මැස්සො වහන රුපියල් හැටේ රස්සාව…වේටර් රස්සාවේ ඇත්ත කතාව

477

ඒ කාලේ රුපියල් 60ක් දීල පත්තරයක් ගත්තනම් වේටර් රස්සා ඕන තරම් තිබුණා

මහන්සියේ තරමට වැටුප් නෑ

අතින් අතට යන පිඟන් කෝප්ප වගේ අපිත් තැනින් තැනට යනව

තේ කඩයක වේටර්වරයකු වීම වේටර්වරුන්ගේම වචනයෙන් එකල නම් රුපියල් හැටේ රස්සාවක්ය. එම කියමනට හේතුවක්ද ඇත. මක්නිසාදයත් රුපියල් පනහක් හැටක් අතර මුදලින් වැය කොට මිලදී ගන්නා සති අන්ත පුවත්පත් පිටු පිරෙන තරමින් වේටර්වරුන් සඳහා ඇබෑර්තු ඇත යනුවෙන් සඳහන්ව තිබීම වේටර් රස්සාව එකළ රුපියල් හැටේ රස්සාවක් ලෙස වේටර්වරුන් විසින්ම හැඳින්වීමට ආසන්න හේතුව වන්නට ඇත. අදට ඒ කියමන වලංගු නැත. ඊට හේතුව නම් සති අන්ත පුවත්පතක් මේවනවිට රුපියල් 180ක් වැනි මිලකට අලෙවි වීමය. ඊට අමතරවද වේටර්වරුන් සඳහා ඔවුන් විසින්ම සපයන තවත් හැඳින්වීමක් වන්නේ වේටර් රස්සාව යනු මැස්සන් වහන රස්සාවක් බවය. මේ කියන්නට යන වේටර්වරුන් හැර සුපිරි හෝටල්, අවන්හල්, සංචාරක හෝටල් ඇතුළු ආහාර පාන සපයන වෙනත් ස්ථානවලදී පාරිභෝගිකයන් හට සේවා සපයන්නන්ද වේටර්වරුන් යටතට අයත් වන නමුත් ඔවුන් හා රුපියල් හැටේ වේටර්වරුන් අතර පෙනුමින් පමණක් නොව වෘත්තීයමය මට්ටමින් සහ එදිනෙදා රාජකාරි ජීවියෙන්ද බොහෝ අසමානකම් සහිතය. සුපිරිඝනයට අයත් වේටර්වරුන් යනු ස්ථීර වැටුප්, අතිකාල, බෝනස් ඇතුළු සැපපහසු ජීවිත ගත කරන පිරිසක් වන අතර ඉන් බොහෝ දෙනෙක් වෘත්තීයමය පුහුණුවකින් පසු සේවයට එක් වූ පිරිස්ය. වේටර්වරුන්ගේම වචනයෙන් ‘රුපියල් හැටේ වේටර්වරුන්’ ඉහත සඳහන් පහසුකම්, වරදාන අහිමි වූ පිරිසක්ය. කිළිටි හෝටල්, තේ කඩ, බත්කඩ සයිවර් කඩ ආදියේත් හතු පිපෙන්නාක් මෙන් හංදියක් හංදියක් ගානේ ඇති චීන අවහන්හල් යැයි හඳුන්වන ස්ථානත් තම රැකියා ස්ථානය ලෙස තෝරාගන්නා පහත හමුවන වේටර්වරුන් බොහෝ දෙනෙක්ගේ ජීවිතද හෝටල් තුළ එකිනෙකාගේ අතින් අත යන පිඟන් කෝප්ප බඳුය. ඔවුන්ගේ ජීවිත තුළ ඇත්තේ අනුන්ට සංග්‍රහ කිරීමෙන් ඉතිරි වූ පිළුණු මතකයන් පමණය. අතෘප්තිය පමණක් ශේෂය ලෙස ඉතිරිවන ඔවුන්ගේ මහන්සි අනුන්ගේ කුසගිනි නිවීමේ වෑයමක නිරතවීම් බවත් එයද බොහෝ දෙනකු දකින්නේ අතපල්ලෙන් වැටුන රැකියාවක් බවත් අප හා කතා කළ වේටර්වරුන්ගෙන් බොහෝ දෙනකුගේ මතය විය. එහෙත් ඒ සියලු අසුබවාදී දැකීමෙන් මිදුන වේටර්වරුන්ද මේ කියන්නට යන පිරිසට අයත් වන බවද ලියා තැබිය යුතුය. තම දරුමල්ලන් රක්‍ෂාකරමින් වසර තිහ හතළිහ වේටර් රස්සාවේ නියැළෙන ඔවුන් ගේදොර ඉඩකඩම් පමණක් නොව යාන වාහනවල පවා හිමිකරුවන්ය. ඔවුන් “දේසේ හැටියට වාසේ” තියරිය අනුගමනය කරමින් අද පවා වේටර් රැකියාවේ නියැළෙමින් ඇත.

පහත පළවන්නේ කොළඹ නගරය හා ඒ අවට පිහිටි බත්කඩ හා තේ කඩ ආශ්‍රිතව වේටර් රැකියාවේ නිරත කීප දෙනෙක් තම වෘත්තියේ ‘හැඩය’ පිළිබඳව දක්වන ලද අදහස් කිහිපයක්ය.

“මේ රස්සාව හැමෝටම කරන්නත් බෑ හැමෝම කරන්න එන්නෙත් නෑ. ඒකට හේතුව තමයි මේ සඳහා කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවීම. ඒකම තමයි වේටර් රස්සාවට තියෙන සුදුසුකම. ඒ දවස්වල යුද්ධය හින්ද තරුණයන්ට හමුදාවට හරි බැඳෙන්න පුළුවන් වුණත් ඊට ඉස්සර විශේෂයෙන් අසූව දශකයේ මුල් භාගය පමණ වන විට රැකියාවක් නැති තරුණයකුට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වුණ රස්සා අතරින් මේකත් එකක් වුණා. ඒ කාලේ අපෙත් තරුණ අවධිය. මං මේ රස්සාවට ඇවිත් දැන් වසර තිස්පහකට වැඩියි. මේ කාලේ ඇතුලෙ මං කොළඹ විතරක් හෝටල් පනහකට වැඩි ප්‍රමාණයක වැඩ කරල ඇති. ඉතිං ඒ දවස් වල ඇදුරුම්කමකට හරි වෙන කොහොම හරි කොළඹ කඩේක වේටර් වැඩට ආව කියමුකෝ. ඒ කාලේ ඒ හැටි රස්සා තිබුණ කාලයකුත් නෙවෙයිනේ. කොළඹ කඩේක වැඩට ආපු කෙනා මාසයක් දෙකක් ආපු තැන වැඩ කරල තමයි ආපසු ගමට යන්නේ. ඒ කාලේ හැටියට ගමේ නැති අමුතු දේවල් කොළඹ තිබුණා.”

“බයිස්කෝප් එකක් බලන්න රටතොට ඇවිදින්න නිදහස තිබුණ. ඒ දේවල් අත්විඳලා ගමට ගියහම ගමේ යාළු මිත්‍රයන්ට තමන්ගේ රස්සාවේ හැටි කන බොන හැටි වැටුපක් ලබන හැටි කිව්වම රස්සාවක් නැතිව පාලම් බෝක්කු උඩ කල් මරපු හුඟ දෙනෙක් කොළඹ ඇවිත් මේ රස්සාවට හුරු වුණා. හොයල බලන්න. අද හෝටල්වල වේටර් රස්සාව කරන හුඟදෙනෙක් පිට පළාත්වල මිනිස්සු. එහෙම ආපු අය තමයි අදත් කාලෙන් කාලෙට තැන පමණක් වෙනස් කරමින් වේටර්වරුන් විදියට එකම රවුමක කැරකෙන්නේ.”

කාලය විසින් මහළු කල මා ඉදිරියේ වූ වේටර්වරයා තමන්ගේ ඉතිහාසය දිග හරින්නට වූ අතර එය රටපුරා පිහිටි තේ කඩ බත් කඩ අතර ජීවිතය හොයන දස දහස් ගණනින් යුත් වේටර්වරුන්ගේ පොදු ප්‍රකාශයන් බදු විය.

“කොහෙන් කොහොම හරි මේ රස්සාවට ආව කියමුකෝ. කොච්චර අමාරු වුණත් මොන දුකක් වුණත් මේකට හුරුවුණ මිනිහ ආපසු වෙන රස්සාවකට යන්නේ නෑ. එහෙමත් කෙනෙක් යනව ඇති. මං මේ දේවල් කියන්නේ අත්දැකීමෙන් මොකද? ගහට ගහක් මොරටුවේදී මුණ ගැහෙනව වගේ අද මෙතැන වැඩ කරන මිනිහ හෙට මේ වගේම වෙන තැනට වැඩ කරනවා. වැඩ කරන තැනක අද රස්සාව නැති වුණා. හරි කැමැත්තෙන් පිට වුණා හරි කියමුකෝ. හෙට ආපසු පරණ තැනකට හරි පත්තරේ බලල අලුත් තැනකට හරි ගිහින් වැඩ කරන්න පුළුවන්. හැබැයි එකක් කියන්න ඕනේ හෝටල් රස්සාව ඇතුලේ වේටර් කියන්නේ මේසෙට කෑම බීම ටික ගෙනත් තියල බිල ගෙනත් දීල අත් දෙක පිහදාගෙන පැත්තකට වෙලා ඉන්න කෙනෙකුට නෙවෙයි. දවසෙ පැය දහයක් පහළොවක් කන්න බොන්න එන අයට සංග්‍රහ සත්කාර කරල ඒ අයගෙන් හම්බ වෙන කීයක් හරියි හම්බ වුණා කියලා දවසෙ වැඩ ඉවර වෙන්නේ නෑ. නගරයෙ තියෙන හුඟක් හෝටල් දවල් දවසෙම ඇරගෙන ඉඳල ඉස්සරහ දොරපළු දෙක වහන කොට රෑ දහය දොළහ වෙනවා. ඊට පස්සෙ තමයි වේටර් රස්සාවෙ තිත්තම වැඩ කොටස වැටෙන්නෙ. ඒව පස්සේ කතා කරමු. මම කියන්න හැදුවෙ මේ රස්සාව අල්ලගෙන යන්න නම් ඔය ඕන එකකට ඔරොත්තු දෙන ඇඟක්, හිතක් තියෙන්න ඕන කියල.”

කොළඹ ඇතුළු රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව අධික ජනගහණයක් සහිත තැන්වල පවත්වාගෙන යනු ලබන බොහෝ හෝටල් හෙවත් තේ කඩ, බත් කඩ තුළ අලෙවි වන්නේ අපිරිසිදු ආහාර බවට බොහෝ කලක සිට ජනතාව අතර පවතින මතයක් බවට පත්ව ඇත. සෞඛ්‍ය අංශ විසින් එවැනි තැන් පිළිබඳ සොයා බැලීම් කරන අයුරුත් ඇතැම් හෝටල් හිමිකරුවන් නීතිය ඉදිරියට රැගෙන යන අයුරුත් විවිධ ජනමාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබෙන අවස්ථා කොතෙකුත් ඇත. එවැනි හෝටල් මෙන්ම අපිරිසිදු වේටර්වරුන්ද එවැනි තැන්වල රැකියාවේ නිරත වන බවත් මතුපිටින් පෙනෙන හෝටලය ඇතුළත අපිරිසිදු වන්නේ යම් සේද එවැනි තැන්වල වැඩ කරන වේටර්වරුන් සම්බන්ධවද කතාව තරමක් අපිරිසිදු කතාවක්ය.

“වේටර් රස්සාව කියන්නේ කන්තෝරු රස්සාව වගේ සනීපෙට කරන්න පුළුවන් දෙයක් නොවෙයි කියන එක අපට දැක්ක ගමන් වුණත් පේනවනේ. නාගරිකව තියෙන සාමාන්‍ය හෝටලයක් ගත්තත් සේවකයෝ අඩුම තරමේ දහයක් පහළොවක් ඉන්නවා. ඒ හැමෝම රස්සාව කරන්නේ, නාගන්නේ, වැසිකිළියට යන්නේ, රෑට පෝලිමට නිදා ගන්නේ ඔය කියන පුංචි ඉඩකඩ ඇතුලේ. උයන පිහන උදවිය අත්උදව්කරුවෝ වේටර්ල ටික ඔය කියන හැම දෙනාටම පුංචි ඉඩකඩක් ඇතුලේ තමයි තමන්ගේ ඕන එපා කම් ටික පිරිමහගන්න වෙන්නේ. ඒ ඔක්කොටම වැඩියෙන් වැදගත් වෙන්නේ කාලය. දවසෙ වැඩි හරියක් හිටගෙන ඉඳල රෑ කඩේ වැහුවට පස්සෙ මේස පුටු අස්පස් කරල බිම හෝදල පහුවෙනිදට රස්සාවට අදාළ තව වැඩ මොනවහරි තියෙනව නම් ඒව පිළියෙල කරල තමයි රෑට නාල කාල ටික වෙලාවක් නිදියන්න තියෙන්නේ. වැඩ කරන මිනිහට සෞඛ්‍ය ගැන හිතන්න ඉස්සර, දවසෙ මහන්සිය දැනෙන්න ගන්නව. කෑව නොකෑව හෝටලේම තියෙන කොතැන හරි තැනක ඇලවෙනව විතරයි නින්ද යනවා. මේ රස්සාව අවුරුදු විස්ස තිහ කරල ඒකට හුරුවෙච්ච අයට දවස කළමනාකරණය කරන එක ඒ හැටි වැඩක් නෙවෙයි. අලුතින් මේ රස්සාවට කවුරු හරි ආව කියමු. එහෙම එන උදවියට තමයි වේටර් රස්සාවෙ වැඩි බරක් අදින්න වෙන්නේ. බැරි වෙලාවත් වතුර බහින බටයක් බ්ලොක් වුණොත් ඒක සුද්ධ කරනව කියන්නෙ පණ පිටින් අපායට යනව වගේ වැඩක්. පැයකට හරි වතුර කැපුවත් එහෙමයි. ඒ වෙලාවට පට්ට කට්ටක් කන්න ඕන. මේ මොනව කළත් වේටර් රස්සාව වෙන්න ඇති දුප්පත් මිනිස්සු කරන රස්සාවලින් අඩුම පඩියකට කරන රස්සාව. ‘ටිප්’ එක අනුව තමයි ජීවිතේ අඩුපාඩු පිරිමහගන්නේ. ඉතිං එහෙම මිනිස්සුන්ට සෞඛ්‍ය ගැන හිතන්න වෙලාවක් තියෙනවා ද? ඇත්ත……. මේ රස්සාවත් එක්ක වයසට යන කොට නොයෙක් ලෙඩ රෝග ඇඟට ගොඩවෙන බව ඇත්ත, දද, කුෂ්ඨ හැදෙන එක ඇත්ත.
එහෙම වුණා කියල රස්සාව දාල ගෙදර යන්නද? කොහොම හරි ඒව වහගෙන කියාගෙන රස්සාව කරන්න ඕනේ. පිට ඉඳන් දකින මිනිස්සු හිතනව ඇති වහළක් යටට වෙලා කරන වේටර් රස්සාවෙ මොන අඩුපාඩුවක්ද කන්න බොන්න ටික තියෙනවා පඩියක් හම්බ වෙනවා ඒ මදිවට කාල බීල යන මිනිස්සු සන්තෝසෙන් කීයක් හරි තියල යනවනෙ කියල. ඒත් එළියට පේන තත්ත්වෙ නෙවෙයි මේව ඇතුලේ තියෙන්නේ. “වේටර් රස්සාව කියන්නේ කරන්නම දෙයක් නැති තැන කරන රස්සාවක් කියල තේරුම් යන්නේ කාලයක් ගියාට පස්සේ. එතකොට ජීවිතේ හොඳ කාලය ගිහින් ඉවරයි. මේ මත්තෙම නැඟෙන එක විතරයි ඊට පස්සෙ කරන්නේ. වෙනසකට තියෙන්නේ ඉන්න තැන වැඩ වැඩි නම් ලැබෙන ‘වැටුප් ටිප්’ එක අඩුනම් පත්තරේ බැලුව වෙන තැනකට ගියා එච්චරයි. එහෙම වෙන තැනකට ගියාමත් මුහුණ දෙන්න ඕන ගැටලු ටිකක් තියෙනවා. මොකද මේ රස්සාව කරන මිනිස්සු, මිනිස්සු අතරෙම ගැවසිල හොඳට තෙම්පරාදු වුණ උදවිය. අලුතින් වැඩට කෙනෙක් ආව කියමු, පරණ සෙට් එක බලන්නේ ඒ ආපු මිනිහගෙන් පුළුවන් තරම් වැඩ ගන්න. අරක්කු ටිකට සිගරැට් එකට හුරු කරන්න. ඒවට අහුවෙන අය වගේම තමන්ගේ පාඩුවේ රස්සාව කරල දරු පවුල් ජීවත් කරගෙන ඉන්න අහිංසක මිනිස්සුත් අපි අතරේ ඕන තරම් ඉන්නවා. හෝටලේ පිරිසිදුකම, කෑම බිමේ තියෙන පිරිසිදුකම හොඳ මට්ටමක නම් එවැනි තැන්වල වැඩ කරන වේටර්ලත් නාල කාල පිරිසිදුව ඉන්න ඕනේ. ඒක තීරණය කරන්නේ කළමනාකාරිත්වය. එහෙම තැන්වලට ලැබෙන ආදායම හොඳ වෙනව වගේම සේවක පඩිනඩි සෞඛ්‍ය පහසුකම් ආදියත් ඉහළ අගයක් ගන්නවා. මේ අපිරිසිදුයි කියන හෝටල් සංස්කෘතිය ඇතුලේ එහෙම හොඳ තැන් ඕන තරම් තියෙනවා. එහෙම තැනකට වේටර් රස්සාවට එන මිනිහෙක් ලේසියෙන් ආපසු යන්නෙ නෑ වගේම ආවට ගියාට එහෙම තැන්වලට රස්සාවට ගන්නෙත් නෑ. ගොඩක් වෙලාවට බැලු බැල්මට කිළිටි හෝටල් ඇතුළෙ තමයි සෞඛ්‍ය කියන එක බිංදුවටම බැහැල තියෙන්නේ.”

