බහාලුම් තුළ රඳවා ඇති ඖෂධ ගැන වගකීමෙන් ගැලවෙන්න බැහැ – වෛද්‍ය චමල් සංජීව

37

මෙරටට ගෙන්වන ඖෂධ බහාලුම් තුළ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් තමන්ට වගකීමක් ගත නොහැකි බවට වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කරන ප්‍රකාශ හෙළා දකින බව විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පැවසීය.

රාජ්‍ය ආයතනයක් වන ඖෂධ නීතිගත සංස්ථාව ආනයනකරුවකු ලෙස කටයුතු කරමින් ගෙන්වූ එම ප්‍රතිජීවක ඖෂධ තොග සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට බෝලේ පාස්කර වගකීමෙන් මිදිය නොහැකි බවද ඊයේ (12 දා) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා පැවසීය.

මාස කීපයකට පෙර සිට මෙසේ බහාලුම් තුළ ඖෂධ පවතින්නේ නම් එම ඖෂධ නිදහස් කර ගැනීම සහ ප්‍රතිකාර සඳහා එක්කර ගැනීමට මෙතෙක් පැවති ප්‍රමාදය රටට හෙළි කළ යුතු බවත් මෙම ඖෂධ ගෙන්වීමේ දී ද ප්‍රසම්පාදන දෝෂ සිදුවූයේ නම් ඒ පිළිබඳව වෙනම විමර්ශන සිදුකර අදාළ නිලධාරීන් නීතිය හමුවට පැමිණවිය යුතු බවද හෙතෙම පැවසීය.

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සමග කටයුතු කළ වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැඟිය නොහැකි බැවින් එම නිලධාරීන් ඉවත් කර නව නිලධාරීන් පත් කිරීමට වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍යයට වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment