රනිල්, මහින්ද , සජිත්, අනුර නැති සන්ධානයක් – ළඟදීම දේශපාලන පෙරලියක්

5109

විපක්‍ෂයේ පක්‍ෂ අතර පොදු එකඟතාවක් සහිත එජාප – පොහොට්ටු නොවන පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් නිදහස ජාතික සභාව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එහිදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආදී වශයෙන් සීමා නොකර පුළුල් දේශපාලන සන්ධානයක් වශයෙන් ගොඩනැඟිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

විපක්‍ෂය විසින් ගොඩනගන ඕනෑම දේශපාලන සංධානයකට තමන් සුබ පතන නමුත් එම සංධානය විපක්‍ෂයේ පුළුල්තම සංවිධානය විය යුතු යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර සමගි ජනබලවේගය විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවීමට යන නව දේශපාලන සංධානය සමග එක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

ඩලස් ආවත් නැතත් අපි සංධානය පිහිටුවනවා යැයි සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කියා සිටියේය.

“ඩලස් සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනාගෙන් 09 ක් ම අපිත් එක්ක ඉන්නවා. ඒ අයත් එක්ක අපි වැඩ කරනවා. ඩලස් එහෙන් මෙහෙන් අදිනවා, දඟලනවා, ඩලස්ගේ අය සජබයත් එක්ක වැඩ කරන්න කැමතියි. ඒ නවදෙනත් එක්ක අපි මේක අත්සන් කරනවා. ඩලස් ජේවීපී එකත් එක්ක යන්න හදනවා…” ආදී වශයෙන් එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.

මේ අතර සමගි ජනබලවේගය විසින් පිහිටුවන දේශපාලන සංධානයේ ව්‍යවස්ථාව සකසා අවසන් කොට ඇතැයි එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කළ අතර එය මේ වන විට පක්‍ෂ නායකයන් විසින් අධ්‍යනය කරමින් සිටින බව ද කීවේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment