රුවන්පුර අධිවේගයේ ඉදිකිරීම් මුළුමනින්ම නවතයි

1034

තාවකාලිකව පමණක් නතර කරන ලෙස ඉල්ලනවා
මන්ත්‍රී ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට රජය තීරණය කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වූ අතර එම තීරණය ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.

පසුගිය 27 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවත්විණි. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා මෙහිදී පැවසුවේ රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා දැනුම් දුන් බවයි.

වසර දහයක් තිස්සේ මෙම මාර්ගයේ ඉදිකිරීම් ගැන විවිධ අධ්‍යයන සහ සමීක්ෂණ සිදු කර කොටසක ඉඩම් පවරා ගැනීමක්ද සිදු කර තිබියදී රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට තීරණය කර ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

රජය මූල්‍ය ගැටලු නිසා මෙලෙස තීරණය කළත් කළ යුතුව ඇත්තේ රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව නැවැත්වීම පමණක් බවත් හිටපු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය. මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා පවරාගත් ඉඩම් ඒවායේ හිමිකරුවන්ට යළි ලබාදෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානියකු පවසා ඇති බවද සෙනෙවිරත්න මහතා පැවසීය. රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වූ දිනෙක එම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකිවන ලෙස තාවකාලිකව ඉදිකිරීම් නැවැත්වීමට කටයුතු කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් රජයට දැන්වීමට ද මෙහිදී තීරණය විය.
කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment