රටේ ආර්ථිකය ගොඩගන්න ඇමරිකානු බෞද්ධ ප්‍රජාවගේ සහාය ගන්නවා

150

ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කටුගස්තොට උපරතන නාහිමි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැඟීම සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ එරට බෞද්ධ ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, වොෂින්ටන් සරසවියේ බෞද්ධ අධ්‍යාපනය හා භාවනාව පිළිබඳ උපදේශක කටුගස්තොට උපරතන නායක හිමියෝ අවධාරණය කරති. පසුගියදා දිවයිනට වැඩම කළ උපරතන හිමිපාණන් වහන්සේ මේ බව කියා සිටියේ කුරුණෑගල රංවලගෙදර ශ්‍රී බෝධි රුක්ඛාරාම විහාරස්ථානයේ අහිනවයෙන් ඉදිකෙරුනු බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය උත්සවයට සහභාගි වෙමිනි.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක, සෝමාවතී රාජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල හිමිපාණන් වහන්සේ සහ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පරවාහැර චන්ද්‍රරතන හිමිපාණන් වහන්සේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ උපරතන නායක හිමිපාණන් වහන්සේ කියා සිටියේ ඇමරිකානුවන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි. එහෙත් එම ජනතාවට ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා රට තුළ සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී තිබිය යුතු බව ද උන් වහන්සේ අවධාරණය කලහ. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම තුළින් විශාල ලෙස විදේශ විනිමය උපයා ගැනීමට හැකි බවත් ඒ සඳහා දීර්ඝ කාලීන සැලසුම් අවශ්‍ය බව ද උන්වහන්සේ සඳහන් කළහ. එමෙන්ම ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් මෙරට ආර්ථිකය ගොඩ නැඟීම සඳහා උපරිමයෙන් සහාය ලබා ගැනීමට කටයුතු කරන බව සඳහන් කළ උන්වහන්සේ විශේෂයෙන් ඇමරිකානු ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බවත් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment