පොතුපිටිය තිදරු මවකගේ ගෙල කපා මරාදාලා

602

සැකකාර සැමියා සොයා පොලිස් විමර්ශන

වක් පිහියකින් ගෙල කපා 57 හැවිරිදි තිදරු මවක් රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ දී ඝාතනය කර ඇතැයි පොතුපිටිය පොලිසිය පවසයි.

පෙරේදා (02 දා) උදෑසන මෙම ඝාතනය සිදුවී තිබේ. මියගිය කාන්තාවගේ ගෙල වෙන්වන ලෙසම කපා දමා ඇතැයි පොලිසිය කියයි. මෙම ඝාතනය ගැන සැක කෙරෙන මියගිය කතගේ සැමියා ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොතුපිටිය පොලිසිය පැවසීය.

මෙලෙස ඝාතනය කර ඇත්තේ පොතුපිටිය පොලිස් වසමට අයත් කෝපිකෑල්ල පදිංචි 57 හැවිරිදි අබේසිංහ ආරච්චිගේ ප්‍රේමලතා නමැති තිදරු මවකි.

මෙම අඹුසැමි යුවළ අතර කලක පටන් නිතර නිතර අඬදබර සිදුවන අතර පෙරේදා දිනයේද උදෑසන දෙදෙනා අතර බහින් බස්වීමක් හටගෙන ඇත. ඉන් කළකිරීමට පත් බිරිඳ ඒ ගැන පොලිසියට පැමිණිලි කිරීම සඳහා නිවසින් පිට වී කෝපිකෑල්ල මාර්ගයේ තනිව ගමන් කරමින් සිටියදී කැලෑබද වෙනත් මාර්ගයකින් එම ස්ථානයට පැමිණ ඇති සැමියා ඔහුගේ අත තිබූ තේ කප්පාදු කිරීමට යොදා ගන්නා වක් පිහියෙන් බිරිඳගේ බෙල්ල වෙන්වන සේ කපා එම ස්ථානයේදීම ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය.

අනතුරුව ඝාතනයට යොදාගත් පිහිය සහ කඹයක් ද අතැතිව සැකකාර සැමියා ඒ අසල තිබූ කැලෑවට රිංගා සැඟවී සිටින බවද ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් දේහයට පොලිස් ආරක්ෂාව යොදා ඇති බව පොතුපිටිය පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පො.ප. සරත් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල මහතාගේ අධික්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් ඇත. මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ පස්වරුවේ පැවත්වීමට නියමිතව තිබුණි.

කහවත්ත – සමරවීර නිරෝෂණ සහ රක්වාන – ගබ්බෙල පියදාස

advertistmentadvertistment
advertistmentadvertistment