මී හරක් රාජ්‍යය

1873

2018 දී ඇමරිකාවෙන් නික්ම ගිය අභ්‍යවකාශ යානයක් සති අන්තයේදී සූර්යා වෙත ළඟා විය. මේ ගමනට අවුරුදු දෙකහමාරකට වඩා ගත වූ අතර යානය ගමන් කළේ පැයට කිලෝමීටර් හත් ලක්ෂයක වේගයෙනි. සූර්යයා යනු විශාල ඝනත්වයක් ඇති දෙයක් නොවේ. තනිකරම දැවෙමින් පවත්නා හයිඩ‍්‍රජන් වායු ගුලියක් වන මේ තාරකාවේ එක් පැත්තකින් ඇතුළු වී අනෙක් පැත්තෙන් පිට වීමට එම උෂ්ණත්වයට ඔරොත්තු දෙන අභ්‍යවකාශ යානයකට පුළුවන. ඇමරිකාවෙන් ගිය යානය ඒ තරමට හයිය හත්තිය ඇති එකක් නොවූවත් මේ වනවිට සූර්යයාගේ මතුපිට තලයෙහි තිබෙන වායු ගිනි දැල් අතරට රිංගා ඒ පිළිබඳ පෘතුවියට දත්ත එවීමට පටන්ගෙන තිබේ. මේ යානය එම ගිනි දැල්වල උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෙස සාදන ලද නමුත් සූර්යයා වෙත තවත් ළංවී ඒ පැත්තෙන් මේ පැත්තට යන්නට තැත් කළොත් අළුවත් ඉතිරි වන්නේ නැත. ඇමරිකාව මේ යානය වෙනුවෙන් වැය කළ මූලික මුදල ඩොලර් බිලියන පහළොවකි. මේ මුදල් කන්දරාව ගැන ඇසූ සැණින් සූර්යයා මත නොව පෘතුවිය මත ජීවත්වන පෘතග්ජනයන් වශයෙන් (පෘත + ජන = පෘතජන හෙවත් පෘතුවිය මත ජීවත්වන ජනයා* අප තුළ ඉරිසියාවක් හටගනී. ශ‍්‍රී ලංකාව වැනි රටවල් කොවිඞ් වසංගතයෙන් පසු මහත් වූ ආර්ථික අර්බුදයකට පත්ව තිබෙන මෙවැනි වෙලාවකදී ඉන්ධන ටිකක් මිලට ගැනීමට හෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටිකක් පිට රටින් ගෙන්වා ගැනීමට ඩොලර් මිලියන පන්සීයක් ණයට දෙන එකෙක් හොයා ගැනීමට නොහැක. ඩොලර් බිලියනයක් සෙවීම සඳහා ලෝකය වටේ හතර පාරක් පමණ යෑමට අපට සිදුව තිබේ. ඇමරිකාව සූර්යයා වෙත යැවූ යානයේ වියදම ඩොලර් බිලියන පහළොවක් හෙවත් ඩොලර් මිලියන 15000 කි. අද මේ තීරුව අප වැය කරන්නේ මේ රටේ තිබෙන ගෑස් අර්බුදය ගැන සාකච්ඡුා කිරීමටය. ඒ අතරේ සූර්යා වෙත යෑම සඳහා ඇමරිකාව සල්ලි වැය කිරීම ගැන අප කතා කරන්නේ කුහකකමට නොව නැති බැරිකම නිසාය.

 ලංකාවට ඉන්ධන නැති වෙනවා නම් නැති වෙන්නේ ඒවා ගැනීමට ඩොලර් නැති නිසාය. එහෙත් ගෑස් අර්බුදයේ ස්වරූපය ඩොලර් මත පදනම් වූවක් නොව කිසියම් විකාර රූපී සහ මහජනතාවට තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයකි. මුලින්ම, මීට මාස කිහිපයකට පෙර රට පුරා ගෑස් හිඟයක් ඇති විය. ඊළඟට ගෑස් හිඟය නැති විය. රට පුරා ගෑස් කඩවලින් ගෑස් බෙදා හරින ලද අතර ඒ ගෑස් පාවිච්චි කළ රට පුරා ගෙවල්වලින් ගෑස් ළිප් පිපිරීම් ගැන වාර්තා විය. ඉකුත් සෙනසුරාදා දවස පුරා පමණක් හටගත් ගෑස් පිපිරීම් ගණන 22 කි. ගෑස් ළිප් පුපුරන නිසා බියපත් වූ මිනිස්සු දර ළිප්, භූමිතෙල් ළිප් සහ හොට් ප්ලේට් වෙත යොමු වූහ. ඒ අනුව මේ තුනම අද වෙළෙඳපොළේ හිඟය. රුපියල් හය හත් සීයක් වූ දර හොන්ඩරය ඇතැම් තැන්වල රුපියල් දහසකි. රුපියල් දෙදහට වික්ක හොට් ප්ලේට් එක පිටකොටුවේ හරස් වීදිවල රුපියල් පන් දහසට විකුණනු ලැබේ. රුපියල් තුන්දහසට තිබූ භූමිතෙල් ළිපක් අද රුපියල් නව දහසකි. පෙට‍්‍රල් ෂෙඞ් එකකින් එක පාරිභෝගිකයකුට භූමිතෙල් ලීටර් පහකට වඩා නිකුත් කරන්නේ නැත. ඊට අමතරව පෙට‍්‍රල් ෂෙඞ් වැඩිහරියක භූමිතෙල් ඇත්තේද නැත. ගෑස් ළිප් පිපිරීමේ අවදානම දුටු පාරිභෝගික අධිකාරිය ගෑස් ඒජන්සිවල ඇති සියලූම ගෑස් සිලින්ඩර යළි එකතුකර ආරක්ෂිත ගෑස් සිලින්ඩර නිපදවා ඒවායේ වෑල්ව සුදු පාටින් සහ රතු පාටින් සීල් කරන ලෙස ලිට්‍රෝ ගෑස් සමාගමට සහ ලාෆ්ස් ගෑස් සමාගමට නියම කළේය. මෙහිදී වර්ණ දවටනය සහිතව තවදුරටත් ගෑස් බිස්නස් එකේ නිරතව සිටින්නේ ආණ්ඩුවට බහුතර අයිතිය ඇති ලිට්‍රෝ ගෑස් කොම්පැනිය පමණි. ලාෆ්ස් ගෑස් කොම්පැනිය වැලේ වැල් නැති තත්ත්වයකට පත්ව ඇති අතර තව දුරටත් ගෑස් ගෙන්වීම සඳහා තමන්ට ඩොලර් නැති බව කියමින් එහි ලොක්කා නිතර හඬා වැළපෙයි. ලංකාවේ කර්ම ශක්තිය මේ මොහොතේදී කොතරම් නරකට සහ අවිනීත ලෙසට හැසිරේද යත් පසුගිය සතියේදී ලිට්‍රෝ ගෑස් සමාගමට නැව් දෙකකින් ගෙන්වන ලද ගෑස් ටොන්  හත්දාහක් පමණ බාල බඩු වීම නිසා රට තුළට ගැනීම පාරිභෝගික අධිකාරිය විසින් තහනම් කරනු ලැබීය. පළමු නැවේ තිබූ ගෑස් ටොන් ගණන 3700 කි. මේවායේ Ethil Mccapton නමැති රසායනික ද්‍රව්‍යය නිසි පරිදි යොදා තිබුණේ නැත. ලික්විඞ් පෙට්‍රෝලියම් හෙවත් ද්‍රව ඉන්ධන වායුව නමින් හැඳින්වෙන අප උයන පිහන ගෑස් කිසිදු වර්ණයක් හෝ කිසිදු ගඳක් නැති සුදු පාට වායුවකි. මෙය ද්‍රවයක් බවට පත්කොට ඉහත කී එතිල් මකැප්ටන් නමැති ගඳ ගහන රසායනික ද්‍රව්‍යය මිශ‍්‍ර කරනු ලැබේ. ගෑස් ගඳ ගහන්නට පටන් ගන්නේ ඉන්පසුවය. ගෑස් ලීක් එකක් පවත්නා විට අප ඒ බව දැනගන්නේ මේ කියන එතිල් මකැප්ටන් ගඳ නිසාය. ගෑස් ලංකාවට එවන කොම්පැනිකාරයා එම රසායනික ද්‍රව්‍ය අඩුවෙන් එකතු කරන්නේ නම් එය වංචාවකි. ගෑස් නැව් දෙක භාර ගැනීමට බැරි බව පාරිභෝගික අධිකාරිය කී සැණින් එක නැවක තිබූ ගෑස් ටොන් 3700 ක් නැව තුළදීම නිසි ප‍්‍රමිතියට සකස් කරදෙන ලදී. අපට ගෑස් සපයන වෙළෙඳුන් මොන ජාතියේ පල් හොරුන් දැයි අපට නොතේරේ. උන් ගෙයි දොරකඩටම විත් බාල බඩු විකිණීමට තැත්කර වැඬේ අසුවූ විට ඒවා හොඳ බඩු බවට පත් කරයි. මේ පල් හොරුන්ට විරුද්ධව යමක් කිරීමට බැරි වන්නේ මේ දිනවල අප සතුව පවත්නා එකම දෙය වූ දුප්පත්කම නිසා විය යුතුය. සමහරවිට අදින් පටන් ගන්නා සතියේදී ගෑස් හිඟය යම් ප‍්‍රමාණයකට මගහැරී යනු ඇති. එම හිඟය සම්පූර්ණයෙන්ම නැතිවිය යුතු බව අපගේ ප‍්‍රාර්ථනයයි. එහෙත් පසුගිය කාලයේදී අප කොපමණ නම් දේවල් ප‍්‍රාර්ථනා කරන්නට ඇත්ද? ඒවායින් ඉටුවුණේ කොපමණ ද ? අප මොන තරම් මී හරක්ද?

advertistmentadvertistment
advertistmentadvertistment