තමන් යෙදෙන වෘත්තියේ ඇති අමිහිරිතැන් පිළිබඳවත් ඇතැම් යහපත් දේ පිළිබඳවත් අගක් මුලක් රහිතව විස්තර සැපයීම පිණිස නම් ගම් හෙළිකිරීමට අකමැති වූ වේටර්වරුන් කීපදෙනෙක්ම ඉදිරිපත් වූ අතර ඒ බොහෝ දෙනකු පැවසුවේ තමන් නියැළී ඇත්තේ බුදුන් පවා අගය කොට දේශනා කළ සංග්‍රහ සත්කාර සේවාවක බවය. තමන් එවැනි රාජකාරියක් තෝරා ගත්තේ පිං පිණිස නොව ජීවත් වීම පිණිස වුවත් ඔවුන් බොහෝ දෙනකු මුහුණ පා ඇති පොදු ගැටලුව වන්නේ ඒ සඳහා වැය වන දහදිය මහන්සිය වෙනුවෙන් නිසි මිලක් සහ වටිනාකමක් ලබාදීමට මුදලාලිවරුන්ගේ ඇති අකමැත්ත හේතුවෙන් දිනෙන් දින තමන් අගාධයට රැගෙන යන බවත්ය. ගමේ මෙන්ම නගරයේද ඇති බොහෝ හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන හිමිකරුවන් රතුපාට බඩ මහත මුදලාලිවරු වෙන්නේත් එවැනි ස්ථාන සේවක කාරකාදීන්ගේ අතපය දිනෙන් දින කළුව කෙසඟ වන්නෙත් ඔවුන්ගේ මහන්සිය සඳහා නිසි වටිනාකම් ලබා නොදීමෙන් යැයි උපකල්පනය කළ හැක්කේ එබැවින්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment