මුහුණුපොතෙන් මිතුරු වී ඩොලර් හා රන් මවා මුදල්වලට විද්ද සැකකාරිය රිමාන්ඩ්

99

මුහුණු පොත මගින් හිතවත් වී මුදලින් ඩොලර් 20,000 ක් සහ රත්රන් මාලයක් සහ කරාබු දෙකක් අඩංගු තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් 89,9500 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකාරියව 11 වෙනිදා (අද) දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහෙස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය නියම කළාය.

හලාවත, ජෙට් වීදියේ පදිංචිකාරියක් වන ඩබ්. උපේක්ෂා චතුරාණී නැමැති සැකකාරියව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. පැමිණිලිකාරිය වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක් බව පොලිසිය කීය. මුහුණු පොතෙන් හඳුනාගත් අයකු සමඟ පැමිණිලිකාරිය දැඩිව හිතවත් වී ඇති බව පොලිසිය පවසයි. පසුව එම පුද්ගලයා පැමිණිලිකාරියට වටිනා තෑගි පාර්සලයක් එවා ඇති බව පවසා මෙසේ මුදල් ලබා ගෙන ඇති බව පොලිසිය කීය. එම තෑගි පාර්සලය ගුවන්තොටුපළින් මුදවා ගැනීමට සහ රක්ෂණ ගාස්තු, ප්‍රවාහන ගාස්තු ඇතුළු තවත් අවශ්‍යතා පෙන්වා දෙමින් පැමිණිලිකාරිය ගෙන් එසේ මුදල් ලබා ගෙන ඇති බවත් පැමිණිලිකාරිය විසින් අවස්ථා කිහිපයකදීම බැංකු ගත කරන ලද මුදල් මෙම සැකකාරියගේ නමින් ආරම්භ කර ඇති ගිණුම්වලට බැර වී ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බව අධිකරණයේදී සඳහන් විය .

සැකකාරිය ගේ සන්තකයේ තිබී බැංකු රැසක ගිණුම් පොත් සහ ඒ.ටී.එම්. කාඩ්පත් රැසක් සොයා ගෙන ඇති බවත් මෙවැනි වංචනික ක්‍රියා සිදුකිරීම සඳහා සැකකාරිය විසින් තවත් බැංකු ගිණුම් විවෘත කර ඇත්තේද? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පැමිණිල්ල මෙහෙයවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment