ඉතිහාසයේ වැඩිම එළවළු මිල මේ දිනවල…

වැස්ස පායලා මාස එකහමාරක් යනකොට එළවළු මිල අඩු වෙනවා…
නුවරඑළියේ කෘෂි උපදේශක

අතරමැදි වෙළෙඳාමට තිත තියන්න එළවළු බෙදාහැරීම අපිට දෙන්න
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම්

එළවළු මිල වැඩි කරලා තියෙන්නෙ වෙළෙන්දො අපිට ඇති සෙතක් නෑ…
ගොවීන්ගේ පොදු හඬ

වෙළෙඳපොළේ එළවළුවල මිල දකින විට බඩ, පපුව දවන තරම් ය. වෙළෙඳ සලෙන්, වෙළෙඳසලට එළවළු මිල වෙනස්ය. මේ සටහන තබන පසුගිය බදාදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලොවක තොග මිල රුපියල් 950 කි. බෝංචි 400 කි. ලීස් 300 කි. ගෝවා 400 කි. අමු මිරිස් 900 කි. මාළු මිරිස් 500 කි. වම්බොටු 450 කි. කරවිල 300 කි. වැටකොලු 350 කි. වට්ටක්කා 80 කි. රාබු 50 කි. දෙහි 150 කි. මෙරට ප්‍රධාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් එසේ පවතින පසුබිමක පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 900 කි. බෝංචි 600 කි. ලීස් 400 කි. බීට්රූට් 700 කි. ගෝවා 450 කි. තක්කාලි 300 කි. වට්ටක්කා 130 කි. වම්බොටු 400 කි. කරවිල 400 කි. වැටකොළු 360 කි. මෑකරල් 200 කි. බණ්ඩක්කා 200 කි. රාබු 100 කි. අමු මිරිස් 1000 කි. මාළු මිරිස් 650 කි. දෙහි 200 කි. නාරාහේන්පිට ජාතික පොළේ සෑම එළවළුවක ම මිල ඉහත සඳහන් මිලට වඩා කිලෝවක් රුපියල් 80 සිට ඉහළට වැඩිය. පිටකොටුව බෝ ගහ යට පොළේ එළවළු මිල ද නාරාහේන්පිට ජාතික පොළට දෙවැනි නැත. රට පුරා සෙසු සිල්ලර වෙළෙඳසැල්වල එළවළු මිල ආර්ථික මධ්‍යස්ථාන තොග මිලට වඩා දෙගුණයකට වැඩිය. සුපිරි වෙළෙඳසල්වල එළවළු ග්‍රෑම් 100 අස්ප ගණන්ය. මේ වනවිට මෙරට වෙළෙඳපොළේ කුණු කොල්ලයට අලෙවි වනුයේ ආනයනික අර්තාපල් අල පමණි. එළවළු මිල ගැන තවත් කතා කර ඵලක් නැත. මෙරට ඉතිහාසයේ වැඩිම එළවළු මිල පවතිනුයේ මේ දිනවලය.

වැස්ස අස්වැන්න අඩු කරයි..අතරමැදියෝ එළවළු මිල උස්සයි

දැන් අප සොයාබැලිය යුත්තේ එළවළු මෙපමණකින් වැඩිවීමට හේතුව ගැනය. ඒ ගැන සොයාබැලීම සඳහා එළවළු වගාවට ප්‍රසිද්ධ නුවරඑළිය සිට වැලිමඩ, බදුලු, බණ්ඩාරවෙල මෙන්ම මැදරට අනුරාධපුරය, රාජාංගණය, දඹුල්ල ප්‍රදේශවල එළවළු ගොවීන් සමඟ අපි කතාබහ කළෙමු. රජාංගණය සහ ඒ අවට ගොවියෝ එළවළු වගාවෙන් ඈත් වී අල බෝග වගාවට ප්‍රමුඛතාව ලබා දී තිබෙන බවත් ඔවුහු පැවසූහ. පුත්තලම, නොරොච්චෝලෙ, යාපනයේ ගොවීහු ද වගා කර අත්විඳින ගැටලු ගැන අපට කීහ. හම්බන්තොට, සූරියවැව, ඇඹිලිපිටියේ ගොවීහු ද හදවත්වල කැකෑරෙන පීඩනය වචන කළහ. මෙරට එළවළු වගාවට ප්‍රසිද්ධ ප්‍රදේශවල ගොවීහු පැවසූ ගැටලුවල පොදු මතය එළවළු මිල වැඩි වුවද ගොවීන්ට එයින් සෙතක් නැති බවය. බීජ, පොහොර, තෙල් බෙහෙත්වලට අධික වියදමක් දැරීමට සිදු වී ඇති බවත්, එම වියදමට සාපේක්‍ෂව අස්වැන්නක් නොලැබෙන බවත් ගොවීහු පැවසූහ. පසුගිය කාලය තුළ රට පුරා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය ද එළවළු අස්වැන්න අඩු වීමට ප්‍රබල සාධකයක් වී ඇති බව ද ඔවුහු පැවසූහ. පසුගිය කාලයේ පමණක් නොව මේ සටහන තබන බදාදා දිනයේදී ද කාලගුණ විද්‍යා නිවේදනයට අනුව උතුර, නැඟෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල තද වැසි ඇදහැළෙන බව වාර්තා කර තිබිණි. ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබිණි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කර තිබිණි. තිස්සමහාරාම ප්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාව නිසා යාල රක්‍ෂිතය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව ද වාර්තා විය. එකී ප්‍රදේශවල එළවළු කොරටු පමණක් නොව වෙනත් වගාවන් ද දිය බත් වෙමින් පවතින බව වාර්තා වේ. කඳු රට එළවළු කොරටු සහිත උස් බිම් නාය යමින් පවතින බවද දෛනිකව වාර්තා වේ. මේ තත්ත්වය මත ඉදිරි දිනවල එළවළු මිල තවත් වැඩි වන බව ලැබෙන ආරංචි මාර්ගය.

“පවතින කාලගුණ තත්ත්වයත් සමඟ ගොවීන් බලාපොරොත්තු වෙච්ච අස්වැන්න ලැබෙන්නෙ නෑ. සමහර කොරටුවල ඵලදාව වැස්සත්, පස් කඳු සෝදාගෙන යෑමත් එක්ක විනාශ වෙලා. වැස්ස අඩු වෙලා මාස එකහමාරක් විතර යනකොට එළවළු මිල අඩු වෙයි. ඒත් ලබන සතිය, ඊළඟ සතිය වෙනකොට එළවළු මිල තව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එළවළු වගා කරන වෙනත් ප්‍රදේශවලට සාපේක්‍ෂව නුවරඑළියේ එළවළු කල් තබාගැනීමේ කාලය, ගුණාත්මක තත්ත්වයත් වැඩියි. ඊට සාපේක්‍ෂව මිලත් වැඩියි. ඒත් එළවළු මිල මෙච්චරට වැඩි කරලා තියෙන්නෙ වෙළෙන්දො.

ගොවියො මාස හතරක් දුක්මහන්සියෙන් වගා කරන එළවළුවල ඵලදාවෙන් උපරිම ලාභ ගන්නෙ අතරමැදි වෙළෙන්දො. ගොවීන්ගෙ වියදම කවර් වෙලා ඊළඟ කන්නය වගා කරන්න සොච්චමක් අත ඉතිරි වෙනවා විතරයි. ගොවියො ඉන්නෙ හරිම අමරු තත්ත්වයක. බීජ, පොහොර, තෙල් බෙහෙත් ටික වැඩි මිලට හරි වෙලාවට ලැබෙන නිසා උනන්දුවෙන් වගා කටයුතු කරගෙන යන බවක් පේනවා. ඒත් රජය මැදිහත් වෙලා එළවළු වෙළඳාම නියාමනය නොකරන්න එළවළු වගාවෙන් ගොවීන් ඉවත් වෙනවා. අතරමැදි වෙළෙන්දො ගොවීන්ගේ සාරය උරා බොනවා…” නුවරඑළියේ කෘෂි උපදේශකවරයෙක් වූ මංජුල ජයසේන අවසානයට පැවසූ වචන කිහිපය කන වැකෙන විට සිත සසල විය.

මේ රටේ එළවළු වගාව පමණක් නොව, වී ගොවිතැන ඇතුළු සියලුම වගාවන්වලින් උපරිම ලාභ ලබනුයේ තම සන්තකය වියදම් කර දහදිය වගුරුවන ගොවීන් නොව ව්‍යාපාරිකයන් ය. අසරණ ගොවීන් දිළිඳුකමේ අඩියට ම තල්ලු කරමින් වෙළෙඳුන් රත්තරං පොරවන වෙළෙඳ මාෆියාව ගැන මේ රට කර වූ සහ කරන දේශපාලන හැත්ත ද හොඳින් දැන සිටිති. එහෙත් මාෆියාකාර වෙළෙඳුන්ගෙන් ලැබෙන සන්තෝෂමෙන්, සන්තර්පනය වන දේශපාලනඥයන්ට ගොවි දුක නොදෙනෙති. එමෙන්ම මේ රට තුළ ඕනෑම වගාවකට අවැසි සියලු සම්පත් තිබෙන බවට අදාළ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් පාරම්බාති. පිටරටවලට විකිණීමට තරම් එළවළු නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙන බව එළවළු ගොවීහු ද කියති. රටට ප්‍රමාණවත් අර්තාපල්, ලොකු ලූනු, රතු ලූනු නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙන බව අදාළ ගොවීහු කියති. එහෙත් පසුගිය වසරේ මෙරටට අල, පරිප්පු එළවළු ආනයනය කිරීමට ඩොලර් මිලියන 300 ක් වියදම් කර තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 337 ක අයි. එම්. එෆ්. දෙවැනි වාරිකයෙන් සෙසු වියදම්වලට ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන 37 ක් පමණි. විලිලැජ්ජාවෙන් මගෙ කය ඇඹරිණි. දණ්ඩක් විසි කළත් දලු දාන රටේ හෙට අනිද්දා වෙනකොට ඉන්දියාවෙන් මුරුංගා ආනයනය කළ ද පුදුම නොවෙන්න; යාපනයේ සති පොළේ මුරුංගා කිලෝවක මිල රුපියල් 3000 කි. එමෙන්ම ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් ඇතුළු පිරිසක් ගම්වලට ගොස් දෙහි ගස් යට වැටී කුණු වන අයුරු මාධ්‍යයට අනාවරණය කිරීමත් සමඟ දෙහි කිලෝව රුපියල් 150 ට අඩුවීම පුදුමසහගතය. එළවළු වෙළෙඳාමට නිසියාකාර නියාමනයක් නැතිකම, රට පුරා එළවළු බෙදී යෑමේ විෂමතාව සහ කාලයට, දේශයට උචිත ආකාරයට වගා කටයුතු සිදු කිරීමට ගොවීන් දැනුවත් නොකිරීම, ගුණාත්මක බීජ ලබා නොදීම නිසා නිර්මාණය වී තිබෙන ගැටලු මේ වන විට පිළලයක් බවට පත් වෙමින් තිබේ. මෙරට පුරා ආර්ථික මධ්‍යස්ථාන විසිගාණක් මෙන්ම දැනට ආර්ථික මධ්‍යස්ථාන දහතුනක් සක්‍රිය මට්ටමේ පැවතිය ද ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට සතුටු විය හැකි මට්ටමේ වෙළෙඳාමක් එම මධ්‍යස්ථාන තුළින් ද සිදු නොවන බවද වාර්තා වේ. එහි සත්‍යතාව ගැන විමසා බැලීමට රංගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර මහතාව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කර ගත්තෙමු.

වැස්ස අස්වැන්න අඩු කරයි..අතරමැදියෝ එළවළු මිල උස්සයි

“1999 අවුරුද්දෙ අප්‍රියෙල් 01 වැනිදා අපේ රටේ ප්‍රථම ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය ආරම්භ වෙන්නෙ දඹුල්ලෙ. එවකට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්ව සිටි අනුර දිසානායක තමයි විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ආරම්භ කිරීමට මූලික වෙලා තිබුණේ. මේ වෙළෙඳ මධ්‍යස්ථානයේ විශේෂත්වය විකුණුම්කරු ගොවියා. ප්‍රධාන ගැනුම්කරු තොග වෙළෙන්දා. වෙළෙන්දගෙ දහදිය මහන්සියට, වියදමට සරිලන උපරිම සාධාරණ මිලක් ලැබෙනවා. ඒ විශ්වාසය මත මෙරට පුරා එළවළු වගා කරන ප්‍රදේශවලින් සියයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයක එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආවා. මෙරට සියලු නගරවල එළවළු තොග වෙළෙන්දන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සමඟ දෛනිකව ගනුදෙනු කළා. ඒ වෙළෙන්දො රැගෙන යන බඩු තව අතරමැදි වෙළෙන්දන්ට දුන්නෙ නෑ. සති පොළේ, එළවළු කඩේ තියාගෙන පාරිභෝගිකයින්ට ම විකුණුවා. එළවළු මිල අඩු, වැඩි වන වාසිය ගොවියටත්, පාරිභෝගිකයටත් පැහැදිලිව විතැන් වුණා…”

“දැන් වෙලා තියෙන්නෙ රට පුරා ආර්ථික මධ්‍යස්ථාන. අර ආර්ථික මධ්‍යස්ථානයෙන් මේ ආර්ථිකයට එළවළු තොග රැගෙන යනවා. ඒ ආර්ථික මධ්‍යස්ථානවලින් තොග වෙළෙන්දන් අරගෙන යනවා. ඒ වෙළෙන්දො සිල්ලර වෙළෙන්දන්ට විකුණනවා. අන්තිමේ පාරිභෝගිකයන් අතට පත් වෙන්නෙ මළකුණු වෙච්ච එළවළු. ඒ ලැබෙන්නෙත් අතරමැදියො කිහිපදෙනෙක්ට ලාභය බෙදිලා ගිහින් ගොවියගෙන් මිලදී ගත්ත මුදලට වඩා කිහිප ගුණයකින් මිල වැඩි වෙලා. එහෙම වෙනකොට සති පොළේ එළවළු එක මිලක්. එළවළු කඩේ තව මිලක්. ගමේ සිල්ලර කඩේ කුණු එළවළු ග්‍රෑම් 250 ත් අස්ප ගනන්. සුපිරි වෙළෙඳසල්වල එළවළු ග්‍රෑම් 100 ගිනි ගණන්. මිල වැඩිවීමක් විතරක් නෙමෙයි, විවිධාකාරයි. එළවළු මිල දකිනකොට පාරිභෝගිකයන්ට මොළේ කචල් වෙනවා. ඒ වගේම මිල අඩු වුණා කියලා ඒ එළවළුවේ වැඩි තොග ප්‍රමාණයක් රැගෙන යෑමට තොග වෙළෙන්දො කටයුතු කරන්නෙ නෑ. වෙනදටත් වඩා අඩු කිලෝ ප්‍රමාණයක් අරගෙන ගිහින් එම එළවළුවේ හිඟයක් නිර්මාණය කරලා වැඩි මිලට විකුණනවා. ගොවියගෙ කොරටුවේ අස්වැන්න වැඩි වෙලා, ආර්ථික මධ්‍යස්ථානවල තුට්ටුවට වැටුණු එළවළු නගරයේ එළවළු කඩවල, සුපිරි වෙළෙඳසල්වල අධික මිලට විකිණෙනවා. මේ එළවළු මාෆියාව කාලයක සිට පවතින ගැටලුවක්…”

“මේ දිනවල එළවළු මිල වැඩිවීමට ප්‍රධාන හේතුව අයහපත් කාලගුණ තත්ත්වය. ආර්ථික අර්බුදයත් සමඟ වගාවට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම, ප්‍රවාහන වියදම් ඉහළ යෑම. පහුගිය දිනවල සිදු කළ වැට් බදු සංශෝධනයත් සමඟ ඉදිරියට එළවළු මිල තව වැඩි වෙන්න පුළුවන්. එළවළු වෙළෙඳාමේ විෂමතාව තව වැඩි වෙන්න පුළුවන්. මේ ගැටලුව විසඳන්න රජය මැදිහත් වෙලා යම්කිසි යාන්ත්‍රණයක් හරහා ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු මිලට අරගෙන රට පුරා සිල්ලර වෙළෙන්දන්ට බෙදාහරින්න ඕනෑ. නැති නම් තෝරාගත් රට මැද ආර්ථික මධ්‍යස්ථානයකට මෙරට සියලුම ප්‍රදේශවල වගා බිම්වලින් නෙළා ගන්නා එළවළු අස්වැන්න රැස් කරලා, සාධාරණ මිලක් නියම කරන්න ඕනෑ. එතකොට තොග වෙළෙඳුන්ට පැමිණ එළවළු තොග මිලදී ගන්න පුළුවන්. එහෙම වුණොත් පාරිභෝගිකයන් අතට එළවළු පත් වෙනකොට අතරමැදියන් එකයි හෝ දෙදෙනයි. නිශ්චිත වැඩපිළිවෙළක් තුළින් තෝරාගත් ආර්ථික මධ්‍යස්ථානය මාර්ගයෙන් රට පුරා එළවළු තොග බෙදාහරින්නත් පුළුවන්. පවතින එළවළු තොග මිලට ප්‍රවාහන ගාස්තු වියදම, එළවළු අපතේ යෑමේදී ඇති වන පාඩුව ගණන් බලලා සාධාරණ මිලකට ගමේ සිල්ලර වෙළෙඳුන්ගෙ අතටම බඩු තොග ගිහින් දෙන්න පුළුවන්…”

“එළවළු කිලෝ 20000 ක් අරගෙන යන ලොරියක ප්‍රවාහන වියදම විදිහට එළවළු කිලෝවකට රුපියල් තුනක් එකතු වෙයි. උපරිම ප්‍රවාහන වියදම එළවළු කිලෝවකට රුපියල් 10 ක් වෙයි. අපතේ යෑමට රුපියල් 10 ක් එකතු කරලා වෙළෙන්දත් රුපියල් 30 ක ලාභයක් තියාගෙන ගැනුම් මිලට රුපියල් 50 ක් එකතු කරලා පාරිභෝගිකයන්ට එළවළු කිලෝවක් සාධාරණ මිලකට දෙන්න පුළුවන්. එහෙම වුණොත් අතරමැදි වෙළෙඳාම නැති වෙලා ගොවියටත්, පාරිභෝගිකයටත් වැඩි වාසි අත් වන වෙළෙඳාමක් රට තුළ පවත්වාගෙන යන්න පුළුවන්.

පරිභෝගිකයින්ට ගුණාත්මක, අලුත් එළවළු ලබාදෙන්නත් පුළුවන් වෙනවා. විශාල වශයෙන් සිදු වන අපතේ යෑමත් අඩු වෙනවා. අපි මේ යෝජනා ආණ්ඩු කිහිපයකට ඉදිරිපත් කළා. ඒත් ඵලක් වුණේ නෑ…” රංගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර මහතා ඉදිරිපත් කරන යෝජනාව කාලෝචිත ය.

මේ රටේ වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයක් තිබේ. එම අමාත්‍යාංශ භාර ඇමැතිවරයෙක් ද සිටී. අමාත්‍යාංශ තීන්දු තීරණ ගැනීමට නිලධාරීන් ද, වැඩ කිරීමට සේවකයන් ද සිටිති. වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා සතොස සහ සමුපකාර ආයතන තිබේ. එම ආයතන මෙරට සෑම නගරයක් තුළම විවෘතව තිබේ. එම අලෙවිසල්වල නිලධාරීන් සහ සේවකයන් සිටිති. එම අලෙවිසල් සතුව ලොරි රථ තිබේ. එවැනි පහසුකම් තිබියදී ගොවීන්ගේ එළවළු මිලට ගෙන සතොස සහ සමුපකාර ආයතන හරහා පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට ලබාදීමට සෘජු තීන්දු තීරණ ගැනීමට වෙළෙඳ කටයුතු භාර ඇමැතිවරයාට කොන්දක් නැතිකමේ විපාකයෙන් දුක්විඳිනුයේ මේ රටේ අසරණ ජනතාවය. එවැනි ව්‍යාපෘතියක් දියත් කිරීමට අදාළ බලධාරීන්ට බුද්ධියක් නැති නම් රට පුරා එළවළු බෙදාහැරීමට ආර්ථික මධ්‍යස්ථානයකට භාරදිය යුතුය.

එමෙන්ම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය ඇතුළු මේ රටේ කෘෂිකාර්මාන්තයට වගකිවයුතු රාජ්‍ය ආයතනවලින් සිදු කරන කෙණ්ගෙඩිය ගැන රටේ ජනතාව දැනුවත් කළ යුතුය. ඒ සියලු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට, සේවකයන්ට පඩි නඩි ගෙවනුයේ පවතින ආර්ථික අහේනිය තුළ පාන් කියා ගැනීමට නොහැකි තරමට අසරණ වී සිටින ජනතාව සූරාගෙන ගන්නා බදු මුදල්වලිනි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment