බිත්තරේ රත් කළොත් නීතිය තදින්

790

මිල පාලනයකින් තොරව බිත්තර මිල ඉහළ දැමීමට කටයුතු කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරියේ නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරියේ සභාපති නීතිඥ සාන්ත කිරිඇල්ල මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

ඉහළ යන බිත්තර මිල පිළිබඳව අප කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ලක්‍ෂ ගණන් බිත්තර ගබඩා කරගත හැකි ශීත ගබඩා පහසුකම් සහිත ඇතැම් ව්‍යාපාරිකයන් සතුව කිකිළි පැටියකුවත් නොමැති වුවත් ඔවුන් බිත්තර නිෂ්පාදකයාට වඩා ලාභයක් උපයාගැනීමට සමත් වී ඇතැයි ද ඔහු පැවසීය.

පසුගිය අර්බුද කාලසීමාවේදී සත්ව ආහාර ආනයනය කිරීමේ යම් අපහසුතාවයක් පැවතුණ ද ඒ සඳහා මේ වනවිට අදාළ ආයතන වෙත සත්ව ආහාර ගෙන්වීමට අවකාශ සලසා දී ඇතැයි ද ඔහු කීවේය. එසේ වුවත් පවතින ඩොලර් හිඟය මත එසේ සත්ව ආහාර ගෙන්වීමට අනුමැතිය ලබාදී තිබුණත් ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවට වාර්තා වේ.

මෙම තත්ත්වය යටතේ සත්ව ආහාර නිෂ්පාදනය කරන ආයතන පරිභෝජනයට ගත හැකි සහල් වර්ග උපයෝගී කරගෙන සත්ව ආහාර නිෂ්පාදනයට පෙළඹී සිටිති.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන බිත්තර නිෂ්පාදකයන්ගේ හමුවක් පවත්වා මේ වනවිට ඔවුනට ඇති වී ඇති ගැටලු හා ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවද පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment