විභාග බරෙන් තොර අධ්‍යාපනයක් හඳුන්වා දෙනවා

107

– ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

 වසර ගණන් එක දිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණ දීමේ පීඩාකාරී මානසික වධයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි පරිශ්‍රමයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සිසුල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් එහා ගිය අධ්‍යාපන පරිවර්තනයක් ඔස්සේ පවත්නා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වාර්ෂික ජාතික ගණිත සරණිය තරගයෙන් ජයගත් සිසු සිසුවියන් සඳහා පැවති ත්‍යාග හා සම්මාන ප්‍රදානෝත්සවයේදීය. මෙම උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති අතර ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත සම්මේලනය මෙය සංවිධානය කරන ලදී.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විශ්වවිද්‍යාල විශ්ව දැනුම ලැබිය හැකි තෝතැන්නක් වන පරිදි පාඨමාලා තාක්ෂණිකව පූර්ණ නව්‍යකරණයකට හා යාවත්කාලීන කිරීමකට ලක් කළ යුතු බව සඳහන් කළේය. පෙර පාසලේ සිටම පාසල් පන්ති කාමරය හරහා මේ පරිවර්තනීය වෙනස සිදු විය යුතු බවත් පෙර පාසලේදී කුතුහලයෙන් පරිසරය නිරීක්ෂණයට ලැබෙන අවකාශය පුළුල් වන තරමට පන්ති කාමරයේදී ප්‍රශ්න විමසමින් දැනුම් මූලාශ්‍ර හඹා යමින් ගවේෂණාත්මක නිදහස් අධ්‍යාපනයක නිරත වීමට දරුවන්ට අවස්ථාව හිමි වන බවත් හෙතෙම පැවසීය. විශ්වවිද්‍යාලයේදී විශ්ව දැනුම හා මුසු වී සමාජයට ප්‍රතිඵල දායක නිර්මාණ බිහි කිරීමට හැකි වන්නේ එවන් ප්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනයක නියැළීම මත බව ද අමාත්‍යවරයා පැවසීය.

 නව තාක්ෂණය හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් මීට දශක දෙකකට පෙර වසර 10 ක් ලෙසින් පැවති දැනුම දෙගුණ වීමේ කාලය අද වසර දෙකක් දක්වා ශීඝ්‍රයෙන් අඩු වී තිබෙන අතර අනිකුත් බොහෝ විෂයන්හි රඳාපැවැත්ම තීරණය කෙරෙන ගණිත විෂයේ වේගවත් ප්‍රවර්ධනයට අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහාය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා සිය අරමුණ තමන්ට අහිමි වූ බොහෝ දේ මෙරට දරු පරපුරට ලබා දීම බව ද පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment