මුදල් ටි‍්‍රලියනයක් අච්චු ගැසීමෙන් රටේ ආර්ථිකය අර්බුදයක- එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

469

ආණ්ඩුවේ සැලසුමක් නොමැති ආර්ථික ප‍්‍රතිපත්තිය හේතුවෙන් දිනෙන් දිනම ජීවන බර ඉහළ යමින් ජනතාව පීඩාවට පත්වෙමින් සිටිනවා යැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කියා සිටියේය.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල පාලනය කිරීමට යැයි කියමින් ආණ්ඩුව ගැසට් නිවේදන ප‍්‍රකාශයට පත්කළ ද ඒවා අර්ථ විරහිත කරමින් භාණ්ඩ මිල වෙළෙඳපොළ තුළ ඉහළ ගොස් තිබේ. කොවිඞ් වසංගතය හමුවේ ජනතාව ආර්ථික වශයෙන් මිරිකෙමින් සිටියදී ආණ්ඩුව ඒ කිසිවක් තඹයකට මායිම් නොකර භාණ්ඩ මිල සුළෙඟ් පාව යෑමට ඉඩදී අහක බලාගෙන සිටීම අප තරයේ හෙළා දකිමු. සහල් මිල පාලනය වෙනුවෙන් ගැසට් නිවේදන නිකුත් කළ ද ගැසට් පත‍්‍රයේ ඇති මිලට වෙළෙඳ පොළේ සහල් නොමැත. සම්බා සහල් කිලෝවක් මේ වන විට රුපියල් 150 ත් 200 ත් අතර මිලකට වෙළෙඳ පොළ තුළ අලෙවි කෙරේ.

නාඩු සහල් කිලෝවක් රුපියල් 120 ත් 150 ත් අතර මිලකට අලෙවි කරන අතර සුදු කැකුළු රුපියල් 115 ත් 125 ත් අතර මිලකටද, රතු කැකුළු කිලෝවක් රුපියල් 110 ත් 120 ත් අතර මිලකටද අලෙවි කෙරේ. නමුත් රජය නිකුත් කළ ගැසට් පත‍්‍රයේ සම්බා සහල් කිලෝවක් රු. 98 කටද, නාඩු හා කැකුළු සහල් කිලෝවක් රු. 93 ටද මිල නියම කර තිබේ.

පොල් ගෙඩියක් අලෙවි කිරීම වෙනුවෙන් ගෙඩියේ වට ප‍්‍රමාණය අනුව මිල නියම කළද එවැනි මිලකට පොල් වෙළෙඳ පොළේ නොමැත.

පසුගිය යහපාලන රජය සමයේ ඉන්ධන මිල අඩු කළ අතර ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 117 දක්වා අඩුවිය. වත්මන් රජය නැවත එය 157 දක්වා ඉහළ නංවා තිබේ. ඞීසල් ලීටරයක මිල රුපියල් 111 දක්වා ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 77 දක්වා ද වත්මන් රජය මිල ඉහළ නැංවූවේ ය. යහපාලන රජය ක‍්‍රියාත්මක කළ ඉන්ධන මිල සූත‍්‍රය තිබුණා නම් 2020 දී සෑම ඉන්ධන වර්ගයකම මිල රුපියල් 100 ට පහළ අගයකට යන්නේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ශීඝ‍්‍රයෙන් පහත බැසීම හේතුවෙනි. මිල සූත‍්‍රය පැවතියා නම් මේ වනවිට ප්‍රෙටල් ලීටරයක් රුපියල් 136 ක් වනු ඇත. නමුත් රජය ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට දුන්නේ නැත. රුපියල් බිලියන 2 ක පමණ ලාභයක් එයින් ආණ්ඩුවට ලැබුණි. රජයේ මූල්‍ය අර්බුදය හමුවේ ණය ගැනීමේ මාවතකට තල්ලූවෙමින් සිටින බැවින් විදේශ ණය උගුලක රට සිරවීමේ අවදානමක්ද පවතියි. චීනයට අමතරව බංගලාදේශයෙන් පවා ශ‍්‍රී ලංකාව ණය ගනිමින් සිටී. මෙම කාලය තුළ මුදල් අච්චු ගැසීම රුපියල් ටි‍්‍රලියනය ඉක්මවා ඇති බව වාර්තා වීමද ආර්ථික අර්බුදය තවදුරටත් තීව‍්‍ර කරන්නකි. මෙලෙස තවදුරටත් රටට ඉදිරියට යා නොහැක.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment