වසර විසි එකක් බලා සිට සිදුකළ සුපිරි මොසාඩ් මෙහෙයුම

1700

සිරියාවේ ඩැමස්කස් නුවර ‘‘හෆීස් අල්-අසාද්” ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවනට නැඟුණු එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් අංක EK 912 දරන A340 වර්ගයේ එයාර් බස් යානය පැය 4 කුත් විනාඩි 35 ක ගුවන් කාලයක් ගෙවමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට සේන්දු වන විට දැඩි හිරු රශ්මිය ගුවන්තොටුපළ අවට ප‍්‍රදේශය වෙළාගනිමින් පැවතිණි.

ගුවන් යානයෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළට සේන්දු වූ මගින් යුහුසුළුව තම ගමන් කලමනාද රැගෙන ආගමන විගමන හා රේගු කටයුතු සම්පූර්ණ කරමින් කඩිනමින් ගමනාන්තයට යෑමට උත්සුක වූ අතර වෙනත් ගුවන් ගුවන්යානාවලට සම්බන්ධ වීමට නියමිත transit මගින් යුහුසුළුව ආරක්ෂක පරීක්ෂා කිරීම් සම්පූර්ණ කරමින් තම මීළඟ ගුවන් යානයේ ගුවන් ගමන් විස්තර දැක්වෙන ඩිජිටල් පුවරු අසලට එක් වෙමින් සිටියහ.

මේ සියලූ කලබගෑනි අස්සේ තරමක් ස්ථුල එහෙත් පිරිපුන් සිරුරකින් යුත් මැදි වයසේ පසු වූ ප‍්‍රියමනාප ස්වරූපයක් සහිත මිනිසෙක් නිසොල්මනේ ආගමන විගමන කවුලූ පසුකර පැමිණ කුලීරථ නැවතුම අසල ඒ මොහොතේ ගොඩනැඟෙමින් තිබූ මගී පෝලිමේ ද සුළු මොහොතක් රැඳී සිට තමාට නියමිත කුලී රථය වාරය එළඹි විට පැමිණි කුලී රථයට නැඟ නගරය බලා පිටව ගියේ ඔහු නැවතීමට සැලසුම් කර සිටි තරු පන්තියේ හෝටලයක වූ Al Bustan Rotana හෝටලයේ නිල නාමය සහිත කාඞ් පත ටැක්සි රියැදුරා අතට පත්කරමිනි.

මොහොමඞ් අබ්දුල් රවුෆ් මොහොමඞ් Al Bustan Rotana හෝටලයේ බිම් මහලේ පිහිටි අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරයට පැමිණ එදින ඔහුට නවාතැන් ගැනීම සඳහා කලින් වෙන් කරවා ගත් අංක 230 දරන කාමරයේ යතුර පිළිගැනීම් අංශයේ සේවය කළ සුරූපී මොරිසස් ජාතික තරුණියගෙන් ලබාගෙන ඔහුටම ආවේණික සෙමින් ගමනින් විදුලි සෝපානය වෙත පිය නැඟුවේ දෙවන මහලේ පිහිටි තමා වෙනුවෙන් වෙන් කරන ලද කාමරය වෙත යෑමටය. එහෙත් මේ වන විටත් ඔහුට නොදැනීම ඔහුගේ ගමන් බිමන් ගැන මනා සෝදිසියෙන් පසුවූ ටෙනිස් ක‍්‍රීඩකයන් සැරසී සිටින ක‍්‍රීඩා ඇඳුම් කට්ටලවලින් සැරසී ටෙනිස් පිති දෙකක් ද අත දරා සිටි තරුණ විය ඉක්මවා මැදි වියට ආසන්න වෙමින් සිටි පුද්ගලයන් දෙදෙනකුද පිළිගැනීමේ කවුන්ටරය අසල සිට අමුත්තා සමඟම විදුලි සෝපානයේ ගමන් කර දෙවන තට්ටුවේ පිහිටි ඔහු නවාතැන් ගැනීමට සැලසුම් කර සිටී අංක 230 කාමරයට විරුද්ධ පැත්තේ පිහිටි කොරිඩෝ ඔස්සේ පියනඟමින් කඩිසර ගමනින් යන්නට ගියේය. මෙම ටෙනිස් ක‍්‍රීඩකයන් දෙදෙනා අමුත්තා හෝටලයට පැමිණි මොහොතේ සිටම ඔහු ගැන දැඩි අවධානයෙන් පිළිගැනීමේ කවුන්ටරය අසල රැඳී සිට අමුත්තා සමඟම විදුලි සෝපානයෙන් ගමන් ගත්තේ කිසිවකුට සැකයක් ඇති නොවන ආකාරයටය.

ගමන් බලපත‍්‍රය අනුව මොහොමඞ් අබ්දුල් රවුෆ් මොහොමඞ් සිරියානු ජාතිකයකු වන අතර ඔහුගේ වෘත්තිය ලෙස දක්වා තිබුණේ ව්‍යාපාරිකයකු ලෙසය. අමුත්තා Al bustan Rotana හෝටලයේ අංක 230 දරන කාමරය වෙන්කරවා ගැනීමේ දී හෝටල් කළමනාකාරිත්වයෙන් ඉල්ලා සිට ඇත්තේ තමාට ජනෙල් නොමැති ආරක්ෂිත කාමරයක් අවශ්‍ය බවයි. තම ආරක්ෂාව සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වන සමහර ප‍්‍රභූවරු මෙවැනි ආරක්ෂිත කාමර ඉල්ලා සිටින බැවින් ජනේල පිටතට විවෘත නොවන ආකාරයට විශේෂයෙන් සකස් කරන ලද කාමර කීපයක් ඕනෑම ජාත්‍යන්තර මට්ටමේ හෝටලයක සකස් කර තිබීම යුගයේ අවශ්‍යතාවයන් මත සිදුවන්නකි. මේ අනුව හෝටල් කළමනාකාරිත්වය කිසිදු පැකිලීමකින් තොරව අමුත්තා වෙත අංක 230 දරන ආරක්ෂිත කාමරය ලබාදීමට ක‍්‍රියා කර තිබෙන ලදී.

වසර විසි එකක් බලා සිට සිදුකළ සුපිරි මොසාඩ් මෙහෙයුම

පැය හතකට ආසන්න දිගු ගුවන් ගමනක ගමන් විඩාව දියකර හැරීමට නාන කාමරයට වැදී උණු වතුර ස්නානය කළ අමුත්තා ඔහු විසින්ම සීනි රහිතව පිළියෙල කරගත් කළු කෝපි කෝප්පයක රස බැලූවේ උණුවතුර ස්නානය සිරුර තුළ ඇති කර තිබූ ප‍්‍රබෝධමත් ගතිය තවත් උණුසුම් කර ගැනීමේ අරමුණිනි. ඔහු සතුව තිබූ සිරියානු ගමන් බලපත‍්‍රය අනුව මොහොමඞ් රාවුෆ් සිරියාවේ ඩැමස්කස් නුවර තරමක ධනවතුන් පදිංචිව සිටින අල් හවුරා මාවතේ පදිංචිකරුවකු වන අතර ව්‍යාපාර කටයුතු සඳහා අවස්ථා ගණනාවක ඩැමස්කස් සහ ඩුබායි අතර ගමනාගමනයේ යෙදෙන අයෙකි. එහෙත් පලස්තීන ජාතිකයකු වන අමුත්තා මෙම ව්‍යාජ සිරියානු ගමන් බලපත‍්‍රය භාවිතා කරමින් ආගමන විගමන නිලධාරීන් කී වතාවක් රවටා ඇත්දැයි නිශ්චය කර ගැනීම සඳහා ඔහු එහි අන්තර්ගතව ඇති සිරියානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආගමන විගමන මුද්‍රා ගණන් කර බැලූ අතර එය ගණනින් විසි හතරක් බව ඔහු නිශ්චිත කර ගත්තේය.

මොහොමඞ් අබ්දුල් රවුෆ් මොහොමඞ් නමින් සකස් කරන ලද ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයක් දරමින් සිටි මොහු එසේ මෙසේ පුද්ගලයකු නොවීය. ඔහුගේ නියම නම මොහොමඞ් අබ්දුල් රාවුෆ් අල් මබූ වූ අතර ජාතිකත්වයෙන් පලස්තීන ජාතිකයෙකි. 1960 පෙබරවාරි මස 14 වන දින පලස්තීනයේදී උපත ලද ඔහු තරුණ වියේදීම පලස්තීන ජනප‍්‍රිය පෙරමුණ නොහොත් Popular frount of Palasteen සංවිධානයට එක්ව ඊශ‍්‍රායල් විරෝධී කටයුතුවල පෙරමුණේම සටන් කළ අයෙකි. එසේම ඔහු Izz ad Din al Qassam Brigade ලෙස හඳුන්වනු ලබන හමාස් සංවිධානයට අනියුක්ත ත‍්‍රස්තවාදී ව්‍යාපාරය සමාරම්භක කරුවෙක්ද විය. මේ වන විට හමාස් සංවිධානයට අවශ්‍ය අවි ආයුධ ජාත්‍යන්තර නීති විරෝධී අවි ගනුදෙනුකරුවන්ගෙන් මිලදී ගැනීමේ ප‍්‍රධාන වගකීමද පැවරී තිබුණේ ඔහු වෙතය.

1989 වර්ෂයේ ගාසා තීරයේ මුර සංචාරයේ යෙදී සිටි ඊශ‍්‍රායල් පොලිස් භටයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට වගකිව යුත්තා ලෙස ඊශ‍්‍රායල් Mozad සංවිධානයට අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඉහළම ස්ථානයක හිමිකරගෙන සිටින අල් මබූ 1989 වර්ෂයේ සිට 2010 දක්වා පුරා වසර 21 ක කාලයක් ඊශ‍්‍රායල් mozad සංවිධානය සමඟ සාර්ථක හැංගිමුත්තං කලාවක නිරතව සිටින අයෙකි. අල්මබූ කොටුකර ගැනීමට හෝ ඝාතනය කිරීම සඳහා වෙනමම චරපුරුෂ කණ්ඩායමක් මේ වනවිටත් Mozad සංවිධානය විසින් යොදවා සිටි අතර එම කණ්ඩායමේ කටයුතු වරින්වර පරීක්ෂා කිරීම Mozad ප‍්‍රධානියා වූ ‘‘මීර් ඩාගන්” පෞද්ගලිකවම සිදුකළ අතර අල් මබු මොසාඞ් සංවිධානයට එතරම්ම අවශ්‍ය පුද්ගලයකුව සිටියේය.

1989 වර්ෂයේ සිටම මොසාඞ් සංවිධානය අල්මබූ කොටු කිරීමේ දැවැන්ත මෙහෙයුමක නිරතව සිටියේය. එහෙත් පුරා වසර විසි දෙකක් තුළ අති දක්ෂ මොසාඞ් ඔත්තුකරුවන්ගේ ජාලය අන්ද මන්ද කරමින් අල්මබූ ඔහුට රිසි සේ ඊශ‍්‍රායල් විරෝධී කටයුතුවල නිරත වීම මොසාඞ් චරපුරුෂ සේවාවට දැඩි අභියෝගයක් ගෙන දෙන කරුණක් විය.

අල් මබූ කිසිදු අවස්ථාවක නිශ්චිත ජංගම දුරකථනයක් භාවිතා නොකළ අතර සන්නිවේදන කටයුතු සඳහා ඔහුටම ආවේණික රහස් සංඛ්‍යාත ක‍්‍රම භාවිතයට පුරුදුව සිටියේය. ඔහු සතුව විවිධ ජාතිකත්වය දැක්වෙන ගමන් බලපත‍්‍ර රාශියක් තිබූ අතර ඒවා භාවිතය ද ඔහු ඉතා ක‍්‍රමානුකූලව සිදු කිරීම හේතුවෙන් ඔහු කොටුකිරීමේ කටයුත්ත මොසාඞ් සංවිධානයට තරමක් අසීරු කාර්යක් ව තිබුණේය. ඕනෑම සුවිශේෂී පුද්ගලයකු සතු දුර්වලකම් හඳුනාගෙන එම දුර්වලකම ඔස්සේ ඔහු කොටු කිරීම මොසාඞ් සංවිධානය නිතැතින්ම අනුගමනය කළ ක‍්‍රමවේදයකි. එහෙත් එවැනි දුර්වලකම් කිසිවක් මෙතෙක් අල්මබූ විසින් ප‍්‍රදර්ශනය නොකිරීම ඔහු කොටු කිරීමට ප‍්‍රධානම බාධාවක් ලෙස මොසාඞ් ලොක්කන් හැමවිටම කල්පනා කර සිටියේය.

‘‘කොක්කෙන් බැරිනං කෙක්කෙන්” න්‍යාය අනුගමනය කරමින් අල් මබූ හරියටම කොටු කිරීමට නම් ඔහු සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වන යමෙකුගේ හෝ සංවිධානයකගේ සහය අනිවාර්යෙන්ම ලබා යුතු බව මොසාඞ් සංවිධානය මේ වන විට තීරණය කර සිටි අතර මේ අනුව මොසාඞ් චරපුරුෂයන් සිය බුද්ධි මෙහෙයුම් ජාලය ක‍්‍රියාත්මක කරමින් පලස්තීන දේශය තුළ ඉතා ක‍්‍රියාකාරී ලෙස කටයුතු කරමින් සිටී. දේශපාලන සංවිධානයක් වන අල් පාටා සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකුගේ සහය අල්මබූ මෙහෙයුම සඳහා ලබාගැනීමට කටයුතු කළේය. මෙම පුද්ගලයන් දෙදෙනා ෆාටා සංවිධානය නියෝජනය කරමින් හමාස් සංවිධානය සමඟ ද කිට්ටු සම්බන්ධතා ගොඩනඟාගෙන සිටි අයවලූන් වන අතර ඒ සියලූම කටයුතුවලට අමතරව මොසාඞ් සංවිධානයටද රහසිගත තොරතුරු සැපයීමේ කටයුතුවල ද නිරතව සිටි පුද්ගලයන්ය. මේ සඳහා එම පුද්ගලයන් දෙදෙනාට ඩොලර් මිලියන ගණනක් වුවද වැයකිරීමට මොසාඞ් සංවිධානය නොපැකිළිව ඉදිරිපත්ව සිටින ලදී.

අල් පාටො ක‍්‍රියාකාරීන් අල් මබු සමඟ දේශපාලනික වශයෙන් ඉතා කිට්ටුවෙන් වැඩ කළ දෙදෙනෙකි. 2010 වසර වන විට හාමාස් සංවිධානය ඉතා ක‍්‍රියාකාරී වැඩ කොටසක් අල්මබූ වෙත පැවරී තිබුණ අතර විශේෂයෙන් හමාස් සංවිධානයට අවශ්‍ය අවි ආයුධ සහ යුද උපකරණ නීති විරෝධී ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවන්ගෙන් මිලදී ගැනීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පැවරී තිබුණේ ඔහු වෙතය. මේ හේතුවෙන් මේ වකවානුව වන විට අල් මබූ ඉතා අවිවේකී පුද්ගලයකු බවට පත්ව තිබූ අතර විශේෂයෙන් අවි මිලදී ගැනීමේ කටයුතු සඳහා ඔහු ඩුබායි, සාජා, අබුඩාබි, කරච්චි සහ පෙෂාවර් වැනි නගර අතර ඉතා රහසිගතව සංචාරය කරමින් සිටියේය. ඔහු වෙත පැවරී තිබූ අධික කාර්යන් සමූහය හේතුවෙන් හමාස් සංවිධානය මේ වන විට ඔහුගේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සම්බන්ධීකරණ කාර්යාලයක් ගාසා තීරයේ රහසිගතව පවත්වාගෙන යනු ලැබූ අතර ඔහුට ඉතා විශ්වාසවන්ත ලේකම්වරියක් එම කාර්යාලයේ කටයුතු භාරව කටයුතු කළේය. ඊට අමතරව මනා අවි පුහුණුව ලත් හාමාස් සාමාජිකයන් හය දෙනකු අල්මබූ ගේ ආරක්ෂාවට යොදවා සිටි අතර බොහෝ විට ඔහු පලස්තීනයෙන් පිටත රහසිගතව සිදු කරන විදේශ සංචාරයන්හි දී මෙම ආරක්ෂක භටයන් ඔහු සමග නිරතුරුවම ගමන් කරනු ලැබුවේ ඉඩ ලද ඕනෑම අවස්ථාවක අල්මබූ ඝාතනය කිරීමට මොසාඞ් සංවිධානය නොපැකිළෙන බව හොඳින් පසක් කරගෙන සිටි බැවිනි.

2010 ජනවාරි මාසේ වන විට හමාස් සංවිධානය සඳහා ඉතා අත්‍යවශ්‍යව තිබූ රොකට් ලෝන්චර් තොගයක් මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර අවි ගනුදෙනුකරුවකු සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අල් මබූට ඩුබායි නුවරට යෑමට සිදුව තිබිණි. මේ ගමන සඳහා ඔහු සුපුරුදු පරිදි ප‍්‍රථමයෙන් සිය නිවැරදි පලස්තීන ගමන් බලපත‍්‍රය භාවිතා කරමින් සිරියාවේ ඩැමස්කස් නුවරට ගමන් කළ අතර දින කීපයක් ඩැමස්කස් නුවර ගතකර සිය ව්‍යාජ සිරියන් ගමන් බලපත‍්‍රය භාවිතා කරමින් මොහොමඞ් අබ්දුල් රවුෆ් මොහොමඞ් නමින් ජනවාරි දහනම වන දින සිරියාවේ ඩැමස්කස් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයට පැමිණ සිටින ලදී. ඔහු විදේශ සංචාරයක යෙදී සිටින සෑම අවස්ථාවකම අවම වශයෙන් ඔහුගේ ශරීර ආරක්ෂකයන් (Personal Bodyguards) තිදෙනකුවත් ඔහු සමඟ සංචාරයේ යෙදෙන නමුත් ජනවාරි 19 වන දින ඩැමස්කස් නගරයේ සිට ඩුබායි වෙත පැමිණීමට නියමිතව තිබූ එමරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ආසන පහසුකම් මෙම ආරක්ෂකයන් තිදෙනා වෙත ලබා ගැනීමට නොහැකි වූ බැවින් ඔහුට මෙවර ශරීර ආරක්ෂකයන් නොමැතිව ඩුබායි නගරයට පැමිණීමට සිදුව තිබිණි. ශරීර ආරක්ෂකයන් තිදෙනාට පසුදිනට නියමිත emirates ගුවන් යානයකින් ඩුබායි වෙත පැමිණීමට උපදෙස් ලබා දී තිබූ අතර ශරීර ආරක්ෂකයන් තිදෙනා වෙත ගුවන් ගමන් පහසුකම් ලබා නොදීම පසුපස මොසාඞ් සංවිධානය සිටියේද යන්න අදටත් අභිරහසක්ව පවතින්නකි.

කෙතරම් දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අල්මබූ සිරියාවේ සිට ඩුබායි නුවරට පැමිණ සිටියත් වසර 21 ක් පුරාවට තමන් සමග හැංගිමුත්තන් සෙල්ලමේ යෙදී සිටින ගොදුර ඩැහැගැනීමට ලැබුණා. නිවැරදි තොරතුරු ඔස්සේ ක‍්‍රියාත්මක වුණු මොසාඞ් චරපුරුෂයන් ඒ වන විටත් දඩයමට අවශ්‍ය දඩබිම සකස් කිරීමේ කටයුතුවල නිරතව සිටි බව ඔහු හාන්කවිසියක්වත් දැන සිටියේ නැත. මෙම සුවිශේෂ මෙහෙයුම සඳහා මොසාඞ් සංවිධානය විසින් ඒ වනවිටත් සිය ලක්ෂ සංඛ්‍යාත චරපුරුෂ බළඇණිය අතරින් සුවිශේෂ දක්ෂතාවයන්ගෙන් යුත් චරපුරුෂයන් 26 දෙනකු තෝරාගෙන හමාරය. මේ සුවිශේෂ චරපුරුෂයන් ඒ වනවිටත් අවස්ථා තුනකදී ලෝකයේ විවිධ ස්ථාන දාහතරක සිට ඩුබායි නුවරට පැමිණ ස්ථානගතව සිටින ලදී.

උණු ජල ස්නානය සහ උණුසුම් කෝපි කෝප්පයක් පානය කිරීමෙන් එතෙක් වේලා සිරුර වෙලාගෙන තිබූ තෙහෙට්ටුව සෝදා හළ අල්මබූ සවස හය පමණ වන විට Al Bustan Rotana හෝටලයේ කාමර අංක 230න් පිටතට පැමිණ නගරය තුළ නේකවර්ණ විදුලි ආලෝක මැද පුළුල් මං මාවත් ඔස්සේ ඔහේ ඇවිද ගියේ ශරීර ආරක්ෂකයන් ගෙන් තොරව ලද නිදහස් පරිසරයේ පහස විඳගන්නටය. ඉතා රහසිගතව මෙහි පැමිණි තමා ගැන අවධානය යොමු කිරීමට කිසිවකු අවට පරිසරයේ නොමැති බව සක්සුදක්සේ තහවුරු කරගෙන සිටි ඔහු ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගනිමින් නිදහස් පරිසරයේ රිසිසේ ඇවිද යන්නට විය. ඇවිදීමෙන් විඩාවට පත්වූ විට අවන්හලකට ගොඩ වැදී උණු “expresso” කෝපි කෝප්පයක් තොල ගෑමට ද ඔහු අමතක නොකළේය. එහෙත් ඔහුගේ දෑස්වලට මෙන්ම තියුණු ඉවට ද අභියෝග කරමින් පුරා වසර 21 ක් මුළුල්ලේ ලොව ශක්තිමත්ම චරපුරුෂ සේවාව ලෙස ප‍්‍රකට තම සංවිධානය සමඟ හැංගි මුත්තන් කෙළියේ යෙදී සිටින මේ සුවිශේෂ පුද්ගලයා වෙත එල්ල වුණු තියුණු චර පුරුෂ ඇස් ඒ වන විටත් පැවතුණේ ඉතා ක‍්‍රියාශීලී තත්ත්වයේය. මොසාඞ් චරපුරුෂයන් කණ්ඩායමක් මේ වන විටත් අල්මබූ වටා රැඳෙමින් තම ගොදුර නිසි වේලාවට දැලට කොටුකර ගැනීමේ අඛණ්ඩ මෙහෙයුමක යෙදී සිටියේය. මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය තොරතුරු මේ වන විටත් ෆාටා සංවිධානය ඔත්තුකරුවන් දෙදෙනා වෙතින් මොසාඞ් සංවිධානය වෙත ලැබී තිබුණු අතර ඔහුගේ ලේකම්වරිය අතින් සිදු වූ සුළු අත්වැරැද්දක් හේතුවෙන් Al Bustan Rotana හෝටලයේ කාමර වෙන් කරවා ගැනීමේ විස්තර මේ වන විටත් මොසාඞ් සංවිධානය අතට පත්ව තිබූ අතර ඒ තොරතුරු මත ක‍්‍රියාත්මක වූ ඔවුහු තම දඩබිම නිවැරදිව සකස් කර ගනිමින් සිටියේය.

පර්සියන් ගල්ෆ් මුහුදු රැළි සිඹ එන සිහිල් සුළං ධාරාවන්ගේ පහස ලබමින් පැය කීපයක් නිදහසේ සැරි සැරූ අල්මබූ හරියටම රාත‍්‍රී 8:24 ට ආපසු අල් බුස්තාන් රොටානා හෝටලයේ අංක 230 දරන සිය කාමරයට පැමිණියේය.

වසර විසි එකක් බලා සිට සිදුකළ සුපිරි මොසාඩ් මෙහෙයුම

අංක 230 දරන කාමරයේ ඇතුළත කරුණු කාරණා ඒ ආකාරයට සිදුවෙමින් පවතිද්දී හෝටලයෙන් පිටත සහ හෝටලයේ ලොබිය තුළ මොසාඞ් චරපුරුෂයන් වසර විසි එකකට පසු ඔවුන් වෙත ලද ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට අවශ්‍ය මෙහෙයුමේ අවසන් මොහොත කරා එළඹීමට සූදානම්ව සිටියේය. මෙවැනි ඝාතන මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද මොසාඞ් චර පුරුෂයන් දෙදෙනකු ඒ වනවිටත් ඔවුන් සතුව තිබූ අංක 230 දරන කාමරයෙන් යතුරු කාඞ් පත භාවිතා කරමින් කාමරයේ දොර විවෘත කරගෙන අල්මබූ සිටි කාමරයට ඇතුළුවී අවසන්ය.

ඝාතකයන් දෙදෙනා හරියටම රාත‍්‍රි අටයි හතළිස් හයට අංක 230 දරන කාමරයට ඇතුළු වන අතර සිය මෙහෙයුම අවසන් කර විනාඩි 26කට පසු රාත‍්‍රි 9:12 ට ඔවුන් කාමරයෙන් පිටතට පැමිණ හෝටලයේ ලොබිය ඔස්සේ මහා මාර්ගයට අවතීර්ණව අඳුරට එක්වන දර්ශන ද පසුදින පොලිස් විමර්ශනයන් හිදී සොයා ගැනීමට ඩුබායි පොලිස් විමර්ශකයන් සමත් විය.

අල්මබූ ඝාතනය සඳහා මොසාඞ් චරපුරුෂයන් යොදාගෙන තිබූ උපක‍්‍රමය වී තිබුණේ ඔවුන්ටම ආවේණික සුවිශේෂ ඝාතන උපක‍්‍රමයක් වන ඝාතනය කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ නාසය වැසෙන සේ ඇඳේ කොට්ටය මුහුණට හිරකර හුස්ම ගැනීමේ බාධාවක් ඇතිකර ඝාතනය කිරීමයි. අල්මබූ ගේ මෘත ශරීරයේ දෙපාවල වළලූකර අසල දරුණු පිළිස්සුම් තුවාල දක්නට තිබූ අතර බොහෝ විට මෙම තුවාල අධිබල විදුලි සැර ශරීරයට ඇතුළු කිරීම හේතුවෙන් සිදුවන ඒවා බව වෝහරික විශේෂඥයන් මෘත ශරීරය සම්බන්ධව පසුව සිදුකරන ලද පරීක්ෂණයක දී හෙළිකර ගෙන තිබුණා. බොහෝවිට පුද්ගලයන්ගෙන් තොරතුරු වමාරා ගැනීම සඳහා මොසාඞ් වැනි චරපුරුෂ සේවාවන් අධිබල විදුලි සැර ශරීරයට ඇතුළත් කිරීමෙන් වේදනාකාරී තත්ත්වයක් ඇතිකර තොරතුරු ලබා ලබාගැනීමේ ක‍්‍රමවේදයක් භාවිත කරනවා. මේ සඳහාම සකස් කරන ලද ඉතා කුඩා බී‍්‍රෆ් කේස් එකක් තරමේ උපකරණයක් ඔවුන් සතුව පවතිනවා. අල්මබූ ගේ කාමරයට ඇතුළු වන ඝාතකයන් දෙදෙනාද මෙවැනි උපකරණයක් රැගෙන යනවා පසුව සිදුකරන ලද සීසීටීවී දර්ශන පරීක්ෂාවේදී ඩුබායි විමර්ශකයන් හෙළිකර ගනු ලැබුවා. මේ අනුව ඝාතකයන් අල්මබූ ඝාතනය කිරීමට පෙර ඔහුගේ ශරීරයට අධිබල විදුලි සැර සාත්තුවක් සිදු කර ඔවුනට අවශ්‍ය තොරතුරු ඔහුගෙන් ලබාගත් බව සැක කිරීමට වෙනත් සාධක අවශ්‍ය නැහැ.

අල්මබූ ඝාතනය කර පැය හතරක් ගත වීමටත් ප‍්‍රථම ඝාතන ක‍්‍රියාවලිය සඳහා ඩුබායි නගරයට පැමිණ සිටි ඝාතකයන් 26 දෙනාම ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඔස්සේ ලෝකයේ විවිධ ස්ථාන දාහතරකට පිටත්ව යන දර්ශන සහ ඔවුන්ගේ සියලූම ගමන් බලපත‍්‍ර විස්තර ලබා ගැනීමට ඩුබායි පොලිස් නිලධාරීන් සමත් වුවද ඒ සියලූ විස්තර ඉතා කූට ලෙස සකස් කරන ලද ව්‍යාජ තොරතුරු බව පසුව කරන ලද විමර්ශනයේදී හෙළිදරව් වුණා.

ගමන් බලපත‍්‍ර විස්තර අනුව මෙම ඝාතන කණ්ඩායමට බි‍්‍රතාන්‍ය ජාතිකයන් 12ක් අයර්ලන්ත ජාතිකයන් හයදෙනෙක්, ප‍්‍රංශ ජාතිකයන් හතර දෙනෙක්, එක් ජර්මන් ජාතිකයකු සහ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයන් තිදෙනකු අයත්ව සිටියා. මෙම ව්‍යාජ ගමන් බලපත‍්‍ර සකස් කිරීම සඳහා එම රටවල පදිංචි පුද්ගලයන්ගේ තොරතුරු ලබාගෙන එම තොරතුරු ඔස්සේ ව්‍යාජ ඡායාරූප ඇතුළත් කරන ලද ගමන් බලපත‍්‍ර සකස් කර තිබූ බව මේ සම්බන්ධව සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදී පසුව හෙළිදරව් වුණා.

මෙම සිද්ධීන් මාලාවට අදාළ සියලූම සමීප රූප කැමරා දර්ශන ඇතුළත් කර සකස් කෙරුණු වීඩියෝ වැඩසටහනක් ඩුබායි පොලිස් කොමසාරිස් ලෙෆ්ටිනන් ජනරාල් ඩායි කලීෆා තමීම් විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කළ අතර අල්ෆාටා සංවිධානයේ සාමාජිකයන් දෙදෙනාගේ හැර ඝාතන කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් 26 දෙනාගේම ඡායාරූප සහ ඔවුන් මෙහෙයුම සඳහා භාවිතා කළ ගමන් බලපත‍්‍ර විස්තර සියලූම ජාත්‍යන්තර මාධ්‍ය වෙත මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී තමීම් විසින් නිකුත් කරනු ලැබුවා. මෙම ඝාතන සිද්ධිය සිදුවී මේ වන විට වසර 10 ගෙවී ඇතත් කිසිදු ඝාතකයකුගේ මයිල් ගහක තරම්වත් තොරතුරු සොයා ගැනීමට ලෝකයේ කිසිදු ආරක්ෂක අංශයක් මෙතෙක් සමත් වී නැහැ. මෙම ඝාතන කණ්ඩායම මොසාඞ් සංවිධානයට අයත් නොවන පිරිසක් බවත් මෙම ඝාතන සිද්ධිය සඳහාම විශාල මුදලක් ගෙවා කුලියට ගනු ලැබූ කුලී ඝාතකයන් කණ්ඩායමක් බවත් සමහර ආරක්ෂක විශ්ලේෂකයන් මත පළකර තිබෙනවා.

මෙම රහසිගත ඝාතන මෙහෙයුමට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි පොලිසිය විසින් ජාත්‍යන්තර පොලිසියේ සහ ස්කොට්ලන්ඞ්යාඞ් විශේෂඥයන්ගේ සහාය ලබා ගනු ලැබුවා. මෙහෙයුමට සම්බන්ධ චර පුරුෂයන් විසින් භාවිතා කරන ලද විශේෂිත සංනිවේදන උපකරණයේ තොරතුරු ලබා ගැනීමටත් ඒ ඔස්සේ දුරකථන ජාල පරීක්ෂාවෙන් අපරාධකරුවන්ගේ අනන්‍යතාවය සොයා ගැනීමටත් ඔවුන් දන්නා තාක්ෂණික මෙහෙයුම් සිදුකළත් ඒ විශේෂ සන්නිවේදන උපකරණය තොරතුරු කිසිවක් හෙළි කර ගැනීමට මෙතෙක් ඩුබායි පොලිස් නිලධාරීන් සමත් වූයේ නැහැ. ඒ තරමටම රහසිගතව සහ සංකීර්ණ ලෙසයි මොසාඞ් සංවිධානය මෙම මෙහෙයුම සිදුකර තිබුණේ. කෙසේ වෙතත් වසර විසි එකක් ගතවී හෝ තම පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම සහ ඊශ‍්‍රායල් විරෝධී කටයුතුවල යෙදී සිටී හමාස් සංවිධානයේ ප‍්‍රබලයකු සුවිශේෂ මෙහෙයුමක් තුළින් විදේශීය භූමියකදී කිසිදු සාක්ෂියක් නොතබා ඝාතනය කිරීමට හැකිවීම මොසාඞ් වැනි චරපුරුෂ සේවාවකට ඔවුන්ගේ හැකියාවන් සම්බන්ධව ලැබෙන සුවිශේෂ සහතිකයක් වනවා නිසැකයි.

ප‍්‍රියන්ත ජයකොඩි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ‍්‍රාමික)

advertistmentadvertistment
advertistmentadvertistment