යතුරුපැදියෙන් පැමිණි වෙඩික්කරු දෙදරු පියෙක් බිලිගනී

539

පානදුර, නිර්මල මාවත ප්‍රදේශයේදී ඊයේ (03දා) දහවල් 12.10ට සිදුවූ වෙඩි තැබීමකදී දෙදරු පියෙක් මරුමුවට පත් වී ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

තරුණයින් දෙදෙනකු යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින්පැමිණි දෙදෙනකුගෙන් අයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

මෙහිදී යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයාට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර, ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

මෙම සිද්ධියේදී ඝාතනයට ලක් වී ඇත්තේ වාද්දුව, තල්පිටිය පදිංචිව සිටි ආර්. රන්දික මධුෂාන් (31) නමැති අයෙකි. මියගිය අය සහ ඔහුගේ මිතුරකු අත්‍යවශ්‍ය කටයුත්තකට ගොස් නැවත නිවෙස් බලා ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණපා තිබේ. මිය ගිය අය පානදුර නගරයේ එළවලු වෙළඳාමේ නිරත වූ අයකු බව පොලීසිය කියයි. ඝාතනයට ලක්වූ අය සමග යතුරුපැදියේ පැමිණි අනෙක් තරුණයාට වෙඩි ප්‍රහාර එල්ල වී නැතැයි පොලිසිය කියයි.

පෞද්ගලික සිද්ධියකට පලිගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කළේද? එසේත් නොමැති නම් මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකළේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරයි.

ඝාතනයට ලක්වූ අයගේ උදරය හා මුහුණ ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ බව ද පොලිසිය කියයි. මෙම ඝාතනය සඳහා ඝාතකයා රිවෝල්වරයක් භාවිතා කර ඇතැයි හෙළිවූ බව ද පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ අයගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි. ඝාතනයට සම්බන්ධ කිසිවෙකුත් ඊයේ සවස් වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

මේ පිළිබඳව පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කමල් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment