රජයට වැඩපිළිවෙළක් නැතිකමින් වෙළෙඳ පොළේ සහල් මාෆියාවක් – කබීර් හෂීම් (සජබ)

46

මහා පරිමාණ වී මෝල් හිමියන් හා ආනයනකරුවන් විශාල ශුද්ධ ලාභ ගන්නවා

මහ පරිමාණ වී මෝල් හිමියන් සහල් වෙළෙඳපොළේ පාලනයක් සිදුකරන බවත් එසේ නැතිනම් තොග සහ සිල්ලර වෙළෙඳාමේ සිටින පිරිස් පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉටු නොකර සහල්වලින් විශාල ශුද්ධ ලාභයක් ගන්නවා යැයි සමගි ජනබලවේගය කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවැසීය.

රටේ ආර්ථික කළමනාකරණය නිසියාකාරව ක්‍රියාත්මක වනවානම් මේ වනවිට රටේ සහල් මිල අඩුවිය යුතු බවත් අඩු මිලට සහල් ලබාදීමේ හැකියාව රජයට තිබෙන බවත් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (13 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මේ බව පැවැසූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා මෙසේද පැවැසීය.

2019 පසුව රටේ ජනතාවට හරියාකාරව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. 2020 න් පසුව රටේ දිගින් දිගටම අර්බුද ඇතිවුණා. ඒ නිසා හරියාකාරව ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න නොහැකි වුණා. 2024 දීත් හරියාකාරව ජනතාවට අලුත් අවුරුද්දක් සමරන්න පුළුවන් තත්ත්වයක් තිබෙන බව පෙනෙන්නට නෑ. රටේ ජනතාවට ප්‍රශ්න පමණයි තිබෙන්නේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමැරීමට සහල් කියන දේ මූලික දෙයක් බවට පත්වෙනවා. නමුත් රටේ අදවනවිට සහල් මිල පිළිබඳව විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. රටේ ආර්ථික කළමනාකරණය හරියාකාරව ක්‍රියාත්මක වනවානම් මේ වනවිට රටේ සහල් මිල අඩුවෙලා තියෙන්න ඕන.

කීරි සම්බා මෙටි්‍රක්ටොන් 50,000 ක් ආනයනය කරන බව සති දෙකකට පෙර වෙළෙඳ ඇමැතිවරයා කියා තිබුණා. සිංහල හින්දු අලුත් අවුරුද්ද වනවිට සහල් මිල වැඩි වීමට හැකි බැවින් ඒ නිසා සහල් මිල පාලනය කිරිමට සහල් ආනයනය කරන බව රජය ප්‍රකාශ කර තිබුණා. මේ වනවිට ආණ්ඩුව කීරි සම්බා මෙටි්‍රක්ටොන් 25,000 යි 30,000 අතර ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා.

ඒ වගේම රටේ මහ කන්නයෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබඳව කෘෂිකර්ම ඇමැතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. සාර්ථක අස්වැන්නක් ලැබිලත් තිබෙනවානම්, සහල් ආනයනය කරලත් තිබෙනවානම් මේ වනවිට වෙළෙඳපොළේ සහල් මිල අඩුවෙලා තියෙන්න ඕන. නමුත් රජයට සහල් මිල අඩු කර ගන්න නොහැකි වී තිබෙනවා. මෙය ආර්ථික කළමනාකරණයේ ප්‍රශ්නයක්ද නැතිනම් වෙළෙඳපොළේ ඇතිවෙලා තිබෙන සහල් මාෆියාවේ ප්‍රශ්නයක්ද කියන දේ පිළිබඳව ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා.

2023 දෙසැම්බර්වල කීරි සම්බා කිලෝවක් රුපියල් 245 යි. අදවනවිට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 355 යි. ආණ්ඩුව 2023 දෙසැම්බර් වල සම්බා කිලෝවක් 220 අද වනවිට රුපියල් 263 ක් වෙලා. 2023 දෙසැම්බර්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 190 යි. අද වනවිට නාඩු සහල් කිලෝවක් 219 යි. මේ අනුව බැලුවහම සහල් මිල බරපතල ආකාරයට වැඩිවී තිබෙනවා.

මහ පරිමාණ වී මෝල් හිමියන් සහල් වෙළෙඳපොළේ පාලනයක් ඇති කරනවා නැතිනම් තොග සහ සිල්ලර වෙළෙඳාමේ සිටින පිරිස් හෝ ආනයනකරුවන් පාරිභෝගිකයන්ට සධාරණයක් ඉටු නොකර සහල්වලින් ශුද්ධ ලාභයක් ගන්නවා. මේ පිළිබඳ සොයා බැලීමේ වගකීම තිබෙන්නේ රජයට.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සහල් මිල සාධාරණ මිලකට ගෙන යාම ආණ්ඩුවේ වගකීමක්. ආනයනය කළ සහල් තොගය සහ මහ කන්නයෙන් ලැබුණු සහල් තොග හරියාකාරව වෙළෙඳපොළට බෙදා හැරීමට අවශ්‍ය කරන පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

අවුරුදු 74 ක සාපයක් නිසා රට විනාශ වුණ බවත් නිදහසින් පසුව රටේ කිසිදු දෙයක් සිදුවුණේ නෑ කියල අනුර කුමාර දිසානායකගේ පක්ෂය රටේ මතයක් සමාජගත කරන්න උත්සාහ කළා. ඒ අනුර කුමාර දිසානායකම අද කියනවා රට ස්වයංපෝෂිතයි කියලා. රට ස්වයංපෝෂිත වුණේ ඉබේටමද. 1948 ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නා විට රටේ සහල් නිෂ්පාදනය සියයට 35 යි. 1948 දී සියයට 64 ක් සහල් ආනයනය කළා. 1994 දී රට ස්වයංපෝෂිත වුණා. මහවැලි ව්‍යාපෘතිය , ගල් ඔය ව්‍යාපෘතිය හරහා රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න හැකියාව ලැබුණා. 1990 වී අස්වැන්න හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 3600 ක් ලැබුණා. එහෙම බැලුවහම අවුරුදු 74 ක සාපයක් ගැන කියන්න අනුර කුමාර දිසානායකලාට අයිතියක් නෑ.

අනුර කුමාර දිසානායක කියනවා සහල් මාෆියාව නැති කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. අනුර කුමාර දිසානායක 2004 හිටපු කෘෂිකර්ම ඇමැතිවරයෙක්. ඒ කාලයේ ඇයි අනුර කුමාර දිසානායකට රටේ කෘෂිකාර්මික වෙනස්වීම් කරන්න නොහැකි වුණේ. ඒ කාලයේදීත් සහල් මාෆියාව තිබුණා. ඒ සහල් මාෆියාව කඩන්න තිබුණා. අනුර කුමාර දිසානායක ඒ කාලයේ වී මෝල් මාෆියාව කඩලා තිබුණානම් වෙනස් ඇති කරන්න තිබුණා. මහ පරිමාණ වී මෝල් හිමි ඩඩ්ලි සිරිසේන කියනවා අනුර කුමාර දිසානායක 2004 කෘෂිකර්ම ඇමැතිවලා සිටි කාලයේ උදේම දුරකථන ඇමැතුම ගන්නේ තමන්ට කියලා. අනුර කුමාර දිසානායක උපදෙස් අරගෙන තිබෙන්නේ සහල් මාෆියාවෙන්ම. අනුර කුමාර දිසානායකට කතා කරන්න තිබුණේ ගොවියෙකුට.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment