පොලිසිය භාරයේදී මැරෙන්න දෙන්නේ නැහැ

437

පොලිස්පති – නීතිපති මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතික වෙයි
පොලිස්පතිට උසාවියෙන් තුති

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පොලිසිය භාරයේ සිටියදීම මරණයට පත්වීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාව ඇතුළත් චක්‍රලේඛය පොලිස්පතිවරයා විසින් ඊයේ (03දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පසුගිය පෙබරවාරි 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් කරන ලද නියෝගයක් අනුව පොලිස්පතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ පොලිස් නීති කොට්ඨාසය විසින් සකස් කරන ලද එම මාර්ගෝපදේශ මාලාව හා චක්‍රලේඛය පොලිස්පතිවරයා ඊයේ පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටිමින් නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය.

පොලිස්පතිවරයා විසින් පසුගිය 25 වැනිදා නිකුත් කරන ලද එකී මාර්ගෝපදේශ මාලාව හා චක්‍රලේඛ මගින් පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් පොලිස් ස්ථාන තුළ රඳවා සිටියදී හෝ විවිධ පරීක්‍ෂණ කටයුතු සඳහා පිටතට රැගෙන යෑමේදී මරණයට පත්වීම වැළැක්වීමට අවශ්‍ය සියලු උපදෙස් ලබා දී ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නිරතුරුවම ඒ සම්බන්ධයෙන් අධීක්‍ෂණයෙන් පසුවන බවත් පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

තම අධිකරණයේ එකම අපේක්‍ෂාව වන්නේ පොලිස් අත්අඩංගුවේදී එවැනි මරණ සිදුවීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවන අපකීර්තිය වැළැක්වීම බවත් තම අධිකරණය නිකුත් කළ නොතිසි නියෝගය අනුව අධිකරණය හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මින් පෙර කර තිබූ නියෝගයක් අනුව එකී මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ස්තූතිය පුදකරන බව ද සභාපති විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද විවිධ පුද්ගලයන් විවිධ විමර්ශන සඳහා පිටතට රැගෙන යෑමේදී පොලිස් වෙඩි පහරින් මියයෑමේ සිද්ධීන් වළක්වා ගැනීම සඳහා නිසි මාර්ගෝපදේශ මාලාවක් සකස් කර පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කිරීමට හා එම මාර්ගෝපදේශ මාලාව තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි. එම නියෝගය ඉටුකිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ද දන්වා නිකුත් කර තිබූ නොතිසි අනුව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය. අධිකරණය විසින් කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වූයේ එකී මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් පුළුල්ව අධ්‍යයනය කර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගතවීම නිසා බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කනගාටුව ප්‍රකාශ කර සිටින බවත් පොලිසිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පැවසීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සමඟ එක්ව අධිකරණය හමුවේ පෙනී සිටිමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කළ එම කරුණු දැක්වීම් සලකා බැලූ බුවනෙක අළුවිහාරේ, ගාමිණී අමරසේකර හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නඩු කටයුත්ත අවසන් කොට පොලිස්පතිවරයා අදාළ නඩු කටයුත්තෙන් මුදාහැරීමට නියෝග කළේය.

2006 වසරේදී කොම්පක්‍ඳ්ක්‍ඳවීදිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ මොහොමඩ් ඉර්ෂාන් නමැති සිය සැමියා පොලිස් වෙඩිපහරින් මියයෑම අභියෝගයට ලක්කරමින් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන පාතිමා ෂර්මිලා නමැත්තිය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙර කී මාර්ගෝපදේශ මාලාව සකස් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment