ද පරිසරයේ ඇතිවේදැයි සොයා බැලුවා. ආර්ද්‍රතාව මනින උපකරණ යොදාගෙන ඒ වෙනස්කම් ගැන අධ්‍යනය කළා. එසේම විනාඩි විස්සක් පමණ පිරිත් ශ්‍රවණයට සැලසීමෙන් ඒ පුද්ගලයාගේ ශරීරයේ උෂ්ණත්වය වෙනසක් ඇතිවෙනවාදැයි අවස්ථා කීපයකදී සොයා බැලුවා. එම පුද්ගලයාගේ ශරීරයේ රුධිර පීඩනය, හෘද ස්පන්දනය, සීනි මට්ටම වැනි කරුණු කෙරෙහිත් එම අවස්ථාවලදීම අවධානය යොමු කළා. ඒ වගේම පිරිත් දේශනය අසල තිබෙන වතුර භාජනයක පී.එච්. අගය වෙනසක් වේදැයි සොයා බැලුවා. මේ සියල්ල යොදා කරපු සොයා බැලීමේදී අපිට හඳුනාගන්න ලැබුණේ මොළයේ තිබෙන ඇල්ෆා, බීටා, ටීටා සහ ගැමා තරංගවල වෙනස්කම්. ඇත්තෙන්ම පිරිත් දේශනය නිසා පරිසරයේ වෙනස්කම් ඇතිවෙනවා අපේ තාක්ෂණික උපකරණවලින් පෙන්නුම් කළේ නෑ මොළයේ තිබෙන තරංගවල වෙනස්කම් තමයි එතනදි පෙන්නුම් කළේ. මේ නිරීක්ෂණයත් එක්ක අපිට මතක් වෙන්නෙ මිනිසුන්ගේ අවිඥානික මනසට කතා කරන මෝහන සිද්ධාන්තය. මෝහනයේදිත් ටීටා තරංග වැඩිවෙනවා. පිරිත් ශ්‍රවණයේදිත් වැඩි වෙන්නෙ ශරීරයේ ටීටා තරංග. ඉතින් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගේ ටීටා තරංග එන්න නම් ඒ පුද්ගලයා නොගැඹුරු නින්දකට යන්න ඕන. හැබැයි පිරිත් ශ්‍රවණය කරපු අය නිදාගත්තෙ නැතිව ටීටා තරංග වැඩි වුණේ. ඉතින් පිරිතේ තියෙන්නෙ තමන් සුවපත් වීමේ මාර්ග. මහා මංගල සූත්‍රයේ තියෙන්නෙ ප්‍රායෝගික ජීවන කුසලතා ගැන. රතන සූත්‍රයේ බුදු හාමුදුරුවන්ගේ ආනුභාව බලය කියල ලබා දෙන්නේ පුද්ගලයෙකුගේ ආත්ම ශක්තිය වැඩි කිරීමේ සිතිවිලි. කරණීය මෙත්ත සූත්‍රයේදී කරුණාව පිළිබඳ සිතිවිලි ඇති කරනවා. මහ පිරිත සජ්ඣායනා කරද්දි හෝ ශ්‍රවණය කරද්දි අපි දන්නෙ නෑ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මේ සිතුවිලි තැන්පත් වෙලා ඉවරයි. ඉතින් මොකක් හරි අසනීපයක් තිබ්බොත් අපි දන්නෙත් නෑ ඒක සනීප වෙනවා. ඒකයි මේ පර්යේෂණයේදී අපට ලැබුණ නිරීක්ෂණ මගින් අපි ඉදිරිපත් කරන තර්කය.

ඊළඟ කාරණාව තමයි සිංහල බෞද්ධ මනස දැඩිව සම්බන්ධ වෙලා තිබෙන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන බල මූලාශ්‍ර තුනත් එක්ක. ඒ නිසා පිරිත් ශ්‍රවණයේදී හරි පහසුවෙන් සිංහල බෞද්ධ මනස තුළ චිකිත්සක තත්ත්වයක් ඇතිවෙනවා. මේ චිකිත්සක තත්ත්වය තමයි අපි හැමෝගෙම ශරීරයේ තිබෙන ස්වයං සුවපත් වීමේ පද්ධතිය පිරිත් ශ්‍රවණයේදී වඩා හොඳින් ක්‍රියාත්මක වෙන එක. මෙන්න මේකයි මහ පිරිත ශ්‍රවණය කිරීම ගැන අපි සොයා ගත්තේ.”

ආචාර්ය කසුන් නාගොඩවිතාන ස්වකීය පර්යේෂණය සිදු කළ ආකාරය ගැන එසේ පැහැදිලි කළේය. ඔහුගේ එම දීර්ඝ ගැඹුරු පැහැදිලි කිරීම අප මෙහි සටහන් කළේ සංක්ෂිප්තව හැකිතාක් සරලවය. මේ පර්යේෂණය පදනම්ව ඔහු විසින් විශ්වපානී අධිභෞතික සංගමය හා එක්ව ‘සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහ පිරිත’ යනුවෙන් අගනා ග්‍රන්ථයක් ද ජනගත කර තිබේ.

ආචාර්ය කසුන් නාගොඩවිතානට මේ පර්යේෂණ සඳහා රුකුලක් වූ විශ්වපානී අධ්‍යාත්මික එකමුතුව බිහිවන්නේ ආගමට ඔබ්බෙන් තිබෙන ආධ්‍යාත්මික අර්ථය ගවේෂණය කිරීමේ අරමුණ ඇතිවය. ඔවුන් ආචාර්ය කසුන් නාගොඩවිතාන මූලික කරගෙන පිරිත් දේශනාවෙන් මිනිසාට සිදුවන බලපෑම පිළිබඳ මේ නව සත්‍යතාව ඉදිරිපත් කර තිබේ. එය නූතන තාක්ෂණික ලෝකය තුළ අගාමික සන්දර්භයේ ස්ථාවරත්වය තහවුරු කිරීමටද පිටිවහලක් වී තිබේ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment