වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්ගේ ඝාතකයා වසර තුනකට පසු කොටුවෙයි!

582

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් තිහාර ජයරත්න මහතාගේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු වසර තුනට පමණ පසු අත්අඩංගුවට ගත්බැව් අපරාධ පරීක්ෂණ දේපාර්තමෙන්තුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සිය නිවස අසල මළ ගෙදරකට පැමිණ සිටියදී 10 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදිවියේ පසුවන රත්ගම ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකි. ප්‍රධාන ජේලර්වරයා 2019 වර්ෂයේ අගෝස්තු මස 03 වැනි දින අම්බලන්ගොඩ, කුලිගොඩ ප්‍රදේශයේ දී ඝාතනයට ලක්විය. මෙකී ඝාතනයෙන් පසු වෙඩික්කරු අතුරුදහන්ව සිටි ඇති අතර ඔහු 2019 වර්ෂයේ 08. 22 වැනිදින ඩුබායි බලාගොස් ඇත. නැවත 2021. 03. 03 වැනි දින මෙරටට පැමිණ ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු මෙරටට පැමිණ පොලිස් ඇසට ද වැලිගසමින් තැන් තැන්වල සැඟවී සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මොහු සිය ගම්පලාතේ අයටද විදේශතව සිටින බව හඟවමින් විවිධ ස්ථානවල නතරවී සිටි ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හිටපු යුද හමුදා සෙබළෙකි. ඔහු යුද හමුදාවෙන් පලාවිත් තිබූ අතර පසුව පොදු සමාව යටතේ නීත්‍යානුකුලව යුද හමුදාවෙන් ඉවත්වී ඇත. මොහු සිවිල් ආරක්ෂක බළකායේ ද සේවය කොට ඇති බවට අනාවරණය වී ඇත. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මාස අටක පමණ කාලයක් තිස්සේ සැකකරු පිළිබඳ විමර්ශනය කොට දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන ජේලර්වර්යාගේ ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇති බවට අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිසියට භාරදී ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment