මිලර්ගේ ප්‍රහාරයෙන් ගුජරාට් ටයිටෑන්ස් පළමු ස්ථානය රැක ගනී

152

ඩේවිඩ් මිලර්ගේ සුපිරි පිති ප්‍රහාරය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් පැවැති තරගයේදී කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම පෙරේදා (17 වැනිදා) සමත්විය. ඒ අනුව මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තව දුරටත් රැක ගැනීමට ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය.

 තරගාවලියේ 29 වැනි තරගය ලෙසින් පැවැති අදාළ තරගයේදී ලකුණු 170ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම පන්දු වාර 19.5කදී කඩුලු 7ක් දැවී අදාළ ඉලක්කය සපුරා ගත්තේය. එහිදී සුපිරි ඉනිමක් දියත් කළ ඩේවිඩ් මිලර් පන්දු 51කදී නොදැවී ලකුණු 94ක් වාර්තා කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් සමගිනි. පිතිකරුවකු ලෙසින් ගුජරාට් ටයිටෑන්ස් ඉනිමට ශක්තිය සැපයූ රශීඩ් කාන් පන්දු 21කදී ලකුණු 40ක් රැස් කළ අතර හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් ඊට ඇතුළත් කිරීමටද ඔහු වග බලා ගත්තේය.

 ඩ්වොන් බ්‍රාවෝ හමුවේ ලකුණු 23කට ගුජරාට් ටයිටෑන්ස් ඉනිමේ කඩුලු 3ක් බිඳ වැටුණි. මහීෂ් තීක්ෂණ ලකුණු 24කට කඩුලු 2ක් බිඳ දැමීය.

 කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටෑන්ස් ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නයි සුපර් කිංග්ස් පිතිකරුවෝ නියමිත පන්දු වාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළේය. චෙන්නායි ඉනිමේ පළමු කඩුලු දෙක මුළු ලකුණු 32දී බිඳ වැටීමෙන් අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ රුට්රාජ් ගයික්වඩ් සහ අම්බති රයිදු ලකුණු 92ක සම්බන්ධතාවක් එක් කළේය.

 ලකුණු සාරාංශය

 චෙන්නායි සුපර් කිංග්ස් පන්දු වාර 20දී 169/5 (රුට්රාජ් ගයික්වඩ් 73, අම්බති රයිදු 46, රවීන්ද්‍ර ජඩේජා (නොදැවී) 22, අල්සාරි ජෝසප් 34/2,)

 ගුජරාට් ටයිටෑන්ස් පන්දු වාර 19.5කදී 170/7 (ඩේවිඩ් මිලර් (නොදැවී) 94, රෂීඩ් කාන් 40, ඩ්වෝන් බ්‍රාවෝ 23/3, මහීෂ් තීක්ෂණ 24/2)

advertistmentadvertistment
advertistmentadvertistment