මෙම සුනඛයන් බැඳ දමනු!

828

අප රට ආර්ථික අර්බුදයේ කරවටක් එරී තිබේ. ලෝකයෙන් ගත් ණයවලට වාරික ගෙවා ගැනීමට නොහැකි තරමට ම අපි අසරණ වී ඇත. අප රට හිඟන රටක් බවට පත් කිරීමට එදා මෙදාතුර රට පාලනය කළ සියලු පාලකයන් වගකිව යුතුය. එකිනෙකා මත වරද පටවමින් මෝඩ චූන් ගත් පාලකයෝ ජනතාවට තුන්වේල කා නොහැකි මට්ටමට මේ රට කුජීත කර ඇත. එවන් ආර්ථික අර්බුදයක අප රට ගිලී ඇති අතරේ රට ගොඩගැනීමට විවිධ කැපකිරීම් කරන්නැයි ඉහළින් කෙරෙන ඉල්ලීම්වලට අපගේ ජනතාව දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද මුහුණ දෙමින් සිටිති. මෙම තත්ත්වයට අපේ රටේ ජනතාව වගකිව යුතු නොවුණත් රට ගැන සිතා අප රටේ ආදරණීය ජනතාව කරන කැපවීම අගය කළ යුතුය.

ජනතාව එලෙස රට ගැන සිතා කැපකිරීම් කරද්දී අප රටේ ඇතැම් මැති ඇමැතිවරු මෙන්ම උන්ගේ ගෝල බාලයන් තවමත් පරණ සෙල්ලම් දැමීම අතිශය කනගාටුදායකය. ඊයේ (05.05.2023) අප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යටතේ පෙන්වා දුන් කාරණය ඊට හොඳම උදාහරණයයි. එම පුවතට අනුව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ මැරවරයන්ගේ ප්‍රහාරයට ලක් වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ හිමිකරු තම කර්මාන්තශාලව ඉවත් කර ගැනීමේ කාර්යය මේ වනවිට ආරම්භ කර ඇත. එහි මූලික අදියර යටතේ එම කර්මාන්ත ශාලාවේ තිබූ විශාල රෙදි තොගයක් ගබඩාවෙන් ඉවත්කර ඕමානයේ කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට ඔහු පියවර ගෙන ඇත. කර්මාන්ත ශාලාව වෙත කුලී පදනම මත වාහන ලබාදීමට යෑමේදී ඇති වූ ආරවුලක් මත රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් කර්මාන්තශාලාවේ හිමිකරුට සහ ආරක්‍ෂක නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දී දේපළවලට ද හානි කර ඇති බව වාර්තා වෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකර අදාළ රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සතුටු විය හැකිය. නමුත් මෙම සිද්ධිය සුළුවෙන් නොතැකිය යුත්තේ අප රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ අප රටේ සිටින එක් ආයෝජකයෙක් හෝ තම කර්මාන්ත ශාලාව ගලවා ගෙන යෑම තුළින් ලැබෙන පණිවුඩය රටට හිතකර නොවන නිසාය.

පසුගිය කාලයේ අප රටේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති වූයේ ඒවා ගෙන්වීමට අපට ඩොලර් සංචිත නොතිබූ නිසාවෙනි. ඉන්ධන ගෑස් පමණක් නොව අත්‍යවශ්‍ය ඖෂධ පවා ගෙන්වා ගැනීම මේ නිසා අර්බුදයට ලක්විය. එම තත්ත්වය හමුවේ අප රටේ මූල්‍ය ශක්තිය වැඩිකර ගැනීම සඳහා රටට අවශ්‍ය ඩොලර් සංචිත ඉහළ දමා ගැනීම අත්‍යවශ්‍ය ය. විදේශීය ප්‍රේෂණ, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම්, අපනයන ක්‍ෂේත්‍රයෙන් ලැබෙන ආදායම හැරුණු කොට ඒ සඳහා අපට ඇති තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමය. තත්ත්වය එසේ තිබියදී රාජ්‍ය ඇමැතිවරයකුගේ මැරයන් මෙලෙස හැසිරීම නිසා තවත් එක් විදේශීය ආයෝජකයෙක් හෝ අප රටින් යන්නේ නම් එය බරපතළ තත්ත්වයකි. විදේශීය අයෝජකයන්ට සුදුසු පරිසරයක් අප රට තුළ නිර්මාණය කළ යුතු අවස්ථාවක මෙවැනි සිද්ධීන් වාර්තා වීම අතිශය කනගාටුදායකය. එනිසා මෙම සුනඛයන් බැඳ දමන්නැයි අපි මහත් ඕනෑකමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. අනෙක් අතට රාජ්‍ය ඇමැතිවරයකුට මැරයන් සිටී නම් එයද ප්‍රශ්නයකි. ඡන්ද කාලයේදී අරක්කු කාලට බත් පැකට් එකට පෝස්ටර් ගැසූ කාලකණ්ණි, මැරයන් සේ රඟයි නම් ඔවුන්ව කනෙන් අල්ලා එළියට ඇද දැමීමට අදාළ ඇමැතිවරයාට කොන්ද පණ තිබිය යුතුය. මේ අවස්ථාවේදී ඇමැතිවරු මැරයන් පෝෂණය කරමින් අප රටට වින කරන්නේ නම් එවන් ඇමැතිවරුන්ගෙන් ද රටට ඵලක් නොවන බව සඳහන් කළ යුතුය. දුෂ්කර කාලයක රාජ්‍ය පාලකයාට අවශ්‍ය හොඳ මිතුරන් මිස මැරයන් කිරි පොවා හදාවඩා ගන්නා ඇමැතිවරුන් නොවන බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment