මේ වසරේ රාජ්‍ය වියදම රු. බිලියන 1657 කින් ඉහළ යනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

117

මේ වසර තුළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 1657 කින් ඉහළ යනු ඇතැයි මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.

එය මෙරට වසරක ආදායමට වඩා ඉහළ මුදලක් බවත් එබැවින් ආණ්ඩුව වහාම රජයේ වියදම් අඩුකර ගැනීමට කටයුතු කළ යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මෙම වියදම් ඉහළ යෑම සහ ආදායම් පරතරය පියවා ගැනීමට ඉදිරි අයවැයෙන් යෝජනා හෙළිකරනු ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේ ය.

“ආනයන අපනයන පාලන පනත යටතේ ඉදිරිපත් කරන ලද සංශෝධනයක් කාරක සභාව විසින් දෙවරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ තමයි නානකාමර කට්ටල, සින්ක්, කොමෝඩ් ඇතුළු සියලුම නානකාමර උපකරණ ආනයනය තහනම් කරන්න කියන එක. කාරක සභාව මෙය දෙවරක් ප්‍රතික්ෂේප කළා. ඒ වගේම කාරක සභාව මුදල් අමාත්‍යාංශයට නියෝගයක් කර තිබෙනවා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්න කියලා.

ඒ වගේම මුදල් පිළිබඳ කාරක සභාව විසින් විසර්ජන පනත අනුමත කළා. මේක රජයේ ප්‍රතිපත්තිමය දෙයක්. නමුත් විශාල ලෙස අපගේ වියදම ඉහළ යනවා. වැදගත්ම කාරණාව ගිය වසරේදී ටි්‍රලියන 6.2ක් හෙවත් බිලියන 6228 ක අපගේ මුළු වියදමක් තිබුණා. ඒක බිලියන 7885 ක් හෙවත් ටි්‍රලියන 7.9 ක් හෙවත් රුපියල් බිලියන 1657 කින් ඉහළ යනවා. එය ඉතා විශාල වැඩිවීමක්. 2022 වසර පුරාම අපි එපමණ ප්‍රමාණයක් ආදායම ලෙස ලබාගනීවිද කියා ගැටලුවක්. මේ පිළිබඳව අපට පුරෝකථනය කරන්නට බැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා, හිඟය පියවන්නේ කොහොමද කියලා අයවැය තුළින් කියයි කියලා. ආදායම් වෙනුවෙන් බදු වැඩිකරන්න ඕන තමයි. නමුත් හිඟය පියවා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment