රේගුවට හොරෙන් වාහන 400 ක් ලියාපදිංචි කරලා

162

රජයට සැලකිය යුතු මූල්‍ය අලාභයක් සිදුකරමින් රේගුව මගහැර වාහන 400 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නීතිමය පියවර ගැනීම ආරම්භ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහස්‍ය හා බුද්ධි විමර්ශන ඒකකය පළමුව ණෑ-3845 දරණ වාහනය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර ඇත.

මෙම වාහනය රේගු නිෂ්කාශනයකින් තොරව ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවත් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවට ඇතුළු වී රජයට රුපියල් 2,587,500 ක අලාභයක් සිදුකරමින් එය ලියාපදිංචි කර ඇති බවත් හෙළිව තිබේ.

98412/01/2023 දරන නඩුව යටතේ ලබාදුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත ඉහත වාහනය අල්ලස් කොමිසම භාරයට ගෙන පවත්වනු ලබන පරීක්‍ෂණ සඳහා ශ්‍රී ලංකා රේගුවට භාර ලබාදී ඇත.

වංචාවට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටී.

මේ ආකාරයට නීති විරෝධී ලෙස ආනයනය කර ලියාපදිංචි කළ තවත් වාහන 400 ක පමණ තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව වාර්තාවේ.
මෙය ඉතා සංවිධානාත්මකව ඉතා දීර්ඝ කාලයක් අඛණ්ඩව සිදුවී ඇති අතර එමගින් රජයට රුපියල් බිලියන 05 කට අධික අලාභයක් සිදුව ඇති බව වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment