රියැදුරකු නොමැතිව ඉන්දියාවේ දුම්රියක් හැටට හැටේ යයි

623

රියැදුරෙකු නොමැතිව පෙරේදා (25දා ) ඉන්දියාවේ ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේ කිලෝ මීටර් 70කට අධික දුර ප්‍රමාණයක් (සැතපුම් 43.4ක්) ධාවනය වී ඇති භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා තිබේ.

ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේ කතුවා ප්‍රදේශයේ සිට පන්ජාබ් ප්‍රාන්තයේ හෝෂියාපුර් දිස්ත්‍රික්කය දක්වා අධික වේගයකින් ධාවනය වී ඇති අදාළ දුම්රිය දුම්රිය ස්ථාන ගණනාවක් පසු කරමින් ගමන් ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මාධ්‍ය ජාල ඔස්සේ ඉතා වේගයෙන් සංසරණය වීමෙන් අනතුරුව ඉන්දීය දුම්රිය බලධාරීහු මෙසේ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙසේ රියැදුරෙකු නොමැතිව දුම්රියක් ධාවනය වන බව සැලවීමෙන් පසු ඉන්දීය දුම්රිය බලධාරීන් විසින් එම දුම්රිය නැවැත්වීම සඳහා ලී කුට්ටි දුම්රිය මාර්ගයේ පීලි මතට යොදා ගෙන ඇති අතර එම අවස්ථාවේ ගමන් මාර්ගයේ තිබෙන සියලු හරස් දුම්රිය මාර්ග වසා දැමීමට කටයුතු කර තිබේ. දුම්රිය නැවැත්වීමට ගත් ක්‍රියාමාර්ගය හරහා කිසිවෙකුට හානියක් සිදු වී නොමැති බව ඉන්දීය නිල පුවත් සේවය වන ‘ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා’ විසින් වාර්තා කර තිබේ. මෙම රියැදුරෙකු නොමැති භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පෙරේදා උදෑසන 7.25 සිට 9 දක්වා කාලය තුළ ධාවනය වී තිබේ. මෙසේ රියැදුරෙකු නොමැතිව අදාළ දුම්රිය ධාවනය මුල් වූ හේතුව අනාවරණය වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment