බැස්ටියන් මාවතේ ඝාතනය ඇතුළු අපරාධ රැසකට සැක – ඇල්පිටියේ ජොසා වෙඩි කා මරුට

359

ගනේමුල්ලේ සංජීවගේ  කල්ලියේ ප්‍රධාන වෙඩික්කරු

පාතාල මර්දන  මෙහෙයුම් යළි ඇරඹේ

පොලිසිය පාතාල මර්දන මෙහෙයුම් නැවත ආරම්භ කිරීමෙන් පසු ගම්පහ බෙම්මුල්ල පිටියේගෙදර ප්‍රදේශයේදී ඊයේ (04 වැනිදා) අලුයම එල්ල කළ ප්‍රහාරයකින් මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ‘ඇල්පිටියේ ජොසා’ නමැත්තා මරුමුවට පත්වී ඇත.

පිටකොටුව බැස්ටියන් මාවතේදී දෙනෝදාහක් දෙනා බලා සිටියදී ටී 56 අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළේ මෙම පාතාල ප්‍රබලයා විසින් බව පොලිසිය පවසයි.

ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාගේ කල්ලියේ ප්‍රධාන වෙඩික්කරු බව කියන 42 හැවිරිදි විතානගේ ජෝෂප් කුමාර හෙවත් ඇල්පිටියේ ජොසා නමැත්තා මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූ පාතාල ප්‍රබලයා සතුව තිබී ටී 56 ගිනි අවියක් සහ ඔහුට අයත් යතුරුපැදියක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

පිටකොටුව බැස්ටියන් මාවතේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය මෙම පාතාල ප්‍රබලයා සැඟවී සිටින ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ නිවස ඊයේ අලුයම වටලා තිබේ. ඒ අවස්ථාවේ මෙම පාතාල ප්‍රබලයා යතුරුපැදියක නැඟී එම නිවස දෙසට පැමිණි අතර පොලිසිය දැකීමෙන් කලබලයට පත්ව ආපසු පළාගොස් තිබිණි.

පොලිස් නිලධාරීන් පළායන පාතාල ප්‍රබලයා ලුහුබැඳ ඇති අතර බෙම්මුල්ල පිටියේගෙදර වෙල්යාය ප්‍රදේශයේදී ඔහු ටී 56 අවියෙන් පොලිස් නිලධාරීන් ගමන් ගත් වෑන් රථයට වෙඩි තබා ඇත.

ඒ අවස්ථාවේ පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පාතාල ප්‍රබලයා බරපතළ තුවාල ලැබූ අතර ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

පාතාල ප්‍රබලයා එල්ල කළ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් ගමන් ගත් වෑන් රථයට ද හානි සිදු වී ඇත.

මරුමුවට පත් වූ ඇල්පිටියේ ජොසා නමැත්තා කලක් ඉන්දියාවේ සැඟ වී සිටි අතර ඉකුත් පෙබරවාරි මාසයේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

ගණේමුල්ලේ සංජීව නමැති පාතල නායකයා මීට මාස කීපයකට පෙර බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ හොර රහසේම ඉන්දියාවට පළාගොස් ඇත.

ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට ඇල්පිටියේ ජොසා කටයුතු කර ඇති අතර පිටකොටුවේ සිදු වූ ඝාතනය ද එහි ප්‍රතිඵලයක් බව පොලිසිය පවසයි.

පොලිසිය පාතාල මර්දන මෙහෙයුම් නතර කිරීමෙන් පසු මාසයක් තුළදී පාතාල අපරාධකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයෝ 14 දෙනෙක් ඝාතනයට ලක්වූහ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පාතල මර්දන මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති අතර එම මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

හේමන්ත රන්දුණු, ටෝනි කරුණානායක සහ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment