ලංකාවේ කවුරු හරි මාව පහු කරනවා දැකීම තමයි මගේ සතුට…දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් ‘දිවයින’ට කියයි

499

රට වෙනුවෙන් ලෝකයත් එක්ක දුවනවා කියන්නේ අමුතුම හැඟීමක්…
ජනප්‍රිය වෙනවට වඩා මට ඕන වුණේ ඉතිහාසයට එකතු වෙන්න….
මමයි අංක එක කියා ගෙන රට වටේ යන්න වුවමනාවක් නැහැ….

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳ සිටින අබේකෝන් මුදියන්සේලාගේ යුපුන් ප්‍රියදර්ශන හෙවත් යුපුන් අබේකෝන් එක් රටකට ජාතියකට එක් කලාපයකට පමණක් අයත් වස්තුවක් නොවේ. ඔහු වැන්නන් මේ මුළු ලෝකයටම අයිති සම්පතක් වේ. එහෙත් ඔහු ශ්‍රී ලාංකික ජාතිකයකු වීම අපට මහත් ආඩම්බරයකි. ගෞරවයකි. දකුණු ආසියානු කලාපයේ කෙටි දුර ධාවනයේ සියලු සීමාවන් ඔහු අතික්‍රමණය කර ඇත. දැන් ආසියානු කලාපයටද ඔහු අභියෝගයකි. පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් සියය ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභියා ඔහුය. තව නොබෝ කලකින් ඔහු සිය දෙපාවල ශක්තිය මීටත් වඩා හයියට ලොවට කියාපානු ඇත.

ශිෂ්‍යත්වයක් මත ඉතාලියේ රැඳී සිටිමින් සිය පුහුණුවීම් කටයුතු සිදුකරන මේ අසමසම ධාවන ශූරයා පසුගියදා කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණියේය. ඉන් අනතුරුව එළඹි දවසක ඔහු සමග කතා කිරීමට “දිවයින ඉරිදා සංග්‍රහය”ට හැකි විය. මේ එම සටහනයි.

“මාස අටකට විතර පස්සෙ තමයි මම මේ ලංකාවට ආවේ. මාසයක් පමණ මෙවර ලංකාවේ රැඳී සිටිනවා. ඇත්තටම ලංකාව තරම් රටක් මට ලෝකයේ වෙන නැහැ. මම හැමතිස්සෙම මගේ රටට එන්න කැමතියි. ඒත් පුහුණුවීම් කටයුතු මඟහරින්න බැහැ. ඉතාම තියුණු තරගකාරීත්වයක තමයි මම නිරත වෙලා ඉන්නේ. ඒ නිසයි මට එන්න තිබෙන අවස්ථා අඩු වෙන්නේ.”

අප සමග එසේ පිළිසඳර ඇරඹූ යුපුන් පසුගිය 19 වැනිදා උදෑසන මෙරටට පැමිණියේ හිස් අතින් නම් නොවේ. 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්වේ තෙවන ස්ථානය හිමිකර ගැනීමෙන් එදා ඔහු මෙරටට උරුම කර දුන් ලෝකඩ පදක්කමද යුපුන් එදා ලංකාවට රැගෙන ආවේය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පදක්කමක් එලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 24 කට පසුවය. එම තරගයේ මතකයන්ද යුපුන් මෙහිදී අප සමග බෙදාහදා ගත්තේය.

“මේ වසරේ අපේ ඉලක්කය වෙලා තිබුණේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම පමණයි. ඒ වගේම ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමත් අපේ ඉලක්කයක්. කොහොම හරි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. එතකොට මගේ පුහුණුකරු කිව්වේ යුපුන් දැන් ඔයා බලාපොරොත්තු වුණු ඉලක්කයට ඇවිල්ල අවසන්. ඒ නිසා අනවශ්‍ය පීඩනයක් නැතුව මේ තරගයට යන්න කියලයි. පුහුණුකරු කිව්ව ඒ දේවල්වලින් මගේ හිතට ගොඩක් සැහැල්ලූවක් ආවා. අවසන් මහා තරගයක පීඩනය මගෙන් නැතිව ගියා. ගොඩක් සැහැල්ලූවෙන් මම තරගයට ඉදිරිපත් වුණා. අන්තිමට මට රට වෙනුවෙන් පදක්කමක්ද දිනන්න හැකි වුණා.”

පසුගිය අගෝස්තු 4 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 2.00ට පමණ පැවැති එම තරගයේ දී යුපුන් ලබාගත් එම ජයග්‍රහණය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පිරිමි මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ලබාගත් පළමු පදක්කම විය.

ලංකාවේ කවුරු හරි මාව පහු කරනවා දැකීම තමයි මගේ සතුට...දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් ‘දිවයින’ට කියයි

“එදා එම ජයග්‍රහණය පිළිබඳව මට දැනුණේ පුදුම සතුටක්. අපේ රට මීටත් වඩා අර්බුදයන්ට ලක්ව සිටි අවස්ථාවක තමයි මම ඒ තරගය ජයග්‍රහණය කළේ. ඒ ජයග්‍රහණය මගේ දුක් විඳින ජනතාවට යන්තමින් හෝ සැනසීමක් බව මම දැන ගත්තා. රට වෙනුවෙන් ලෝකයත් එක්ක දුවනවා කියන්නේ අමුතුම හැඟීමක්. එහෙම තරගයකින් දිනුවාම දැනෙන සතුට වචනවලට හරවන්නත් බැහැ.”

යුපුන්ට එම තරගයේදී රිදී පදක්කම අහිමිව ගියේ තත්පරයකින් සීයෙන් පංගුවක් වැනි ඉතාමත් කෙටි කාල පරාසයකිනි. ඒ පිළිබඳව ඔහු පැවසූයේ මෙවැන්නකි.

“තරගය ඉවර වෙලා මම බෝඩ් එක දිහා බැලුවා. හිතා ගන්නත් බැරිව ගියා. මට ලෝකඩ පදක්කමක් හිමි වෙලා. ඒ එක්කම මම දැක්කා මට දෙවැනි ස්ථානය අහිමි වෙලා තියෙන්නේ මිලි තප්පර ගාණකින්. ඒ කියන්නේ බිංදුවයි දශම බින්දුවයි බින්දුවයි බින්දුවයි කියන තැනදී. ඒ වගේම 4 වෙනියා ලෙසින් තරගය නිම කළ ක්‍රීඩකයාට වඩා මම බින්දුවයි දශම බින්දුවයි බින්දුවකින් තමයි ඔහුට වඩා ඉදිරියෙන් හිටියේ. ඒ නිසා මිලි තත්පරයක පවා වටිනාකම එදා පටන් මම හොඳට දන්නවා.”

මිලි තත්පර සමග සටන් කරනා යුපුන් බොහෝ කලක සිට අදිටන් කරගෙන සිටිමින් පසුකර ගිය කඩඉමක් ද වේ. ඒ තප්පර 10 බාධකයයි. දකුණු ආසියානු කලාපයේ ක්‍රීඩකයන්ට හීනයක් සහ ආසියානු කලාපයේ ක්‍රීඩකයන්ටත් මහත් අභියෝගයක් ලෙස බටහිර විචාරකයන් පුන පුනා කියමින් සිටි ඒ කඩඉම යුපුන් පසුගිය ජුලි මාසයේදී ඉක්මවා ගියේය. එම සීමාව දකුණු ආසියානු ක්‍රීඩකයකු ඉක්මවා ගියේ පළමු වරටය. එමෙන්ම ආසියානු ක්‍රීඩකයකු මීටර් 100ක දුරක් තප්පර 10 ට අඩුවෙන් දුවපු 10වෙනි අවස්ථාව එය වේ. මේ ඒ පිළිබඳව යුපුන් දැරූ අදහසයි.

“ඇත්තටම ඒක මගේ හීනයක් සැබෑවීමක්. ඒ හීනය යථාර්ථයක් කර ගන්න මම ගොඩක් මහන්සි වුණා. මේ වසර ඇතුළත ඒ දේ ඉටු කරගන්න පුළුවන් වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. අවුරුදු ගාණක් මං ඒ වෙනුවෙන් මහන්සි වුණා. එදා ඒ යථාර්ථයක් වුණේ මගේ හීනයක් විතරක් නෙවෙයි. මුළු රටේම ඒ වගේම දකුණු ආසියාවේත් හීනයක් සැබෑ වීමක් තමයි ඒ.”

මේ කඩඉම ජය ගන්න ඔබ කොපමණ කාලයක් සැලසුම් කළා ද?

“මමත් මගේ පුහුණුකරුත් අවුරුදු තුනක කාලයක් ඒ වෙනුවෙන් සැලසුම් හැදුවා. හැබැයි මේ කාලෙ මේ අවුරුද්ද වෙන විට අපිට එතනට යන්න පුළුවන් වෙයි කියලා අපේ බලාපොරොත්තුවක් තිබුණා. මීටර් සීය වගේ තරගයක විජ්ජාවන් කරන්න බැහැ. ඒ වගේම මේ අවුරුද්දේ කීප වතාවක් මම එම කඩඉම පහු කරන්න උත්සාහ කළා. ඒත් ඒ උත්සාහයන් ව්‍යාර්ථ වුණා. අන්තිමේදී ජූලි මාසයේ ස්විට්සර්ලන්තයේ දී මගේ හීනය හැබෑ වුණා.”

ස්විට්සර්ලන්තයේ පැවැති එම තරගයේ දී යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්ව තත්පර 9.96කින් නිමා කළේය. එය ලොව වේගවත්ම තරග අවසානවලින් 118 වන ස්ථානය ලෙස සැලකේ. එසේම මෙම වසර තුළ මීටර් 100 ඉසව්වෙන් වාර්තා වූ වේගවත්ම 15 වෙනි තරග නිමා කිරීමේ කාලයද එය වේ. යුපුන් එම දස්කම දැක්වීමෙන් පසුව ලොව එවැනි දස්කමක් කළ 32 වෙනි රට බවට ශ්‍රී ලංකාව පත් වූයේය. එය දකුණු ආසියාවේ ද පළමු අවස්ථාවයි. මේ වන විට ආසියාවේ වේගවත්ම හතර වැනි මිනිසා යුපුන් අබේකෝන් වේ. එසේම ලොව තත්පර 10 සීමාව බිඳ දැමූ ක්‍රීඩකයන් සිටින්නේ 169 දෙනකු පමණි. යුපුන් ඒ අතරින් 167 වෙනියාය. ඒ නිසා යුපුන් ගෙන් දැන් මේ කලාපයේම ජනතාව බලාපොරොත්තු වන තවත් දෙයක් වේ. ඒ ඔලිම්පික් පදක්කමකි.

“මම කවදාවත් කියලා නැහැ ඔලිම්පික් පදක්කමක් දිනනවා කියලා. මම එහෙම කියන්නෙත් නැහැ. හැබැයි උත්සහ කරනවා. එහෙම කලින් කියන්න බැරි මීටර් 100 කියන්නේ ලොව තියෙන අමාරුම ක්‍රීඩා ඉසව්වයි. මම කලින් කිව්වා වගේ මිලි තත්පරයකින් සියල්ල වෙනස් වෙනවා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මීටර් 100 තරගය තප්පර 11.30 කින් අවසන් කරපු මම කවදාවත් හිතුවේ නැහැ තප්පර 10 බාධකය බිඳින්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි බලාගෙන ඉමු. හැබැයි මම තමයි ලංකාවෙ අංක 1 කියාගෙන රට වටේ යනවට වඩා මම කැමතියි කවදහරි මාව පහු කරල යන ක්‍රීඩකයෙක්ව දකින්න. ඒ සඳහා අපි ක්‍රීඩකයන්ට හොඳ පහසුකම් දෙන්න ඕන. හොඳ ක්‍රීඩකයන්ව තෝරාගෙන මගේ පින්තූරය ඉස්සරහට දාලා අරමුදලක් හදන්න ඕනා. ඒ ක්‍රීඩකයන්ගේ සුබසාධනය වෙනුවෙන්. ඔවුන්ට විදෙස් රටවල ශිෂ්‍යත්වයන් ලබා දී හොඳ පුහුණුවක් දෙන්න ඕන.”

තමා තුළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන් පිළිබඳ ඇති බලාපොරොත්තුව යුපුන් අප හමුවේ එසේ පැවසීය. එහෙත් මේ විශිෂ්ට ක්‍රීඩකයා තමා බලාපොරොත්තු වූ අරමුණු වෙත මෙතෙක් පැමිණ ඇත්ද? අපි විමසුවෙමු.

“මම බොහෝ කඩඉම් අතික්‍රමණය කරලා තියෙනවා. රට වෙනුවෙන් ලෝකේ හැම තැනින්ම වගේ පදක්කම් දිනලා තියෙනවා. රට දිනවල තියෙනවා.”

ඔබ දැන් ලෝකයේ බොහෝ ජනප්‍රිය සහ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්. ඔබ මේ දේවල් බලාපොරොත්තු වුණා ද?

“මට කවදාවත් ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් වෙන්න වුවමනා වුණේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය දෙස තව අවුරුදු 50 කින් ආපසු හැරී බැලුවත් මලල ක්‍රීඩා ඉතිහාස පොතේ කියවෙන නමක් ඇති කෙනෙක් වෙන්න ඕන වුණා. එය පාසල් කාලයේ පටන් මට තිබුණු ඉලක්කයක්. මම හිතනවා මම ඒ ඉලක්කය ජය ගත්තා කියලා.

සාකච්ඡා කළේ –
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment