වැසි පිරිතේ බලය !

161

මේ දිනවල රට තුළ පවත්නා නියඟය මුල්කරගෙන ප්‍රබල ජාතික කතිකාවතක් නිර්මාණය වී තිබේ. පසුගිය දිනවල පැවැති අධික උෂ්ණත්වය ආදී හේතු මුල් කොට උඩවලවේ ජලාශයේ දියවර බොහෝ සෙයින් සිඳී අඩුවී යෑම හේතුවෙන් ගොවිබිම්වලට ජලය ලබා දීමට නොහැකි වීම මුල් කොට සමනලවැව ජලාශයෙන් වතුර ඉල්ලා ගොවි ජනතාව උද්ඝෝෂණවල ද නිරත වූහ. අවසානයේ මෙය දේශපාලනික බලවේග විසින් නියාමනය කරන තත්ත්වයක් දක්වා ඉහළ නැංවිණි.

මේ අතර තවත් පිරිසක් වර්ෂාව ප්‍රාර්ථනා කරමින් වැසි පිරිත්, දේව කන්නලව් ආදිය සිදු කරති. මෙය උඩවලවේ පමණක් නොව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ආදී වශයෙන් නියඟය දැඩිව පවතින ප්‍රදේශ ගණනාවකම සිදු වෙයි. ඒ ඒ ප්‍රදේශවල ගොවි ප්‍රජා ඒකක විසින් සංවිධානය කරනු ලැබූ මෙවැනි කටයුතු නිසා ජන ආගමික චර්යාවන් ලෙසින් සලකන වැසි පිරිත් වැනි අභිචාර විධි කාලයක් යටපත් වී තිබී නැවත ඉස්මතු වී තිබෙනු පෙනේ. මෙය ප්‍රජා එකමුතුව හා ඒකරාශීත්වයට ද ඉවහල් වන්නකි. මිනිසුන් මානසිකව අසරණ වන්නට වන්නට මෙවැනි විවිධ ජන ආගමික ලක්ෂණ ඉස්මතු වීමට තිබෙන අවකාශය වැඩි ය. මෙය ලෝකයේ සෑම ජන සමාජයකින්ම දක්නට ලැබෙන තත්ත්වයක් මිස අප රටේ ඇතැමුන් පවසන අන්දමට අප සමාජයට පමණක් ආවේණික දුබලකම් හා මෝඩකම් නොවේ. වර්ෂාව අපේක්ෂාවෙන් කරන විවිධ යාතු කර්ම නිවර්තන දේශගුණයකින් යුතු සෑම ප්‍රාථමික සහ ගැමි සමාජයන් හි දක්නට ලැබෙන්නකි. මේවාගේ ඉතිහාසය ජීවාත්මවාදී (Animism) යුගය තෙක් දුරාතීතයට යන බව පැහැදිලි ය.

කෙසේ වුවද සමාජ ජාලා වැනි මාධ්‍ය මගින් මේ සම්බන්ධ බරපතල විවේචන, අපහාස උපහාස එල්ල වෙමින් තිබෙන අතර වැසි පිරිත් මඟින් වැසි ලැබේ නම් සහරා කාන්තාරයට ගොස් වැසි පිරිත් කියන ලෙස ද ඒ අතර සමහර පෝස්ටුවල දැකගත හැකි වුණි.

වර්තමානයේ මෙලෙස සමච්චලයට ලක් වුව ද මානව විද්‍යාත්මකව බලන කල මෙබඳු ජන ආගමික අභිචාර විධි ආකස්මික ලෙස; ඉබේ හටගත් ඒවා නොවන බව පැහැදිලි වේ. සියවස් ගණනාවක් පුරා අපේ ජන විඥානයෙහි මුල් බැසගත් මෙවැනි මතවාද, පසුව සම්ප්‍රදායන් බවට පත්වී ඒවා සංස්කෘතියක් සහ උප සංස්කෘතියක් ලෙස සමාජගත වී ඇත. වැහි පිරිත ද අප රටෙන් 2/3 ක් පමණ සිටින ශ්‍රී ලාංකික බෞද්ධයන් අතුරින් යම් කොටසක් මත පවත්නා ආධ්‍යාත්මික විශ්වාසයක් මත පදනම් වූ උප සංස්කෘතිකාංගයක් ලෙස දැක්විය හැකිය.

මේ අතර සමහරුන් පවසන්නේ වැසි පිරිත යනුවෙන් සූත්‍රයක් හෝ වෙනයම් ධර්ම ඛණ්ඩයක් නොමැති බව ය. එය සත්‍යයකි. වැසි පිරිත ලෙස හැඳින්වෙනුයේ මෑත කාලීන ව රචනා වූ ගාථාවන් දෙකක් පමණි. එය මහනුවර යුගයේ අප සමාජයට සම්ප්‍රේෂණය වූ මහායාන මතයක් මත ස්ථාපිත වූවක් විය හැක. එහි සරල අරුත මෙසේ ය.

“සුභූති හාමුදුරුවන් ගේ විශාල උදරය බඳු වැසි වලාකුළු තිබුණත්, කපුටෙකුට හොටෙන් ගන්නා තරමටවත් වතුර ටිකක් නැත. ඒ සත්‍යානුභාවයෙන් වැසි ලැබේවා!”

මහනුවර යුගයේදී, නුවර කලාවියේ සහ හත් කෝරළයේ පුරාණ වැව් ගම් ආශ්‍රිතව නියං සමයේ දී මේ වැසි පිරිත් භාවිතා කොට තිබිණ. නමුත් මේ සුභූති හිමියන් කවුද? ත්‍රිපිටක සාහිත්‍යයෙන් එවැනි හිමිනමක් ගැන විශේෂයෙන් දැන ගන්නට නැත. බුද්ධ ශාසනය නමින් අප හඳුන්වන දෙය දාර්ශනික හා සංස්කෘතික සුසංයෝගයකි. බෞද්ධ සදාචාරය නිර්මාණය වූයේ මේ දෙකම සංකලනය වීම තුළිනි. මේ අතර තමන්ට එදිනෙදා ජීවිතය තුළ ඇතිවන නොයෙකුත් ගැටලු අර්බුද, දුක් කම්කටොලුවල දී ද බෞද්ධයෝ බුදු සසුනේ පිහිටාරක්ෂාව බලාපොරොත්තු වෙති. මෙය හැම ආගමක ම පවත්නා පොදු ලක්ෂණයක් වේ. සමාජ විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ ශ්වේතාභිචාර (White Magic) ලෙසිනි. එවැන්නක් නැති ආගමක් නොමැත. නිදසුනක් ලෙස අපේ ප්‍රධාන බෞද්ධ සංස්කෘතියේ තිබෙන සිරිමා බෝ සමිඳු පිහිටයි, දළදා සමිඳු පිහිටයි වැනි ආශිර්වාදයන් පිළිබඳව සැලකුවහොත් ඒවායෙහි ද බෞද්ධ දාර්ශනික පදනමක් නැත. ඒවා හඳුන්වන්නේ දේශීය බෞද්ධ සංස්කෘතිකාංග ලෙසිනි. සෑම පුද්ගලයෙකුගේ ම ජීවන දර්ශනයට විද්‍යාත්මක, දාර්ශනික සහ සංස්කෘතික ප්‍රවේශයක් යන මේ සියල්ල අවශ්‍ය වේ. එනිසා කිසියම් ජන සමාජයක පවතින සංස්කෘතියක් හෝ උප සංස්කෘතියක් තුළ පවත්නා චූල සම්ප්‍රදායක්, මහා සම්ප්‍රදායක් තුළ හිඳ එම මහා සම්ප්‍රදායික දෘෂ්ටිකෝණයෙන් දකිමින් විවේචනය කිරීම බරපතළ කාරණයකි. කෑම මේසයක හැඳි ගෑරුප්පු භාවිතයේ දී වරදක් සිදුවුවහොත් ඒ ආචාර විචාර සම්බන්ධයෙන් පොදු සම්මුතියක්, සම්ප්‍රදායක්;

පිළිගැනීමක් තිබෙන නිසා එහිදී සිදු වන යම් දොසක්, වරදක් ලෙස සෘජුව දැක්වීමට පුළුවන. නමුත් ඒ ආකාරයෙන් මෙවැනි සංස්කෘතීන් සහ උප සංස්කෘතීන් අතර තිබෙන චූල සම්ප්‍රදායන් දෙස තම තමන්ට රිසි දෘෂ්ටිකෝණවලින් බලමින් සමච්චලයට ලක් කිරීම සුදුසු නැත. මන්ද පුද්ගල, පවුල් හා ප්‍රජා වශයෙන් එකී ජන සමාජය ඔවුනොවුන්ගේ පැවැත්ම සඳහා අස්වැසුමක්, සැනසීමක් ලබා ගැනීමට මෙවැනි දේවල් පිටිවහලක් කර ගන්නා බැවිනි. නමුත් මා මින් අදහස් කරනුයේ ජන සමාජයේ පවත්නා මෙවැනි අධි විශ්වාස පදනම් කර ගනිමින් අනේක විධ වංචා දූෂණ අක්‍රමිකතාවයනට ඉඩ සලසන වංචනිකන් දිරිමත් කළ යුතු බවක් නොවේ. එය මෙබඳු ජන සමාජමය හර පද්ධතීන් දූෂණය කිරීමකි.

නමුදු කිසියම් ප්‍රජාවක් හෝ සමාජ ඒකකයක් විසින් පවත්වා ගෙන එනු ලබන මෙබඳු ජන විශ්වාස පද්ධතීන් නූතන ව්‍යවහාරයට අනුවම කිව හොත් “ජෝක් එකක්, බයිට් එකක්” කරගත යුතු නොවේ. සමාජය තුළ මෙවන් සංස්කෘතිකාංග අවභාවිතා කරන්නවුන් වනසා දැමීම පිණිස මෙවන් සමාජ හර පද්ධතීන්ට පහර හෙළීම රජු කෙරෙහි ඇති හිතෛශී බව නිසා රජු ගේ අසිපත සියතට ගත් මෝඩ වඳුරාගේ කතාව සිහි ගන්වන්නකි. නිශ්චිත වර්ගඵලයක් ඇති ඍජුකෝණාස්‍රයක දිග හෝ පළල වෙනස් කරන්නට යෑමෙන් එහි හැඩය වර්ගඵලය ද වෙනස් වේ. එනිසා එක් කෝණයකින් පමණක් බලා ජන විඥානයෙහි එන මෙවැනි සම්ප්‍රදායික දේවල් සම්බන්ධයෙන් විරෝධතා සහ නින්දා අපහාස එල්ල කිරීම එම සමාජය තුළ විවිධ චර්යාත්මක විෂමතා සහ සාපරාධී ක්‍රියා හට ගැනීමට හේතුවක් විය හැකිය. පොදුවේ සලකන විට එය එම සමාජයේ යහපැවැත්මට බාධාකාරී තත්ත්වයන් ඇතිවීම සඳහා හේතු වෙයි. එනිසා මෙවැනි දේවල් කෙරෙහි අතිශයින් සහනශීලී ලෙස බලා කටයුතු කළ යුතු ය. මතු සඳහන් වනුයේ කොළඹ යුගයේ විශිෂ්ටතම කවියකු වූ විමලරත්න කුමාරගමයන් වන්නියේ ආදායම් පාලකවරයකුව සිටිය දී 1948 වසරේ ලියන ලද “අයියනායක” නම් පද්‍ය රචනයේ එන එක් කවියකි. එය වත්මන් සමාජ විසින් ද පූර්වාදර්ශයක් ලෙස පිළිගන්නේ නම් ඉන් සමාජයට යහපතක් මිස අවැඩක් සිදුවීමට ඉඩක් නැතැයි මට සිතෙයි.

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්මුර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත්; නොකෙළෙමි එය ගැරහී ම

මානව විද්‍යා මහාචාර්ය
ප්‍රණීත් අභයසුන්දර

advertistmentadvertistment
advertistmentadvertistment